UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ අධ්‍යාපනයේ පදනම කුමක් විය යුතු ද?

දරුවා ද බාහිර හා අභ්‍යන්තර වශයෙන් යම් ප්‍රතිපදාවකට විනයකට අනුව හැඩ ගැසිය යුතුය. විනය සමස්ත සමාජයේ ආර්ථික සමාජයීය දේශපාලනික සංස්කෘතික ඕනෑම සමාජමය හැසිරීමකට බලපාන සාධකයකි. අපි වාණිජ ලෝකයේ ද ප්‍රමිතිය ගැන කථා කරමු. ඒ සඳහා නීති පනවමු. සම්මේලන ජාත්‍යන්තර දින පවත්වම සකලවිධ දේ ප්‍රමිති කරණය වීමට ප්‍රථම මිනිස් සමාජය ප්‍රමිතිකරණය විය යුතු යි. එයයි අප විනය කියල කියන්නෙ.බෞද්ධ සමාජය තුළ විනය ගිහි විනය හා භික්ෂු විනය යනුවෙන් දෙයාකාරයි. එහෙත් මෙහි මනා අන්තර් සම්බන්ධතාවයක් තිබෙනව. භික්ෂු විනය පිරිහීම ගිහි විනයටත් ගිහි විනය පිරිහීම භික්ෂු විනය පිරිහීමටත් එකසේ බලපානව. ඒ නිසා සැබෑ බෞද්ධ සමාජයක් සාක්ෂාත් කර ගැනීමට ගිහි විනයත් ගැඹුරින් සලකා බැලීම අවශ්‍ය යි

බොදු දහම් පාසල යනු බොදු පිළිවෙතට අනුව කුඩා කාලයේ සිට දරුවා හැඩ ගැසීමේ අරමුණින් පිහිට වූවකි. සැබවින්ම බොදු දරුවා ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂා පිළිවෙත අනුව තම ජීවිත ගමන යාත්‍රා කරන්නෙකි.

‘හික්මවිය යුතු තැනැත්තේ ශිෂ්‍යයා ය’. ඒ නිසා දහම් පාසල් ශිෂ්‍යයා ද සිත කය වචන සංවර කර ගැනීමෙන් හික්මවිය යුතුය.

‘විනයෝ නාම සාසනස්ස ආයු’

විනය පවතින කල් ශාසනය පවතින බවයි. බුදු වදන, බුදු මග යනු ලෝක සත්ත්වයා අනුගමනය කළ යුතු මගයි. එබැවින් එම ධර්මතා එම විනය කඩකළ තැන මානව වර්ගයාගේ විනාශය බව තේරුම් ගත යුතුය.

භාණ්ඩයක් නිෂ්පාදනය කළොත් එහි ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක වශයෙන් ප්‍රමිතියක් අපේක්ෂා කරයි. එසේ නොවුනහොත් අපේක්ෂා කරන ප්‍රතිඵල අත් නොවේ. එය අනතුරු දායක විනාශකාරී ප්‍රතිඵල ඇතිකරන නිෂ්පාදනයක් විය හැකිය.

එසේනම් දරුවා ද බාහිර හා අභ්‍යන්තර වශයෙන් යම් ප්‍රතිපදාවකට විනයකට අනුව හැඩ ගැසිය යුතුය. විනය සමස්ත සමාජයේ ආර්ථික සමාජයීය දේශපාලනික සංස්කෘතික ඕනෑම සමාජමය හැසිරීමකට බලපාන සාධකයකි. අපි වාණිජ ලෝකයේ ද ප්‍රමිතිය ගැන කථා කරමු.

ඒ සඳහා නීති පනවමු. සම්මේලන ජාත්‍යන්තර දින පවත්වමු. ඒ සඳහා දෙපාර්තමේන්තු කාර්යාංශ පවත්වා ගෙන යයි. එහෙත් ලොව භාණ්ඩ හා සේවා නිෂ්පාදනයේදී කොතෙක් දුරට උසස් ප්‍රමිතියේ මිනිස් සමාජය අපේක්ෂා කරන භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන්නේ්ද මෑත කාලීන චීනයේ මෙලමයින් සිද්ධිය වැනි දේ තවත් කොතරම් ලොව සිදුවන්නේ ද මේ කුමක් නිසා ද? මිනිසා ප්‍රමිතිකරණය නොවී භාණ්ඩ හා සේවා ප්‍රමිතිකරණය කිරීමට යෑමේ උත්සාහයයි.

මරණාසන්න සිිටින රෝගියාට ප්‍රතිකාර කරනවා වෙනුවට අනෙක් අතින් රුපියල් ලක්ෂ වලින් ඉල්ලන මිනිස් ජීවිත සමග ඔට්ටු අල්ලනවනම් එවැනි වෛද්‍යවරයකු බිහිකරන ලද්දේ ද මේ සමාජය විසින්ම බව ප්‍රශ්න කළ යුතු නේද?

ඒ නිසා සකලවිධ දේ ප්‍රමිති කරණය වීමට ප්‍රථම මිනිස් සමාජය ප්‍රමිතිකරණය විය යුතු යි. එයයි අප විනය කියල කියන්නෙ.

බෞද්ධ සමාජය තුළ විනය ගිහි විනය හා භික්ෂු විනය යනුවෙන් දෙයාකාරයි. එහෙත් මෙහි මනා අන්තර් සම්බන්ධතාවයක් තිබෙනව. භික්ෂු විනය පිරිහීම ගිහි විනයටත් ගිහි විනය පිරිහීම භික්ෂු විනය පිරිහීමටත් එකසේ බලපානව. ඒ නිසා සැබෑ බෞද්ධ සමාජයක් සාක්ෂාත් කර ගැනීමට ගිහි විනයත් ගැඹුරින් සලකා බැලීම අවශ්‍ය යි.

මේවන විට මානව සංහතිය බොහෝ ජයග්‍රහණ අත්කරගෙන තිබෙනව. එහෙත් ඒවා මානව වර්ගයාගේ ඉදිරි ප්‍රගමනයට කෙතරම් හේතුවන්නේද? කියා සොයා බැලීම ඉතා අත්‍යවශ්‍යයි. අද සමාජය මහා අවුලක පැටලිලා එම අවුලේ දරුවන් ද පැටලිලා. ඒවා ලිහාගන්න ඒ දරුවන්ට තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නත් බැහැ. මුළු පරිසර පද්ධතියම වේගයෙන් දූෂිත වන්නා සේම අධ්‍යාත්මික පරිසරයත් භයානක අයුරින් පිරිහීමට පත්වෙලා. එය හරියට තේරුම්ගන්න නම් මේ සමාජ තලයෙන් ඈත ඉදගෙන මේ සමාජයේ විකෘතිය අධ්‍යයනය කරන්න ඕන. අද සමාජයේ ඇගයීම් මොනවාද? සිතුම් පැතුම් මොනවා ද? එහි බිඳ වැටීම් කොතරම් ද කියල ලොව මුහුණ දී ඇති අර්බුද ගණනවකින් කරුණු පෙළ ගස්වන්න පුළුවන්.

1. එච්. අයි.වී. ආසාදනය - ඒඩ්ස් වැනි රෝග
2. මත්කුඩු ජාවාරම
3. පරිසර දූෂණය
4. ත්‍රස්තවාදය
5. සාරධර්ම පිරිහීම
6. මානව අයිතිවාසිකම් කඩවීම

මේ සියල්ල තුළින් සමස්ත ලෝකයම අද ආසාදනයට පත්වෙලා. ඒ ඇයි කියල මුළු මහත් ලෝකයම අහන්න ඕන දකින්න ඕන. මේ අර්බුදය විසඳන්න අන්තර් ජාතික දින ජාත්‍යන්තර සාම සංවිධාන කොතරම් පිහිටුවල ඇත්ද? ඩොලර් මිලියන ගණනින් වියදම් කරනව නේද? අනෙක් අතට අපේ විද්‍යුත් මාධ්‍ය මගින් මෙම අර්බුදය විසඳන්න කෙසේ හැසිරෙනවාද? කියල සලකා බැලීම කාලෝචිත දෙයක්.

එක වෙළඳ දැන්වීමක් තිරයේ මෙසේ දිස්වෙනවා.

‘මොනවද? මොනවද? මේ සිටුවන්නේ. සල්ලි ගහකි මේ සිටුවන්නේ, කොහොමද කොහොමද මේ සිටුවන්නේ ළමා ගිණුමකින් එය සිටුවන්නේ

මේ ළමයි වෙනුවෙන් ඉදිරිපත් කළ වෙළෙඳ දැන්වීමක්. සමාජය ඔලුවෙන් සිටුවීමක්. එහෙත් එය දක්ෂකමක් වෙන්න පුළුවන්. මේක තමයි මාධ්‍ය සංස්කෘතිය. ගසක් සිටුවීම සල්ලි ගහක් සෑදීම වගෙයි කියනවා වෙනුවට ගිණුමකින් එය සිටුවන්න පුළුවන් කියන එකයි ඉන් කියැවෙන්නේ.

ළමා සමාජය ඉල්ලන දේම දෙනවා මිසක් දිය යුතු දේ දීමට කාරුණික වීමක් මේ සංස්කෘතියේ දක්නට නැහැ.

ඉතින් සමස්ත සමාජයම දියවැඩියාවෙන් ඔත්පල වෙලා එහි භාෂාව මරනව. සංස්කෘතිය මරනව, සාරධර්ම විනාශ කරනව. සමාජ හර පද්ධතිය බිද දැමීමක් සිදුවෙලා. මෙවන් සමාජයක තමයි දහම් පාසල් දරුවා ද ගොඩ නැගෙන්නේ. ජීවත් වෙන්නෙ. ජාතියක පදනම ඒ රටේ දරුවන්. ඒ දරුවන් ගොඩ නගා ගන්න ඕන කොහොමද යන්න බුදු වදන තුළින් මනාව ප්‍රකාශ වෙනව

බාහු සච්චංච සිප්පන්ංච - විනයෝච සුසික්ඛිතෝ
සුභාසිතාච යා වාචා - ඒතං මංගල මුත්තමං

මෙය කොතරම් සර්ව භෞමික සර්ව කාලීන ප්‍රකාශනයක්ද? ලොව ඕනෑම දරුවකුගේ් මිනිසකු ගේ බාහිර අභ්‍යන්තර ජීවිතයේ සැබෑ අරුත මෙය බව තර්කයක් නැහැ. සැබෑ ප්‍රමිතියක් ඇති පුද්ගලයකු පිළිබඳ මීට වඩා වෙනත් අර්ථ කථන අවශ්‍ය වේද? පාලකයාටද සෙන්පතියාටද, භික්ෂූන්ටද, බාල මහලු සැමට ද එකසේ වලංගු ප්‍රකාශනයකි. ලොවුතුරා බුද්ධත්වය ලැබීමට ප්‍රථම සිදුහත් කුමාරයා ද බොහෝ ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළේ ය. ඒ තුළින් හැඩගස්වාගත් විනය සුභාෂිත බව අසම සමය. විනය රැකෙන්නේ සිල්වතුන් තුළය. ඒ සම්බන්ධ ලෝක ඉතිහාසයේ ශ්‍රේෂ්ඨයන් කිහිප දෙනකුගෙන් උදාහරණ ගත හැකි ය.

චණ්ඩාශෝක නම් මහා මිනිස් ඝාතක පාලකයා ධර්මාශෝක නමින් ලොව ශ්‍රේෂ්ඨ තම අධිරාජ්‍යයා බවට පත්වූයේ සුවිනීත වූ නිග්‍රෝධ සාමණෙරයන් වහන්සේ සන්සුන් ඉරියවුවෙන් වීදියේ වැඩම කිරීමෙන් දර්ශනය වූ ශාන්තිය නිසායි.

මහා අක්බාර් රජු ඉස්ලාම් භක්තිකයෙකි. එතුමා භාවනාවෙන් හිත සන්සුන්කර ගත් කෙනෙකි. ඉස්ලාම් භක්තිකයන් මස් මාංශ වලට ලොල් වූවත් මහා අක්බාර් රජතුමා එසේ නොවී ය.

‘මාගේ් ආමාශය සතුන්ගේ් මිනී වළක්කර නොගනිමියි’ එතුමා පැවසීය. බලන්න එතුමාගේ කායික හා මානසික ශක්තිය කොපමණද? කියලා. වෙහෙස නොබලා වැඩ කිරීමටත්, මිට මොලවා ගත් අතින් දුන් පහරකට ඕනෑම අයෙකු සිහිසුන් කිරීමට තරම් ශක්තිවන්ත විය. නොනිදා ඕනෑ තරම් කාලයක් වැඩ කළ හැකි දැඩි අව් රශ්මියේත් එළිමහනේත් අපහසුවකින් තොරව සිටිය හැකි අපූර්ව ශක්තියක් ඇති තැනැත්තෙකි.

මහත්මා ගාන්ධිතුමා සිල්වත් බවින් අනූන වූ කෙනෙකි. එතුමා එංගලන්තයට වැඩිදුර අධ්‍යාපනය සඳහා පිවිසීමට පෙර මව දුන් ඔවදන් දිවි හිමියෙන්ම කඩ නොකළේය.

‘පුත, දිවි හිමියෙන් පොරොන්දු වන්න. මස් මාංශ ආහාරයට නොගන්නා බව, මත්පැන් පානය නොකරන බව‘.

මේ උදාහරණ වලින් පෙනී යන්නේ කුමක්ද? බුදු දහමේ එන විනය ශික්ෂණය ඔප් නැන් වූ තැන මිනිසුන් කොතනක ද? ඔවුන් ලොව ශ්‍රේෂ්ඨයන් ම වන බවය. බුදු දහමේ එන විනය ශික්ෂණය ස්වභාව ධර්මය සමග එකඟ වූ ප්‍රතිපදාවක් දර්ශනයක් බව පසක් වන්නේය.

බෞද්ධ පාසල් දරුවාට අනිවාර්යයෙන්ම බුදුදහමට අවේණික වූ චර්යා පද්ධතියක් නිර්මාණය කරගත යුතුය. එම චර්යා පද්ධතිය ලොව ඕනෑම සමාජයක් ඉදිරියේ වලංගු කරගත හැකි චර්යා පද්ධතියක් විය යුතුය. දහම් පාසල් දරුවාගේ කතාව ගමන බිමන, කෑම් බීම්, ඇඳුම් පැළඳුම් ක්‍රීඩාව, විනෝදය මේ සෑම දෙයක්ම බොදු සිරිතට එකඟව හැඩ ගසා ගැනීමට බුදු දහමෙන් මඟ පෙන්වා දී තිබෙනව.ලොව බොහෝ දෑ නීතිරීති මගින් දඬුවම් මගින් පාලනය කිරීමට උත්සාහ ගැනීම සිදු වේ. එහෙත් ඒවාට ඇති එකම මඟ අධ්‍යාත්මිකව හැඩ ගැසුණු විනය පද්ධතියකට පුද්ගලයා නැඹුරු කිරීමයි.

එය දේව නියමයකින් හෝ බලහත්කාරයෙන් කළ හැකි දෙයක් නොව පුද්ගලයාගේ් අධ්‍යාත්මය තුළින් පැන නැගිය යුතු දෙයකි.

දහම් පාසල් සිසුවාගේ චර්යා පද්ධතිය හැඩ ගැසීම සමස්ත සමාජයේ ඇති විසකුරු බවට ඇති එකම පිළියමයි.

‘ඉවසීමෙන් සැනසීම ලැබේ’ වෛරයෙන් වෛරය නොසන්සිඳේ’. දහම් පාසල යනු සාමාන්‍ය පාඨශාලාවලින් වෙනස් වූ ස්ථානයකි. එය විහාරයකි. එය පන්සලකි. භික්ෂූ භික්ෂූන් , උපාසක - උපාසිකා ආදී වශයෙන් සිව්වනක් පිරිස වසන පරිසරයකි. මෙම පරිසරයේ විසිය යුතු ආකාරය පිළිබඳ ඔවදන් භික්ෂූ සංඝයාට ‘ප්‍රතිමෝක්ෂය’ නම් වූ විනය ශික්ෂාවන්හි ශික්ෂා පද දෙසිය විස්සකින් විස්තර කෙරේ. එහි බාහිර පැවතුම් සදහාම වෙන් වූ ශික්ෂාපද සැත්තෑ පහකි. එම ආචාර ධර්ම හැත්තෑපහ සේඛියා නමින් හඳුන්වයි.

මෙම ශික්ෂා පදවල අන්තර්ගතය ගිහි ජනයා නොදැන සිටීම බොහෝ විට භික්ෂු විනය ආරක්ෂා කර ගැනීමට ප්‍රශ්නයක් බව හැඟී යයි. උදා- දහම් දෙසීම හා සම්බන්ධ ශික්ෂා පද ගනිමු.

‘න ඡත්ත පාණිස්ස අගිලානස්ස ධම්මං දෙසෙස්මීති සික්ඛා කරණීයා’

කඩුවක් අතින් ගෙන සිටින නොගිලන් තැනැත්තාට දහම් නොදෙසමියි. ඛ්ඹ්ක්මවිය යුතුය)

‘න දණ්ඩ පාණිස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණීයා’ (දණ්ඩක් අතින් ගෙන සිටින නොගිලන් තැනැත්තාට දහම් නොදෙසමියි හික්මවිය යුතුයි.

ඒ ආකාරයෙන් කඩුවක් අතින් ගෙන ආයුධ අතින් ගෙන සිටින තැනැත්තාට දහම් නොදෙසමියි භික්ෂු විනය හික්මවිය යුතුය. එසේ නම් දහම් පාසලේ විහාරස්ථානයේ හැසිරිමේ දී ධර්ම ශ්‍රවනයේ දී ගිහි පින්වතුන්ට මේ අනුව භික්ෂු විනය ආරක්ෂා වන පරිදි ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය වන්නේ ය.

‘නපල්ලත්ථිකාය නිසින්නස්ස අගිලානස්ස ධම්මං දේසිස්සාමීති සික්ඛා කරණීයා (දණහිස් මුහුණ සමීපයට ගෙන හිද දෙඅත් බැද සිටින නොගිලන් තැනත්තාට ධර්මය දේශනා කිරීම නොකළ යුතු ය)

මේ ආකාරයෙන් මිරිවැඩි සඟල පයලා සිටින නොගිලනාට, රියක නැගී සිටින නොගිලනාට, වැතිරී සිටින නොගිලනාට, හිස වසා පොරවා සිටින නොගිලනාට, තමා බිමද අසන්නා ආසනයක ද සිටිනා විටද, සිටගෙන සිටින විට හිඳගෙන සිටින්නාටද, තමා පිටු පසින් යමින් ඉදිරියෙන් ගමන් කරන නොගිලනාට ද, ධර්මය දේශනා නොකළ යුතුයයි භික්ෂූ විනයේ ශික්ෂා පද ලෙස සඳහන් කොට ඇත.

දහම් අධ්‍යාපනය ලබන දරුවාද මේ කරුණු වටහා ගැනීමෙන් පූජ්‍ය පක්ෂය පූජනීය ස්ථාන පිළිබඳව මනා අවබෝධයකින් එම ස්ථානයේ ගෞරවය ආරක්ෂා කරමින් බෞද්ධ විනය ආරක්ෂා කිරීමේ ප්‍රතිපදාව කුමක්දැයි අවබෝධ කරගන්නවා නොඅනු මානය.

බෞද්ධ දරුවාද මේවා අසා දැන ගත්විට කොතරම් බුදු දහමේ ප්‍රභාස්වර බවක් ඇති වන්නේ ද?

‘සිටගෙන මළ මුත්‍රා කිරීම, තණකොළ ගස් වැල් වලට මළ මුත්‍රා කිරීම හා කෙළ ගැසීම, ජලයෙහි මළ මුත්‍රා කිරීම හා කෙළ ගැසීම නොකළ යුතු යැයි බුදුන් වහන්සේ භික්ෂූ සංඝයාට නියම කොට වදාළ සේක. මේ ආකාරයෙන් සිතන විට දහම් පාසල් දරුවා හික්ම විය යුත්තේ භික්ෂු විනය ආරක්ෂා කරගැනීමට ගිහි ජනයාගේ් පැවැත්ම කෙසේ විය යුතුද යන්න තේරුම් ගැනීමෙනි. එය එකිනෙක හා බැදුණු ගසට පොත්ත පොත්තට ගස මෙනි යන හැඟීමෙනි.

‘සම නිත්තිකං පිණ්ඩපාතං පටිග්ග හෙස්සාමීති සික්ඛා කරණියා’ පාත්‍ර ගැටියෙන් පහතට සිටින පමණට ආහාර පිළිගනිමියි හික්ම විය යුතුය)

‘සමසුපකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සා මීති සික්ඛා කරණියා’ (බතට සෑහෙන තරමට පමණක් ව්‍යංජන සහිත ආහාර පිළිගනිමියි හික්මවිය යුතුය)

මෙම භික්ෂු විනය පිළිබඳ කරුණු ගිහි සමාජය ද දැනගැනීම කෙතරම් අර්ථාන්විත ද මෙම දැනුම සර්වකාලීන හා සර්ව භෞමික ය. මෙය ‘භික්ෂු සමාජයට තනිව රැකිය නොහැකිය. සැහැල්ලු පැවැත්ම සහ ජීවිකතාව බුදු වදනේ ඉස්මතු කරන බව අපි දනිමු. සම්පත් සංරක්ෂණය පිළිබඳ කථා කරන බටහිර බඩජාරි වූ සමාජයට මෙම භික්ෂු විනයේ එන ප්‍රතිපදා සමස්ත ලෝකයටම කෙතරම් උචිත වන්නේදැයි පෙන්නුම් කළ හැකිය.

අවසාන වශයෙන් මේ සියලු කරුණු සාක්ෂාත් කර ගැනීමේ දී අවම වශයෙන් දහම් පාසල් දරුවාවත් මේ විනීත බව සාරධර්ම ප්‍රගුණ කිරීම ගෞරවනීය පුරවැසියෙකු ලෙස නිර්භීත නීතිගරුක පුරවැසියෙක් ලෙස සමාජයට ඉදිරිපත් කිරීමට මෙම ධර්ම අධ්‍යයන සපයාදිය හැකි බව නොඅනුමානය.

අපේ ඇඳුම පැළඳුම පවා ශික්ෂා කාමීය. බටහිර සමාජයේ ඇති කලබලය අපට නොවීය. අප ස්වභාව ධර්මයට අනුගත වූ එහි රසය සුවඳ මනාලෙස ආඝ්‍රාණය කරන බොදු දරුවන් ය.

පන්සලේ සන්සුන් බව බිඳලන ඇඳුම් ආයිත්තම් ඇද පැළඳ සිටීම නොමනා ය. එහෙයින් දහම් දරුවා සුදුවර්ණ භාවිත කරයි. සියලු ශක්තීන්හි වර්ණය සුදුය. එය පවිත්‍ර බවයි.

එය ළමා සාරිය හා අපේ ජාතික ඇඳුම වීම කොතරම් සැසදේ ද? මක්නිසා ද එම ඇඳුමෙන්ම ස්වභාවයෙන්ම පුද්ගලයා සංවර වන නිසා ය. එය කායික හා මානසික සංවරය මතු කරන නිසාය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]