UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘ලාෆින් බුද්ධා බුදුරදුන්ට අගෞරවයකි’

මෙම ලාෆින් නම් ප්‍රතිමාව පමණක් නොව බුදුන් වහන්සේගේ කුමන ප්‍රතිමාවක් ළඟ තබා ගත්ත ද තමා බලාපොරොත්තු වන නිමක් නැති ලෞකික ආශා සංසිඳවා ගැනීමට නොහැකි බව දත යුතු ය. බුදුන් වහන්සේගේ දහම තුළ මෙවැනි අන්ධ විශ්වාස හා අන්ධ භක්තීන්ට ඉඩකඩ නොමැති බව ද අප දත යුතු ය.

බුදු දහම යනු විශ්ව දහමකි. එය කිසිම ආගමකට හෝ ජාතියකට අයත් නොවන ධර්මයකි. මෙම අසහාය ධර්මය දේශනා කළ ශාස්තෘන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ ය. බුදු දහමෙහි උගන්වන ආකාරයට යමෙක් බුදු දහම නිරවද්‍ය ආකාරයට දකී ද ඔහු බුදුන් වහන්සේ දකියි වශයෙන් උගන්වා ඇත.

දෙමාපියන් සමග කුඩා කළ ගමේ විහාරස්ථානයට ගිය කුඩා දරුවා අතීතයෙහි සිටි සිහල කලාකරුවා විසින් බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් භාවය අන්තර් ගත කරමින් නිර්මාණය කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙස බලා බුදුන් වහන්සේ යනු කෙබදු ශාස්තෘවරයෙකු දැයි කිසියම් ඡායා මාත්‍රමය හැගීමක් සිතෙහි ඇති කර ගත්තේ ය. එය ඇති කරගත්තේ දැකීමට පි‍්‍රය උපදවන දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ යම්තාක් දුරට හෝ ආරෝපිත එම බුද්ධ ප්‍රතිමා වහන්සේ දැකීම නිසා ය. එහිදී විහාරස්ථානයෙහි නිර්මාණය කරන ලද බුද්ධ ප්‍රතිමා වහන්සේ බොදුනු විඤ්ඥානයට සිදු කර ඇත්තේ මහත් මෙහෙවරකි. වර්තමානයෙහි මෙකී බුද්ධ ප්‍රතිමා වහන්සේට වැඳීම හා ගරුකිරීම නිරර්තක කරුණක් යැයි ප්‍රකාශ කොට බුදු බණ යැයි තම මතයම සමාජ ගත කිරීමට උත්සුක වන සුළු පිරිසක් ද ඇති බව අප මෙහිදී මතකයේ තබා ගත යුතු ය. බුදුන් වහන්සේගේ රූපය දැකීමෙන් ඇතිවන්නේ බුද්ධාලම්භන පී‍්‍රතිය වන්නේ ය. විශේෂයෙන් භාවනා කර්මස්ථානයක් වශයෙන් බුද්ධානුස්සතිය වැඩීම සඳහා සූදානම් වන ආදිකම්මික යෝගාවචරයාට (පෙර භාවනා නොකරන ලද යෝගියාට) අප සිහිකරන කරුණක් නම් තමාට දැක පුරුදු පි‍්‍රයංකර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගේ සේයාව සිතට ගෙන එය නිමිත්තක් ලෙස ගන්නා ලෙස ය. එය තමා වඩන බුද්ධානුස්සති භාවනා කර්මස්ථානය ඉතා හොඳින් ආරම්භ කිරීමට මහඟු පිටුවහලක් වන බව සඳහන් කළ හැකි ය. මේ ආකාරයට සලකා බලන කල්හි බුදුන් වහන්සේගේ රූපයෙහි ඇති විභූතිය අන්තර්ගත කොට ගනිමින් නිර්මාපිත බුද්ධ ප්‍රතිමා වහන්සේ වනාහි බොහෝ දෙනාගේ සිත් සතන් තුළ මහත් ප්‍රසාදයක් ඇති කිරීමට සමත් බව දතයුතු ය.

මෙකී කරුණු කාරණා මෙසේ පවතිද්දී මෑතකදී ලාංකීය පිළිම කලාවට හා බොදුනු විඤ්ඥානයට සිදු කිරීමට උත්සාහ කරන අනර්තකාරී වැඩ පිළිවෙළක් ඇත. එනම් විදේශයෙන් ආනයනය කරන ලද ලාෆින් බුද්ධා යැයි හඳුන්වමින් වත්මන් වෙළඳපොල වෙත පැමිණ ඇති ප්‍රතිමාවය. විදේශයෙන් පැමිණෙන ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් වැළඳගන්නා ලාංකීය සමාජයෙහි ඇතමුන් ලාෆින් යැයි හඳුන්වන මෙම ප්‍රතිමාව ඇතැම්විට මේ වන විට තම නිවෙස් වලට කැන්දාගෙන හමාරය. ඔවුන් ඒවාට වැඳුම් පිදුම් ද කරනු ඇත. ඇත්තෙන්ම මෙය බුද්ධ ප්‍රතිමාවක් ද? මෙය විමසිය යුතු කරුණකි. මහායාන සම්ප්‍රදාය සහිත විදේශ රටවල විහාරස්ථාන වල ඉදිරිපිට තබන ලද මෙය මුරගලක් සේ සලකනු ලබයි. එය මුර ගලකට වඩා ලංවන්නේ බහිරව රූපයකට.

යමෙක් මෙය බුදුන් වහන්සේගේ පිළිමයක් යැයි කියන්නේ ද එය ලොව පහළ වූ අසාහය ශාස්තෘන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේට කරනු ලබන බරපතලම අපහාසයක් බව තරයේ සිහියේ තබාගත යුතු ය. මෙම බහිරව රූපයට බුදුන් වහන්සේ යැයි නම් තැබීමෙන් සිදු වන්නේ කුමක්ද? යැයි විමසිය යුතු ය. මෙම ප්‍රතිමාව අශෝභන විලසින් සකස්කොට ඇත. මුහුණ දකින අයගේ සිත්හි ඇතිවන්නේ පහන් සිතිවිලි නොව බැලීමට අප්‍රසන්න වූ සිතිවිලි සමුදායකි. මෙම පිළිමය මෙරටට හඳුන්වා දී මෙය බුද්ධ ප්‍රතිමාවක් යැයි හුවා දැක්වීමට හේතු වී ඇත්තේ බුදුන් වහන්සේ පිළිබඳ ලාංකීය බොදුනු ජනතාව තුළ පැවැති ප්‍රසාද ජනක ස්වරූප විකෘර්ති කිරීමට දැයි සැක සංකා පහළ වන්නේ ය. එසේම මෙම ප්‍රතිමාව නිවෙස්හි තබාගැනීම තුළින් සිතූ පැතූ සම්පත් ලැබෙන බව ද ඇතමුන් ජනමාධ්‍ය ඔස්සේ ද ප්‍රකාශ කොට ඇත.

එම නිසා වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් මෙම ප්‍රතිමාව ලංකාවෙහි බොහෝ ස්ථානවල අලෙවි කෙරෙමින් පවතින අතර ඒ සඳහා වෙළෙඳ පොළක් ද සකස් වී ඇත. විශේෂයෙන් මෙහිදී සිහිකළ යුතු යමක් ඇත. බුදුරජාණන් වහන්සේ යනු සියලු ලෞකික ආශාවන් දුරු කරන ලද නිකෙලෙස් උත්තමයෙකි.

මෙම ලාෆින් නම් ප්‍රතිමාව පමණක් නොව බුදුන් වහන්සේගේ කුමන ප්‍රතිමාවක් ළඟ තබා ගත්ත ද තමා බලාපොරොත්තු වන නිමක් නැති ලෞකික ආශා සංසිඳවා ගැනීමට නොහැකි බව දත යුතු ය. බුදුන් වහන්සේගේ දහම තුළ මෙවැනි අන්ධ විශ්වාස හා අන්ධ භක්තීන්ට ඉඩකඩ නොමැති බව ද අප දත යුතු ය.

වර්තමානයෙහි ඇතැමුන් බුද්ධ ප්‍රතිමා අනවශ්‍ය යැයි නොයෙක් මති මතාන්තර ඉදිරිපත් කළ ද පසුගිය කළෙක ඉන්දියාව පාලනය කළ විශිෂ්ට නායකයෙකු වූ ශ්‍රීමත් ජවහල්ලා නේරුතුමන්ගේ සිතෙහි මහත් විපර්යාසයක් ඇති කරලීමට අනුරාධපුර මහමෙව්නාවෙහි පිහිටි සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ හේතු වූ බව සිහිකටයුතු කරුණකි.

මෙයින් ද ගම්‍ය වන කරුණක් නම් ඉපැරැණි කලා කරුවා විසින් බුදුන් වහන්සේගේ සමාධිමත් සිත සිත්පිත් නැති ගල්පර්වතයකට ආරෝපණය කළ ද එ තුළින් සිදු වූයේ බොහෝ දෙනාගේ සිත් සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් අමන්දානන්දයට පත්වීම නොවේද?

එසේනම් බුදුන් වහන්සේගේ ආශ්චර්ය පිළිබඳව කිසියම් හෝ දැනීමක් ඇති කොට සකසන ලද ජනයාගේ සිත් පහන් කරනු ලබන බුද්ධ ප්‍රතිමා වහන්සේට පරිබාහිරව වර්තමානයෙහි බුදුන් වහන්සේගේ බුදු ගුණය නොහඳුන පුද්ගලයන් විසින් බුදුරජාණන් වහන්සේට අපහාස වන ආකාරයට සකසන ලද ලාෆින් යන නමින් හඳුන්වන මෙම ප්‍රතිමාව වෙළෙඳ පොලෙන් ඉවත් කිරීමට වගකිවයුත්තන්ගේ නොමසුරු අවධානය යොමු විය යුත්තේ ය.

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 10 වනදා අඟහරුවාදා පූර්ව භාග 10.11 ට ලබයි. 11 වන දා බදාදා පූර්ව භාග 8.10 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 10 වනදා අඟහරුවාදාය.

මීළඟ පෝය මාර්තු 18 වන දා බදාදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

First Quarterපුර අටවක

අපේ‍්‍රල් 02

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]