Print this Article


බුදුසරණ අන්තර්ජාල කලාපය

ගිරිහඬු සෑය කවුරුන් විසින් කරවන ලද්දේ ද?

තපස්සු භල්ලුක විසින් නිදන් කළ කේශ ධාතූන් අයත්ව තිබීමේ ගෞරවය සඳහා බෞද්ධ රටවල් කීපයක් තරග කළාක් මෙන් ඔවුන් පිහිටුවන ලදැයි කියන සිද්ධස්ථානය සඳහා අයිතිවාසිකම් කියූ ස්ථාන එකකට වැඩියෙන් පැරැණි ලංකාවේ තිබුණු බව අනාවරණය වී ඇත. ගිරිහඬු (ගිරිකණ්ඩ) යැයි නම් වූ ස්ථූපයක් ලක්දිව දකුණු මුහුදුබඩ වලවේ ගං මුවදොර අසල වූ අම්බලන්තොට ප්‍රදේශයෙන්ද හමු විය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් පිළිබඳ ප්‍රාදේ්ශීය ජනප්‍රවාදය එහිද ප්‍රචලිතව ඇත

නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට සැතපුම් විසිනවයක් පමණ උතුරෙන් මුහුදු වෙරළබඩ පිහිටි සුන්දර ගමක් තිරියාය නමින් හැඳින්වේ. එම ගම්මානයෙන් සැතපුමක් පමණ බටහිරින් මුහුදු මට්ටමෙන් අඩි 210 ක් උස් වූ පිහිටි ස්ථානය කන්දසාමි මලෙයි (ස්කන්‍ධ ස්වාමීන්ගේ කන්ද) යන දෙමළ නාමයෙන් ව්‍යවහාර වේ. එම කන්ද මුදුනෙන් එහි බෑවුම්වලත් නිතුපත්පාණ යන නමින් හැඳින්වෙන පැරැණි බෞද්ධ ආරාමයක නටබුන් දක්නට ලැබී ඇත. එහි කුඩා ස්ථූපයක්ද ඒ වටා මනහර වූ ඒකකේන්ද්‍රීය ගල්කණු වටයන් සහිත වටදාගෙයක නටබුන් දක්නට ලැබිණ. වටදාගෙයි වෘත්තාකාර වූ මළුවෙහි පැතිබැම්ම බොරදම් කළ ගලින් යුක්ත විය.

එයට පිවිසීම සඳහා සිවු දිශාවෙන් මුරගල් හා කොරවක්ගල් සහිත පියගැට පෙළ සතරකි. එම කන්දේම එයට පහළින් වූ පොළවේ ආරාම ගොඩනැගිලි වල ශේෂ වූ කොටස් ස්වල්පයකි. එහි වටදාගෙයට නැගීම සඳහා වූ මාර්ගයේ කඳු පාමුල ගලින් තැනූ පොකුණු දෙකක අවශේෂයන් ද දක්නට ලැබී ඇත. ආරාම ගොඩනැගිලි වලට පිවිසෙන මාර්ගය මෙම පොකුණු දෙක අතරින් වැටී ඇත. පොකුණු වලට නුදුරින් මහ මාවතකට අයත් පැරැණි ගල්පාලමක අවශේෂයන්ද හමුවිය.

දහතුන්වන සියවසට අයත් පූජාවලියෙහි සඳහන් වන අන්දමට, ලක්දිව නැගෙනහිර වෙරළෙහි තිරියාය නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටි ස්ථූපය නිමවන ලද්දේ තපස්සු භල්ලුක වෙළෙඳුන් දෙදෙනා විසිනි. ඔවුන් විසින් බුදුරජාණන් වහන්සේට ප්‍රථම දානය පූජා කළ අවස්ථාවේදී උන්වහන්සේගෙන් ලැබුණු කේශධාතූන් තැන්පත් කොට මෙම ස්ථූපය ඉදිකළ බවද පූජාවලියෙන් කියැවේ. මෙම තිරියාය වටදාගෙය වර්ෂ 1951 දී කණින ලදී. ඉන් පසු වර්ෂ වල එහි සංරක්‍ෂණ කටයුතු සිදුවිය. එහිදී සත්වැනි අටවැනි සියවස්වලට අයත් සංස්කෘත සෙල් ලිපියක් හමුවිය. එහි සඳහන් පරිදි මෙම ස්ථූපයේ පෞරාණික නාමය වූයේ ගිරිකණ්ඩි චෛත්‍යයයි. පූජාවලියේ සඳහන් පරිදිම බුදුරජාණන් වහන්සේට ප්‍රථම දානය පිරිනැමූ ත්‍රප්‍රෂ්‍ය සහ වල්ලික (තපස්සු සහ භල්ලුක) යන වෙළෙඳුන් විසින් මෙම ස්ථූපය කරවන ලද බව එහිද සඳහන්ව ඇත.

තිරියාය වටදාගෙයට යන පියගැට පෙළ දිගේ කඳු මුදුනට පැමිණි විට සමුද්‍රය ;හාඳින් දර්ශනය වේ. කණින විට තිරියාය වටදාගෙයි වට මළුව අඩි 79 ක විෂ්කම්භයකින් යුක්ත විය. එහි මධ්‍යයෙහි පිහිටි ස්ථූපයේ විෂ්කම්භය ආරම්භයේදී අඩි 24 අඟල් 9 ක් විය. පසු කාලයේදී විශාල කළ විට එය අඩි 32 ක් අඟල් 6 ක් වී ඇත.ස්ථූපයේ පාදයේ සිට අඩි 3 අඟල් 6 ක් දුරින් වූ ගැටියක් මගින් එහි මළුව බාහිර කොටසට වඩා උස්කොට බැඳ තිබී ඇත. ඇතුළු වටයට අයත් ගල්කුළුණු සිටුවා ඇත්තේ ස්ථූප පාදයේ සිට අඩි 3 යි අඟල් 3 ක් දුරිනි. බාහිර ගල්කුළුණු වටය පාදයේ සිට අඩි 16 ක් දුරින් පිහිටියේය.

ඇතුළු කුළුණු වටය පාදයේ සිට අඩි 12 අඟල් 9 ක් දුරින් පිහිටියේය. ඇතුළු වටයෙහි කුළුණු දහසයක් විය. එයින් එකක් හැර අනෙක් සියල්ල අසල පිහිටි ශිව දෙවොලක් තැනීමට භාවිතා කොට ඇත. දෙවන වටයට අයත් කුළුණු තිස්දෙකකි. එකක උස අඩි 14 යි. අඟල් 6 කි. මෙම කුළුණු වල ඉහ සහ කඳ තනි කළුගලින් නිමැවී ඇත. තිරියායේ පිහිටි කඳු බෑවුමේ ඇති ගල්ගුහා දෙකක බ්‍රාහ්මී සෙල්ලිපි ලියා ඇත. ඒ අතරින් එක් ලිපියක් ක්‍රිස්තු පූර්ව යුගයේද අනෙක් ලිපිය ක්‍රිස්තු වර්ෂ පළමුවැනි සියවසේද භාවිත වූ බ්‍රාහ්මී අක්‍ෂරයන්ගෙන් ලියා ඇත.

පහත විස්තරවන ලේඛනය ලියා ඇත්තේ වටදාගෙයට අඩි 200 ක් පමණ දකුණින් වූ ගලක් මතය. ගල්තලාවේ අඩි 20 x අඩි 5 පමණ වූ ප්‍රදේශයක් වසා මෙම සෙල්ලිපිය ලියා ඇත. එහි පේළි එකොළහකි. ස්වභාවික විපත් හේතුවෙන් සෙල්ලිපිය ගෙවී ඇත. එබැවින් ඇතැම් තැන් කියැවීම දුෂ්කරය. අකුරක ප්‍රමාණය අඟල් 1 1/2 සිට 2 දක්වා වේ. මෙම අක්‍ෂර සත්වැනි සියවසට අයත් පල්ලව ග්‍රන්ථ අක්‍ෂරයන්ට සමානය.

ලක්බිමින් හමුවූ සංස්කෘත ලිපි ස්වල්පය ලියැවී ඇත්තේ මෙම අක්‍ෂර වලිනි. එකල සෙල්ලිපිවල දිනය හා කාල පරිච්ඡේදය දැක්වීම විරලය. තිරියායට සැතපුම් හයක් පමණ දකුණින් වූ කුච්චවේලියේ සංස්කෘත ලිපිය ලියා ඇත්තේ මෙම තිරියාය ලිපියට මදක් කලින් වු අක්‍ෂර වලිනි. තිරියාය ගිරි ලිපිය ගද්‍යයෙන් ව්‍යාකරණ දෝෂ රහිතව සංස්කෘත බසෙහි ප්‍රවීණයකු අතින් ලියැවී ඇත. ලිපිය ආරම්භ වන්නේ සමුදුරෙහි ගමන් ගන්නා වෙළෙඳ කණ්ඩායමක් පිළිබඳ විස්තරයකිනි. අනතුරුව ගිරිකණ්ඩි චෛත්‍යය පිළිබඳ දීර්ඝ වර්ණනාත්මක විස්තරයක් වෙයි. පසුව සිද්ධස්ථානය වැනීමෙන් තමන් රැස්කරගත් පින් හේතුවෙන් ලෝකයා භව දුකින් මිදේවා යන කතුවරයාගේ දැහැමි ප්‍රාර්ථනාව වෙයි.අනතුරුව සඳහන් වන්නේ ගිරිකණ්ඩි චෛත්‍යය ත්‍රපුස්සක හා වල්ලික යන වෙළෙඳ ශ්‍රේණීන් විසින් පිහිටුවන ලද බවයි. අවසානයෙහි සඳහන් වන්නේ සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යතාව දැක්වෙන බෞද්ධ සූත්‍රයකි.

ලේඛනය ආරම්භයේදි වෙළෙඳුන් පිළිබඳව විස්තර කර ඇත්තේ මුහුදු යාත්‍රවෙහි කෘතහස්ත වූ, මිලට ගැනීමේත් විකිණීමේත් නියුතු , විවිධ වර්ගයේ රුවල් යාත්‍රාවල බරට පිරවූ භාණ්ඩ සමූහයක් හිමි පුද්ගලයන් ලෙසිනි. ‘ත්‍රපුස්සක සහ වල්ලික ‘ යනු තපස්සු සහ භල්ලුක යන පුද්ගල නාමයන්ය. ඔවුන් බුදුරජාණන් වහන්සේගේ ගිහි ශ්‍රාවකයන් අතර සිටි, උන්වහන්සේ වෙතින් කේශධාතු කොටසක් ලද අය ලෙස පිළිගෙන ඇත.

මහාවංසයේත් නිධාන කථාවේත් සඳහන් පුරාවෘත්තියක් වන්නේ පූර්ව ජන්මයකදී ඔවුන්ගේ ලේ නෑයෙකුව සිටි දේවතාවෙකු විසින් වෙළෙඳ දෙබෑයන් බුදුරජාණන් වහන්සේ වෙත කැඳවාගෙන යන ලද බවයි. මෙම සඳහන් හා සෙල්ලිපියෙන් අනාවරණය වන කරුණු අනුව තපස්සු භල්ලුක විසින් තමන් ලද කේශධාතු නිධන් කිරීම සඳහා තිරියායේ චෛත්‍යය පිහිටුවන ලද බව නිශ්චිතය. ඔවුන් උතුරු ඉන්දියාවේ උක්තල රටෙන් (සංස්කෘත - උත්කල) ආ බවත් කේශධාතු නිධන් කිරීම සඳහා තැනවූ ස්ථූපය ඔවුන්ගේම ස්වදේශයෙහි වූ බවත් මහාවංස නිධාන කථාව හා ලලිත විස්තරය යන පොත් වලින්ද සනාථ වෙයි.

චීන වන්දනාකරු වූ හියුසාං ගන්ධාරයේ බල්ඛ්හි සිට බාමියන් දක්වා ගිය ගමනේදී, මෙම ධාතුන් මත තැනූ ස්තූ®ප දෙකක අවශේෂ දුටු බව (වටර් ගේ Yuan Chwang ) සඳහන් ය.

මෙම වෙළෙඳුන් දෙදෙන විසින් කේශ ධාතු නිධන් කළ දාගැබක් ලංකාවේ තැනූ බව , දහතුන් වැනි සියවසේ ලියන ලද පූජාවලි නම් සිංහල ධර්ම පුස්තකයේ ස්ථිර ලෙසම සඳහන් වේ. එහි ස්ථාන නාමය සෙල්ලිපියේ නාමයට සමාන වන අතර විස්තරය, නිදාන කථාව සමග මැනවින් සැසඳේ. පූජාවලියේ ඇති ගිරිහඬු යන සිංහල නමත් සෙල්ලිපියේ ඇති ‘ගිරිකණ්ඩික ‘ නම් සංස්කෘත ස්වරූපයත් නිසැකවම අනන්‍යය.

දෙවැනි පරාක්‍රමබාහු රජ විසින් විසුද්ධි මග්ගයට ලියන ලද සන්නයේ පාළි පොතෙහි එන ‘ගිරිකණ්ඩ මහ විහාර’ යන්නට ‘ගිරිහඬු වෙහෙර ‘ යන තේරුම දී ඇත. එබැවින් තිරියාය සෙල්ලිපිය ලියන කාලයේ තිරියායේ පැරණි ස්තූපයත්, තපස්සු භල්ලුක දෙදෙනාත් සම්බන්ධ කළ ප්‍රාදේශීය ජනප්‍රවාදයත් කේශධාතු එම ස්ථූපයේ නිධන් වී තිබුණේය යන විශ්වාසයත්, පැවති බව නිසැකය.

තපස්සු භල්ලුක විසින් නිදන් කළ කේශ ධාතූන් අයත්ව තිබීමේ ගෞරවය සඳහා බෞද්ධ රටවල් කීපයක් තරග කළාක් මෙන් ඔවුන් පිහිටුවන ලදැයි කියන සිද්ධස්ථානය සඳහා අයිතිවාසිකම් කියූ ස්ථාන එකකට වැඩියෙන් පැරැණි ලංකාවේ තිබුණු බව අනාවරණය වී ඇත. ගිරිහඬු (ගිරිකණ්ඩ) යැයි නම් වූ ස්ථූපයක් ලක්දිව දකුණු මුහුදුබඩ වලවේ ගං මුවදොර අසල වූ අම්බලන්තොට ප්‍රදේශයෙන්ද හමු විය. තපස්සු භල්ලුක වෙළෙඳ දෙබෑයන් පිළිබඳ ප්‍රාදේ්ශීය ජනප්‍රවාදය එහිද ප්‍රචලිතව ඇත. එහෙත් පූජාවලියේ විස්තරය, වඩාත් ගැලපෙන්නේ තිරියායේ භූමි විශේෂතාව සමගිනි.

එනම් වෙළෙඳුන් ධාතු කරඬුව ගලක් මත තැබූ බවත් යම් බලවේගයක් මගින් එය ඉවත් කළ නොහැකි වූ බවත් කියැවෙන බැවිනි. එබැවින් ගලක් මත පිහිටි තිරියාය ස්ථූපය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාක්‍ෂි අනුව වඩාත් තහවුරු වන්නේ එය නිසැකවම කේශධාතු නිධන්කළ ගිරිහඬුසෑය බවයි. පුරාවිද්‍යාත්මක වශයෙන් තිරියායේ පිහිටි ගිරිලිපිය අපට වැදගත් වන්නේ එහි, ස්ථූපයේ පැරැණි නාමය ‘ගිරිකණ්ඩ චෛත්‍යය’ බව දැන ගැනීමට උපකාරී වන බැවිනි. පළමුවැනි විජයබාහු රජ විසින් ගිරිකණ්ඩක නම් ආරාමයක් පිළිසකර කරවන ලද බව විහාර නාමාවලියකද සඳහන්ව ඇත. පණ්ඩුකාභය වෘත්තාන්තයේ ද ගිරිකණ්ඩ නම් ප්‍රදේශයක්ද එනම් වූ කන්දක් පිළිබඳවද සඳහන් වේ. පණ්ඩුකාභය කුමරු තම පළමු කඳවුර පිහිටවූයේ ගිරිකණ්ඩ පබ්බතයේය.ඔහුගේ එක් මාමණ්ඩියක වුයේ ගිරිකණ්ඩ ප්‍රදේශය පාලනය කළ ගිරිකණ්ඩ සිවය.

කුමරු විසින් සිය මාමණ්ඩිය ගේ දියණිය තම අනාගත රැජින ලෙස දිනාගැනීමේ වෘත්තාන්තයට පසුබිම් වූයේ ගිරිකණ්ඩ ප්‍රදේශයයි. බුද්ධඝෝෂ හිමියන් විසින්ද ගිරිකණ්ඩ විහාරයක් හා එහි පිහිටි චෛත්‍යයක් පිළිබඳව සඳහන් කොට ඇත. ඔහුගේ එක් මාමණ්ඩියක වුයේ ගිරිකණ්ඩ ප්‍රදේශය පාලනය කළ ගිරිකණ්ඩ සිවය. කුමරු විසින් සිය මාමණ්ඩිය ගේ දියණිය තම අනාගත රැජින ලෙස දිනාගැනීමේ වෘත්තාන්තයට පසුබිම් වූයේ ගිරිකණ්ඩ ප්‍රදේශයයි. බුද්ධඝෝෂ හිමියන් විසින්ද ගිරිකණ්ඩ විහාරයක් හා එහි පිහිටි චෛත්‍යයක් පිළිබඳව සඳහන් කොට ඇත. ඔහුගේ එක් මාමණ්ඩියක වුයේ ගිරිකණ්ඩ ප්‍රදේශය පාලනය කළ ගිරිකණ්ඩ සිවය. කුමරු විසින් සිය මාමණ්ඩිය ගේ දියණිය තම අනාගත රැජින ලෙස දිනාගැනීමේ වෘත්තාන්තයට පසුබිම් වූයේ ගිරිකණ්ඩ ප්‍රදේශයයි. බුද්ධඝෝෂ හිමියන් විසින්ද ගිරිකණ්ඩ විහාරයක් හා එහි පිහිටි චෛත්‍යයක් පිළිබඳව සඳහන් කොට ඇත.

තිරියාය ගිරිලිපියෙහි පස්වැනි පෙළෙහි එන ‘ගිරිකණ්ඩක චෛත්‍යය අවලෝකිතේශ්වරගේ නිවහනකි’ යන පාඨය විශේෂ අවධානයට යොමුවිය යුතුව ඇත. මෙම අවලෝකිතේශ්වර නම් මහායාන බෝධිසත්වයන් වන්දනාමාන කිරීම පැරැණි ලංකාවේ ප්‍රචලිතව පැවතුනේය. එහෙත් සාහිත්‍ය ග්‍රන්ථකරණයේදී සහ සෙල්ලිපිවල ඔහු සඳහන් වන්නේ ලෝකේශ්වර ලෝකේශ්වරනාථ හෝ නාථ යනුවෙනි. වර්තමානයේ නාථ යනුවෙන් ව්‍යවහාර වෙයි. එබැවින් සත්වන හෝ අටවන සියවසේ තිරියායේ පැරැණි ආරාමය මහායානික, නොවූයේ නම් මහායානයට නැඹුරු වූ බව එයින් අනාවරණය වෙයි. සෙල්ලිපියෙහි එන කර්තෘගේ ප්‍රාර්ථනාව අනුව ඔහුද නිසැකවම මහායානික වූ බව පැහැදිලිය. තිරියාය මෙන්ම අසල වූ කුච්චවේලී සෙල්ලිපියද මහායානික වන බැවින් එම කාලයෙහි මහායානික පිරිස් ලක්දිව නැගෙනහිර වෙරළබඩ බලවත්ව සිටි බවට සාධක ඇත.

වර්තමානයේ නිදහස් නිවහල් ප්‍රදේශයක් වන තිරියාය බෞද්ධ උරුමය සුරැකීම අප සියලු දෙනාගේ අයිතිය හා වගකීම වනු ඇත. තිරියාය ගිරිලිපිය අනුව පාරිශුද්ධත්වය පිළිබඳව මහත් කීර්තියක් ඉසිලූ ගිරිකණ්ඩක චෛත්‍යය ජීවමාන බුදුරජාණන් වහන්සේ ස්මරණය පිිණිස යෝග්‍ය වූ අතිමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පූජණීය පුණ්‍යභූමියක් ලෙස සදාකල් පවතිනු ඇත.

Link- තිරියාය ගිරි ලිපියෙහි පෙළ

තිරියාය ගිරි ලිපියෙහි පෙළ අනුව පරණවිතාන මහතාගේ ඉංගී‍්‍රසි පරිවර්තනයෙහි සිංහලානුවාදය මෙසේය

අවිරත භක්ති ඇති හදවත් සහිත වූ නිමල ගුණැති , දානයට පළමුවැන්නන් වීම වීමේ පින කැමති වූ (වන්) විසින් ....අසදෘශ ශාස්තෘන් වූ ශාක්‍ය රාජ තිලක වූ සුගත භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ....උතුම් ලෙස ධාතූන් ලබාගත්තා වූ ...සම්මුඛයෙහි .....සමුද්‍ර යාත්‍රා කිරීමෙහි දක්‍ෂ වූ මිලදී ගැනීමෙහි හා විකිණීමෙහි නියුක්ත වූ නා නා විධ රුවල් යාත්‍රා විශේෂයන්හි පුරවන ලද භාණ්ඩ සන්දර්ශණයක් (හිමි වූ ) වෙළෙඳ ගණයන් කුසල් හේතුවෙන් ස්වකීය (ඥාති) වූ මිත්‍ර දේවතාවෙකු විසින්......පැමිණීමට ....සමුද්‍රය ගෙවා ...උපශාන්ත වූ (තමන් තුළ ) කුළුගැන්වුණු (විවිධ) යහ ගුණයන්ගෙන් හෙබි සියලු වෙළෙඳ ගණයන් විසින් කරන ලද මෙන් (එහි) පැමිණි නුවරුන් ඇතුළුව නොඅඩු පී‍්‍රතියෙන් යුතුව උතුම් ගිරිකණ්ඩික චෛත්‍යය යැයි ලොවේ හැඳින්වුණු එය පූජාවන් කරන ලද , මනොඥ මළුබිම් සහිත වූ දැහැමි මිනිස් සමූහයන් විසින් නිති භක්තියෙන් වන්දනා කරනු ලබන ඒ උතුම් ගිරිකණ්ඩික චෛත්‍යය වැඳ..ප්‍රකාශිත වූ මහාමුනි ....දෙවියන් කින්නරුන් විසින් ගෞරව කරනු ලැබීමට යෝග්‍ය වූ අවලෝකිතේශ්වර යැයි හැඳින්වෙන ශාස්තෘන් වූ බෝධි සත්වයන් නිති නිවසන ......භාග්‍යවතුන් වහන්සේ .....ඒ ගිරිකණ්ඩික චෛත්‍යය මමද ......මිහිරි වදන් ඇති මුනිවරයාද පාපයත් චෛතසික වේදනාවනුත් ඉවත්කරන ...අති සුකුමාර සිරුරැති භාග්‍යවතුන් වහන්සේ ස්වර්ණා භරණයන්ගේ දීප්තියෙන් අලංකාර වූ ශරීර ප්‍රභාවයක් ඒකාන්තයෙන් ලබන්නා වූ එහි, ඒ උතුම් ගිරිකණ්ඩ චෛත්‍යය මමද වඳින්නෙමි. ...දිවඟනන් අහස් ගඟින් ලත් නෙළුම් පත්‍ර වලින් කළ බඳුන්වල සුවඳපැන් දරමින් සිය අත්වල කුසුම් තුවරලා මිණිපහන් සහ උපහාරයන් ගෙන සුලලිතව සුරපුරෙන් බැස භාග්‍යවතුන් වහන්සේට සතුටින් වන්දනා කරන උතුම් ගිරිකණ්ඩි (ක චෛත්‍යය) අනන්ත අනුගාමික දෙවිවරුන් පිරිවරාගත් සුරරජු ද අති මනොඥ වූ සුරසක් , බෙර.......නදවමින් සුරතුරුවල හටගත් නව කුසුම් ගඩොවල් විසුරුවමින් දිනපතා මහසෙල මත වන්දනා කළේය. එහි සිය ගණන් ඇති ගෞරවයට යෝග්‍ය වූ , සිංහලෙන්ද්‍රයා සහ ඔහුගේ ජනතාව විසින් සකස් කරන ලද.....දුක නිවාරණය කරන ......ආර්ය සමූහයන් විසින් වඳිනු ලබන ගිරිකණ්ඩියෙහි පිහිටුවන ලද බුදුන්ගේ ධාතුව මමද වඳීමි. සියලු තිමිර පහකරන භාග්‍යවතුන් වහන්සේගේ...ගිරිකණ්ඩි චෛත්‍ය සිද්ධස්ථානයට නැඹුරු වුණු මනස ඇතිව....කිනම් හෝ පිනක් ඇති කරන ලද ද එයින් ලෝකයේ භවදුක් ප්‍රහීණ වේවා . ත්‍රපුස්සක සහ වල්ලික යන වෙළෙඳ ගණයන් විසින් පිහිටුවන ලද ගිරිකණ්ඩ චෛත්‍යය සියලු සංසාකර ධර්මයෝ අනිත්‍යයහ.


© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.