UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිරි දළදා ප්‍රදර්ශනයට මේ සුදුසුම කාලයයි

- දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල

වසර පහකට පසු මහජනතාව සඳහා ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ අවවාද අනුශාසනා පරිදි ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා තීරණය කර තිබේ. මේ අනුව 2004 වසරෙන් පසු මෙම වසරේ මාර්තු මස 06 වනදා සිට 16 වනදා දක්වා කාලය තුළ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක බලා ගැනීමට මෙරට මෙන්ම විදේශීය ජනතාවට අවකාශ සැලසේ. මෙම දළදා ප්‍රදර්ශයත් ඒ හා සම්බන්ධ චාරිත්‍ර විධි පිළිබඳවත් දියවඩන නිලමේතුමන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

ප්‍රශ්නය - මෙවර දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන්නේ වසර පහකට පසුවයි. මෙම වසරේ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීමට විශේෂ හේතුවක් තිබෙනවාද?

පිළිතුර - මෙම වසර ශ්‍රී ලාංකිකයින්ට ඇත්තෙන්ම සුවිශේෂ වසරක් වන බව නිසැකයි. වසර 30 ක් පමණ සියලු ජාතීන් පීඩාවට පත්කරමින් රට ආපස්සට තල්ලු කළ ත්‍රස්තවාදි ප්‍රශ්නය මුළුමනින්ම නිමවී රටට සාමය උදාවන වසර ලෙස මෙම වසර අපට හැඳින්විය හැකියි. රටේ ජනතාව පමණක් නොව ලෝකවාසීන් සැවොම මේ මොහොතේ දෑස් දල්වා ශ්‍රී ලංකාව දෙස බලා සිටිනවා. යුද්ධය නිමවී සියලු ජාතීන් අත්වැල් බැඳගෙන අපි එක් ජාතියක් ලෙස ඉදිරියට යායුතු ගමන ඇරැඹෙන්නේ මෙම වසරේදී යි. එම ගමන සාර්ථක වී රට සමෘද්ධිමත් වන්නට ආගමික පරිසරයක් මත හැඳී වැඩුණු අපට, දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම ඉතා වැදගත් .

විධායකයේ සිට රටේ සෑම පුරවැසියකුගේම අරමුණ එයයි. රටේ අලුත් යුගයක් ඇරඹෙන මේ මොහෙතේ දළදා වහන්සේගේ ආශිර්වාදය තුළින් එම ගමන් ඇරඹීම අපේ බලාපොරොත්තුවයි.

යුද්ධය නිම වී සියලු ජාතීන් අත්වැල් බැඳගෙන අපි එක් ජාතියක් ලෙස ඉදිරියට යා යුතු ගමන ඇරැඹෙන්නේ මෙම වසරේදී යි. එම ගමන සාර්ථක වී රට සමෘද්ධිමත් වන්නට ආගමික පරිසරයක් මත හැඳී වැඩුණු අපට, දළදා වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම ඉතා වැදගත් .විධායකයේ සිට රටේ සෑම පුරවැසියකුගේම අරමුණ එයයි. රටේ අලුත් යුගයක් ඇරැඹෙන මේ මොහෙතේ දළදා වහන්සේගේ ආශිර්වාදය තුළින් එම ගමන ඇරැඹීම අපේ බලාපොරොත්තුවයි.

ප්‍රශ්නය - අවසන්වරට දළදා ප්‍රදර්ශනයක් පැවැත්වුණේ 2004 වසරේ හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජයරත්න මහතාගේ කාලයේදියි. ඉන් පසු මේ වනතුරු දළදා ප්‍රදර්ශනයක් නොපැවැත්වූයේ ඇයි?

පිළිතුර -රටේ පැවැති අයහපත් වාතාවරණය මෙයට ප්‍රධානතම හේතුවයි. දළදා ප්‍රදර්ශනයක් පැවැත්වෙත්දී එය නැරඹීම සඳහා සාමාන්‍යයෙන් ලක්ෂ 30 ක පමණ පිරිසක් මහනුවරට පැමිණෙනවා. පසුගිය කාලයේ පෙරහර පැවැත්වූයේත් අප විවිධ බාධක මධ්‍යයේයි. දැන් ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය වීම තුළ රටේ සමාකාමී වාතාවරණයක් ගොඩනැගෙමින් පවතිනවා. මේ දළදා ප්‍රදර්ශනයට සුදුසුම කාලයයි.

ප්‍රශ්නය - දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සිදු කෙරෙන්නේ කිසියම් වූ චාරිත්‍රානුකූල ක්‍රියාවලියක් මගිනුයි. ඒ සඳහා වන සම්ප්‍රදාය කුමක්ද?

පිළිතුර - ශ්‍රී දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය පවතින්නේ මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමටයි. ගිහි භාරකාරත්වය දියවඩන නිලමේවරයාට හිමිවෙනවා. දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම සඳහා තීරණ ගනු ලබන්නේ මල්වතු අස්ගිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම සහ දියවඩන නිලමේතුමයි. අනිවාර්යයෙන්ම මේ තිදෙනාම මේ තීරණයේදී එකඟත්වයට පැමිණිය යුතුමයි.නොඑසේ නම් දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීමට අවකාශ නැහැ. රටේ පවතින කාලීන අවශ්‍යතාව මත දළදා වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට මහනාහිමිවරු දෙනමත් මාත් සාකච්ඡා කර ජනපතිතුමන්ද දැනුවත් කැර ඒ සඳහා දින වකවානු නියම කර ගත්තා. මහජන ආරක්ෂාව ඇතුළු පොදු පහසුකම් සැපයීම මෙහිදී රජය මගින් සිදුකරනවා.

ප්‍රශ්නය - දළදා වහන්සේ වැඩ සිටින කුටිය වෙත ගිය විට අපට රන් කරඬුවක් දැකගත හැකියි. මෙහි දළදා වහන්සේ තැන්පත් කැර තිබෙන ආකාරය විස්තර කළොත්.

පිළිතුර - මෙම කරඬුව තුළ තවත් කරඬු හයක් තිබෙනවා. ජනතාව සාමාන්‍යයෙන් දකින්නේ බාහිරින්ම ඇති කරඬුවයි. ඡායාරූප ගත කර බෙදා හරිනු ලබන්නේ මෙම කරඬුව මිස දළදා වහන්සේ නොවේ. තවත් විශේෂ කාරණයක් තිබෙනවා. ඒ පෙරහර කරඬුව සම්බන්ධවයි. දළදා පෙරහරේදී මංගල හස්තිරාජයා මතින් දළදා වහන්සේ වැඩමවන බවට සමහරු විශ්වාස කරනවා. එවැන්නක් කිසිසේත්ම සිදුවන්නේ නෑ. පෙරහර සඳහා වෙනම කරඬුවක් තිබෙනවා. එයත් තැන්පත් කැර තිබෙන්නේ දළදා සමිඳුන් වැඩ සිටින කුටියේයි. දළදා වහන්සේ තැන්පත් කැර තිබෙන්නේ කරඬු හතක් මධ්‍යයෙහිය. ප්‍රදර්ශනය කැරෙන අවස්ථාවක තමයි දළදා සමිඳුන් ඉන් පිටතට වැඩම කරන්නේ.

ප්‍රශ්නය – දළදා වහන්සේ සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කෙරෙන්නේ කොපුවක් තුළ දමා බවට ඇතැමුන් ප්‍රකාශ කරනවා. මේ නිසා සැබෑ ලෙස බුදුරදුන්ගේ සූ අසූ දහසක් ධර්මස්කන්ධයේ ස්පර්ශය ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ දැක බලා ගැනීමට නොලැබෙන බවට මතයක් තිබෙනවා.

පිළිතුර - බුදුරදුන්ගේ ශ්‍රී වාම දන්ත ධාතූන් වහන්සේ නිර්මලව දළදා මැදුරේ වැඩ සිටිනවා. උන් වහන්සේ කොපුවක් තුළ බහාලා හෝ උන් වහන්සේගේ ආකෘතියක් හෝ නොව සැබෑ ලෙසම දන්ත ධාතූන් වහන්සේ මහජනතාවට ප්‍රදර්ශනය කෙරෙනවා.

ප්‍රශ්නය - දළදා වහන්සේ කරඬු හතක් තුළ තැන්පත් කැර ඇති බව ඔබ කීවා. මෙම කරඬු විවෘත කිරීම සඳහා යතුරු තුනක් පවතින බව මා අසා තිබෙනවා. මොනවද මේ යතුරු.

පිළිතුර – දළදා වහන්සේ වැඩ සිටින්නා වූ කරඬුවට බාහිරින් තවත් කරඬු හයක් තිබෙන බව මා කීවා. ඒ අතර ප්‍රධාන කරඬු තුනක් තිබෙනවා. පිටතින්ම ඇති කරඬුවේ යතුර දළදා වහන්සේගේ ගිහි බාරකරු ලෙස මා සතුව තිබෙනවා. ඊළඟ කරඬුවේ යතුර මල්වතු මහ නාහිමියන් සතුවත් ඊට පසු කරඬුවේ යතුර අස්ගිරි මහා නාහිමියන් සතුවත් තිබෙනවා. දළදා වහන්සේ වැඩ සිටින කරඬුවෙන් පිටතට ගැනීමට මේ යතුරු තුනම අවශ්‍යමයි. මේ නිසයි මම කිව්වේ මහනාහිමිවරු දෙනමත් දියවඩන නිලමෙත් එකඟතාවකට නොපැමිණ දළදා ප්‍රදර්ශනයක් පැවැත්වීම තබා උන් වහන්සේ වැඩසිටින කරඬුවවත් විවෘත කළ නොහැකි බව.

ප්‍රශ්නය - මෙවර දළදා වහන්සේ සියැසින් දැක බලා ගැනීමට කොපමණ පිරිසක් මහනුවරට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතද?

පිළිතුර - මිලියන හතරක් පමණ. ඔවුන් සඳහා අපි ප්‍රවේශ මාර්ග තුනක් ඇති කරනවා. ඊට අමතරව මහා සංඝරත්නයට හා රණවිරුවන්ට විශේෂ පෝලිම් දෙකක් ස්ථාපිත කරනවා. ආබාධිත අයටද දළදා ප්‍රදර්ශනය නැරඹීමට විශේෂ පහසුකම් සලසනවා. සෑම දිනකම දළදා වහන්සේ උදෙසා පවත්වන පුද පූජා ඒ ආකාරයෙන්ම සිදු කළ යුතුයි. අලුයම් කාලයේ හා දිවා කාලයේ එම චාරිත්‍ර විධි ඉටු කිරීමෙන් පසු දහවල් 1.00 සිට පස්වරු 5.30 දක්වා දළදා වහන්සේ ප්‍රදර්ශනය කෙරෙනවා. යළිත් පස්වරුවේ ගිලන්පස පූජාව පැවැත්වීමට ඇති නිසා පස්වරු 6.00 ට දළදා වහන්සේ යළි වැඩ සිටින කුටියට වැඩම කරනවා.

ප්‍රශ්නය – දළදා ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ට අවශ්‍යය පහසුකම් සැපයීමේ වැඩකටයුතු සංවිධානය කෙරෙන්නේ කවර ආකාරයටද?

පිළිතුර – සාමාන්‍යයෙන් දළදා වහන්සේ වන්දනා කරන්න පෝලිම් වලට එකතුවන සෑම අයෙකුටම එදින තුළ තම අපේක්‍ෂා ඉටු කරගන්න ලැබෙන්නේ නැහැ. මේ නිසා විශාල පිරිසක් පෝලිම් තුළ හිටි ආකාරයෙන්ම රැඳී සිට රැය පහන් කරනවා. මේ බැතිමතුන්ට අවශ්‍ය රාත්‍රි ආහාරය, උදෑසන ආහාරය ඒ සඳහා දායකත්වය සපයන පින්වතුන්ගේ සහායද ඇතිව දළදා මාලිගාව මගින් සපයනවා. මෙයට අමතරව පානීය ජලය, සහ සනීපාරක්‍ෂක කටයුතු ඇතුළු සියලු පහසුකම් සැපයීම රජයේත්, මහ නගර සභාවේත් සහය ඇතිව සිදුකරනවා.

ප්‍රශ්නය - අති විශාල ජනතාවක් මෙම කාලය තුළ නගරයට පැමිණෙන නිසා ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද?

පිළිතුර - මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පතිතුමා මේ පිළිබඳව පූර්ණ වගකීම ගෙන ක්‍රියාකරනවා. රජය සම්පූර්ණයෙන්ම මෙම උතුම් පින්කම සාර්ථකව කිරීමට අවශ්‍යය අනුග්‍රහය දක්වනවා. කවුරුත් බියවිය යුතු නැහැ. ආරක්‍ෂාව තහවුරු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. මහජන සහය මෙහිදී ඉතා වැදගත් වෙනවා.

ප්‍රශ්නය - දළදා ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණෙන බැතිමතුන්ට ලබා දෙන පණිවිඩය කුමක්ද?

පිළිතුර - මේ අවස්ථාවට සුදුවතින් සැරසී පැමිණ විනයගරුකව හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ආරක්ෂක අංශවල පහසුව පිණිස රැගෙන එන ගමන් මලු හැකි තරම් සීමා කරන්න.

දළදා වහන්සේ කිසිම අවස්ථාවක වීඩියෝගත කිරීම හෝ ඡායාරූප ගත කිරීම තහනම් බැවින් ජංගම දුරකතන ඇතුළු විද්‍යුත් උපකරණ මාලිගා පරිශ්‍රයට රැගෙන ඒමට ඉඩදෙන්නේ නෑ. මේ නිසා මේවාත් රැගෙන ඒමෙන් වලකින ලෙස ඉල්ලීමක් කරනවා.

දළදා වහන්සේ මෙවර ප්‍රදර්ශනය කෙරෙන්නේ වසර 05 කට පසුවයි. යළිත් මෙවැනි අවස්ථාවක් කොපමණ කාලයකින් උදාවේදැයි කියන්න බැහැ.

අනිත් කාරණය සිංහල බෞද්ධ ජනතාව පමණක් නොව සියලු ජාතීන්ද දළදා වහන්සේ සියැසින් දැක බලා ගැනීමට පැමිණෙනවා. ජාත්‍යන්තර ප්‍රජාවද ඒ අතර සිටිනවා. මම මේ රටේ සියලු ජනතාවගෙන් ඉල්ලා සිිටින්නේ දළදා මැඳුරට පැමිණ සියැසින් දළදා සමිඳුන් දැක වන්දනාමාන කරගන්නා ලෙසයි.

 

 

මැදින් පුර අටවක

මැදින් පුර අටවක පෝය මාර්තු 4 වනදා බදාදා පූර්ව භාග 2.13ට ලබයි. 5 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 00.15 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 4 වනදා බදාදාය.

මීළඟ පෝය
මාර්තු 10 වනදා අඟහරුවාදාය


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 4

Full Moonපසෙලාස්වක

මාර්තු 10

Second Quarterඅව අටවක

මාර්තු 18

New Moonඅමාවක

මාර්තු 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]