UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

'බුද්ධ ධර්මය පරලොවට කියූ බණක් නොවේ'

 

 

බුද්ධ ධර්මය සුභවාදී ද නොවේ. අසුභවාදී ද නොවේ. ලෝකයත්, සත්වයාත් ගැන ඇති සැටියෙන්ම දක්නා හෙයින් එය යථාර්ථවාදී යැයි කිව හැකි ය. මිනිසා බොරුවෙන් නළවා මායා ලෝකයක සැතපවීමක් හෝ බොරු බිය වලින් තැතිගැන්වීමක් හෝ බුද්ධ ධර්මයේ නැත. මිනිසා කවරෙක් ද? ඔහු වටා පිහිටි ලෝකය කුමක් ද? යන්න ඇති සැටියෙන් තතු පරිද්දෙන් නො සඟවා කියා දෙන බුදු දහම, සැබෑ නිදහසත් ,සැනසීමත්, සතුටත් ලද හැකි මාර්ගය පෙන්වා දෙයි.

ඇතැම් බටහිර උගතුන් බුදු දහම අසුභවාදී ඉගැන්වීමක් ලෙස සඳහන් කළ අවස්ථා ගැන වාර්තා වී ඇත. සමහරු බුදු දහම පරලොවට දෙසූ ධර්මයක් ලෙස හඳුන්වති. බුද්ධ ධර්මය ගැන එතරම් දැනුමක් නැති සමහර බෞද්ධ අය ද නිර්වාණය පරලොවකදී ලබන එකක් ලෙස හා බුදු දහමින් වැඩි යහපතක් වන්නේ පරලෝකයේ දී යැයි සලකන බවද පෙනේ. ඇතැම් උගතුන්, බුදුරදුන් ලෞකික ජීවිතයේ ගැටලු ගැන එතරම් උනන්දුවක් නොදැක් වූ පරලොව ගැන පමණක් දේශනා කළ ශුඞවාදියකු ලෙස හඳුන්වා දී ඇත. මේ සියලු අදහස් බුද්ධ දේශනා ගැන නිවැරැදි අවබෝධයකින් තොර සාවද්‍ය මත ලෙස දැක්විය හැකි ය.

බුදු දහම අසුභවාදයක් ලෙස ඇතැම් බටහිර උගතුන් සඳහන් කරන්නේ බුද්ධ දේශනා ඇතුළත් මුල් පෙළ සුත්‍රාදිය ඉවසීමෙන් හා විමර්ශනයෙන් තොරව තැනින් තැන පමණක් කියවා හෝ විවිධ උපාධි ආදිය සඳහා ඇතැම් උගතුන් ඉදිරි පත්කර ඇති ග්‍රන්ථ හෝ ඇතැම් දුර්මතධාරි පුද්ගලයන් පක්ෂපාතීව ලියන ලද පොත් පත් කියවා වැරැදිව ගත් දෘෂ්ටි නිසා මිස, යථාවබෝධයකින් යැයි සැලකිය නොහැකි ය. ආදී බෞද්ධ ග්‍රන්ථ (පෙළ පොත්) අපක්ෂපාතීව පරිශීලනය කරන ඕනෑම කෙනකුට මෙම චෝදනාව සාවද්‍ය බව පෙනී යනු නොවනුමාන ය. බුදුරදුන් සිව් පිරිසටම අවබෝධ කර ගත හැකි මාවතක් පෙන්වා දුන් අතරම ලෞකික ජීවිත ඉතාම සාර්ථකව ගත කිරීමට අනුගමනය කළ යුතු උසස් ආචාරධර්ම පද්ධතියක් ද උගන්වා ඇත.

ජීවමාන බුද්ධ කාලීන භාරතීය ආගම් අතර බුදු දහම විශේෂ සාර්ථකත්වයක් ලැබීමට එක් ප්‍රධාන හේතුවක් වූයේ, එක් අතකින් තමාගේ අවිවේකී පවුල් ජීවිතය හා සමාජයමය වගකීම් ඉටු කරන අතරම අනෙක් අතින් ධර්මයේ අන්තර්ගත ගුණාංගවලට අනුකූ®ලව තම මනස හැඩ ගස්වා ගැනීමට ස්ථිර ලෙස අධිෂ්ඨාන කොට ගත් ආදර්ශවත් ගෘහස්ථ ශ්‍රාවකයන් බිහි කිරීම එහි ඇතුළත් ක්‍රියා පිළිවෙල ක් වූ නිසැ යැයි කිව හැකි ය. බුදු රදුන් ගිහි ජනයා සඳහා නිර්දේශ කළ අවම විනය පද්ධතිය පන්සිල් නමින් හැඳින්වෙන අතර එමඟින් මිනිසා ඇතුළු සියලු මනසක් සහිත ප්‍රාණින්ගෙ ජීවිත විනාශ නොකිරීම හෙවත් සෑම ප්‍රාණිකයකුගේම ජීවිතය එක හා සමානව අගය කිරීම, අනුන්ගේ දේපොළ අයිතිය පිළිගැනීම හෙවත් අන්සතු නොදුන් දේ හොර සිතින් තමන්ට අයිති නොකර ගැනීම, වෛවාහික පොරොන්දු කඩ නොකිරීම, සත්‍යවාදී බව අගය කිරීම, (මුසාවාදය) විවිධ මත්වර්ග පාවිච්චිය මගින් ප්‍රකෘති සිහිය නැති කර නොගැනීම හෙවත් හොඳ සිහි කල්පනාව නැතිවීමට හේතු වන දේ පාවිච්චි නොකිරීම යන ශ්‍රේෂ්ඨ ආචාර ධර්ම පද්ධතියක් පෙන්වා දී ඇත.

මෙම වැලකී සිටිය යුතු යැයි නිර්දේශිත මෙම ආචාර ධර්ම වාචසිකව හෝ නීතියෙන් නොව තම තමන්ගේ අභ්‍යන්තරයෙන් එන ගුණාංගයක් ලෙස පුද්ගල සන්තානය තුළ පැවැතිය යුතුය යන්න බුදුරදුන්ගේ් අපේක්ෂාව විය. මෙමගින් වැරැදි පහකින් වැළකීම පමණක් නොව, ඒවාට සමගාමීව ප්‍රායෝගිකව ක්‍රියාවෙහි යෙදීම සඳහා බුදුරදුන් කරුණු පහක් ද වදාරා තිබේ. ප්‍රාණ ඝාතයෙන් වැළකි සියලු ප්‍රාණීන්ට මෛත්‍රී කළ යුතු ය. සොරකමින් වැළකී පරිත්‍යාගශීලි විය යුතු ය. කාමමිථ්‍යාචාරයෙන් වෙන් වී සාදාචාර ලෙස ලිංගික සම්බන්ධතා පැවැත්වීම හෝ අවිවාහක නම් බ්‍රහ්මචාරී ජීවිතයක් ගත කළ යුතු ය. බොරුවෙන් මිදී සත්‍යවාදීව කටයුතු කළ යුතුය. මත් වර්ගවලින් වැළකී හොඳ සිහිනුවණින් කටයුතු කළ යුතු ය. මෙසේ බුදුරදුන් විසින් දේශිත පංචසීල නම් වූ ගිහි නිත්‍යශීලයෙන් (ගිහි විනයෙන්) චාරිත්‍ර හා චාරිත්‍ර වශයෙන් දෙයාකාර අංශ ගැන සිහි සමාජයේ අවධානය යොමු කොට බියෙන් සැකයෙන් තොරව සාමකාමී ලෙස නිවැරැදි සිහිබුද්ධියෙන් ජීවිත්විය හැකි සමාජ ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දී ඇත.

බුද්ධ දේශනා අතර දේශපාලන ආර්ථික, සදාචාරමය හා සමාජ ක්‍රමය ගැන කොතරම් අවධානය යොමු කර ඇතිදැයි ධනය හා අපරාධ සම්බන්ධව දෙසූ දේශනා මඟින් නිදසුන් කළ හැකි ය. ධනය නිසිලෙස සමාජය තුළ නොබෙදී ගිය කළ දිළිඳු බව වැඩෙන බවත්, ඒ නිසා සමාජය තුළ සොරකම, බොරු, ප්‍රාණඝාතය, කාමමිථ්‍යාචාරය ආදි සමාජ දූෂණ ඇතුළු සියලු අපරාධ වර්ධනය වී මුළුමහත් සමාජ ක්‍රමය බිඳ වැටී ඔවුනොවුන් තිරිසන් සතුන් හා සමානව දකිමින් එකිනෙකා මරාකොටා, ගන්නා සමාජයක් ඇතිවිය හැකි බවත්, ඉන් මිදීමට නම් පාලකයන් නිසි අවබෝධයෙන් කටයුතු කරමින් පාලිත ජනයා සංවර්ධනය කළ හැකි ධාර්මික සංවර්ධන ක්‍රම ක්‍රියාවට නැඟිය යුතු බවත් එසේ කළ කල්හි රට ස්වයංපෝෂිත වී ඉතා දියුණු සමාජයක් ඇති වන බවත් එබඳු සමාජයක් තමන්ගේ අතීත ජීවිතයකදී (ජාතක කථාවක) තිබුණු බවත් එම සමාජය මොන තරම් දියුණුව පැවතුණේ ද යත් රට සංවර්ධනය වී මිනිසුන් ගෙවල් දොරවල් විවෘතව තිබිය දී දරුවන් උරහිස මත රඳවාගෙන නටවමින්, විනෝදවෙමින් සිත්සේ හැසුරුණු බවත් සොර සතුරන්ගෙන් තොර සාමකාමී ජීවිතයක් ගත කළ ආකාරයත් පෙන්වාදී ඇත. (දීඝ නිකාය, චක්කවත්තී සීහනාද, කූටදත්ත, අග්ගඤ්ඤ සූත්‍ර) අද ඇති සමහර දේශපාලන න්‍යාය මගින් අවසානයේ අපේක්ෂා කරන ඉහළම සමාජ ක්‍රමය ( ) එනම් නඩුහබ ගැටුම්වලින් තොර සාමකාමී දියුණු සමාජයක් බුදු සමයේ නිර්දිෂ්ඨ ධාර්මික පාලන ක්‍රමයකින් උදාකර ගත හැකි බව උක්ත කරුණු අනුව පැහැදිලි වෙයි. මිනිසාගේ සමාජගත ලෞකික ප්‍රශ්න හා සාමකාමී ජීවන පැවැත්මකට බාධාවන හේතු නැතහොත් සංස්ථාගත (බාහිර - ලෞකික) හා සන්තානගත (අභ්‍යන්තර - මානසික) ප්‍රශ්න විසඳාගෙන සුරක්ෂිත පී‍්‍රතිමත් සමාජ ජීවිතයක් හා පෞද්ගලික දිවි පැවැත්මක් බුදු දහමට අනුව මෙලොවදීම ගොඩ නගා ගත හැකි බව මෙම කරුණු අනුව වටහා ගත හැකිය. සතර සංග්‍රහ වස්තු, සතර බ්‍රහ්ම විහරණ, පංචසීලය, අරි අට මඟ, දසරාජ ධර්ම, දස සක්විතිවත්, දස කුසල්, දස පුණ්‍යක්‍රියා ආදී ධර්මෝපදේශ රාජ්‍ය පාලනය සඳහා උපයෝගි කරගෙන ඉතා දියුණු සමාජ තත්ත්ව ඇති, සංවර්ධනය වූ ලොවක් බිහි කර ගැනීමට අද වුව ද බාධාවක් නැති බව, මෙම බුද්ධ දේශනාවලින් පැහැදිලි කර ගත හැකි ය.

මෙම ධර්මෝපදේශට අමතරව සමාජය තුළ සාමයත්, සමාදානයත්, එකිනෙකා අතර හොඳ හිතත්, වර්ධනය කිරීමේ පරමාර්ථයෙන් බුදුරදුන් දෙමවුපිය දූ දරුවන්ට ද, ගුරු සිසුන්ට ද, අඹු සැමියන්ට ද, සේවා යෝජකයන්ට හා සේවකයන්ට ද මිතුරන් අතර ද, ගිහි හා පැවිදි අය අතර ද, පැවැතිය යුතු විශේෂ වූ ආචාර ධර්ම පද්ධතියක් නිර්දේශ කර තිබේ. කරත්තයක කඩ ඇණය (කරත්තයේ රෝදය රැඳවීමට ඇති ඇණය) මෙන් මේ ආචාර ධර්ම සමූහය පුද්ගලයා හා සමාජය රඳවා තබන අතර, මේවා ඔවුනොවුන්ගෙන් ඉටු නොවී ගිලිහී ගියහොත් මුළු මහත් සමාජ චක්‍රයේ පැවැත්ම බිඳ වැටෙන බවත් බුද්ධ දේශනාවේ සඳහන් වෙයි. (සිඟාලෝවාද සූත්‍රය)

බුද්ධ ධර්මය සුභවාදී ද නොවේ. අසුභවාදී ද නොවේ. ලෝකයත්, සත්වයාත් ගැන ඇති සැටියෙන්ම දක්නා හෙයින් එය යථාර්ථවාදී යැයි කීව හැකි ය. මිනිසා බොරුවෙන් නළවා මායා ලෝකයක සැතපවීමක් හෝ බොරු බිය වලින් තැතිගැන්වීමක් හෝ බුද්ධ ධර්මයේ නැත. මිනිසා කවරෙක් ද? ඔහු වටා පිහිටි ලෝකය කුමක්ද? යන්න ඇති සැටියෙන් තතු පරිද්දෙන් නො සඟවා කියා දෙන බුදු දහම, සැබෑ නිදහසත් සැනසීමත් සතුටත් ලද හැකි මාර්ගය පෙන්වා දෙයි.

එක් වෛද්‍යවරයෙක් රෝගය ඇතිවාට වඩා ඉතා දරුණු යැයි සලකා, එය අසාධ්‍ය යැයි සිතා සුව කිරීමේ බලාපොරොත්තුව හැර දමයි. තවකෙක් තම නොදැනීම නිසා කිසි ලෙඩක් නැතැයි ද, පිළියමක් වුවමනා නැතැයි ද ලෙඩාට කියයි. මෙයින් පළමුවැන්නා අසුභවාදි යැයි ද දෙවැන්නා සුභවාදී යැයි ද කිව හැකි ය. මේ දෙදෙනාම අන්තරාදායක අය වෙති.

එහෙත් රෝගයේ ලක්ෂණ හොඳින් විමසා බලන තුන්වැන්නෙක් රෝගයේ නිදාන තත්ත්ව තේරුම් ගෙන එය සුවපත් කළ හැකි බව වටහාගෙන, උනන්දුවෙන් පිළියම් කර ලෙඩාගේ ජීවිතය ගලවා ගනියි. බුදුරදුන් මේ තුන්වැනි වෛද්‍යවරයා වැනි ය. උන්වහන්සේ පුද්ගලයාගේ සියලු කෙලෙස් ලෙඩවල නිදානයත්, එයට පිළියමත් දැන සිටි බුද්ධිමත්, වෛද්‍යවරයාණෝ (හිසක්ක හෙවත් භෛෂජ්‍ය ගුරු) වූහ.

මතු සම්බන්ධයි

 

මැදින් පුර අටවක

මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා පූර්ව භාග 2.13ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]