UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපදයේ ආචාර විද්‍යාත්මක වැදගත්කම

භාරතීය ආචාර ධර්ම පිළිබඳ කථා කිරීමේ දී භගවද් ගීතාවට ලැබෙන්නේ විශේෂ ස්ථානයක් බව, විද්වත් මතයයි. නමුත් භගවද් ගීතාව තුළ ද යම් යම් දෑ අන්තගාමී ලෙස ඉදිරිපත් වී තිබෙන බව ද ඔවුහු පිළිගනිති. නමුත් ධම්මපදය මනුෂ්‍ය චිත්ත සන්තානයේ ඇතිවන විවිධ අවස්ථා මතු කර දක්වමින්, භගවද් ගීතාවද අභිබවමින් ,ආචාර ධර්මානුකූල මධ්‍යස්ථභාවය රැකගෙන තිබෙන බව විද්වත්හු පිළිගනිති.

ආචාරවාදය සමාජයේ ජීවත් වන මිනිසාගේ හැසිරීම පිළිබඳ විමසා බලන, ප්‍රාමාගික (Normative)ශාස්ත්‍රයක් සේ සැලකෙයි.ආචාරවාදය (Ethics) යන වදන, ගී‍්‍රක භාෂාවේ එන ethos යන වදනින් මෙන්ම ලතින් භාෂාවේ Mores හෙවත් Morales යන වදනින් ද බිඳී ආවක් බව බිට්‍රැනිකා විශ්ව කෝෂය අර්ථ දක්වයි. මෙ වදන් තුළින්, පුරුද්ද (Habit) සහ සිරිත (Custom) යන අරුත් ද ගම්‍ය වෙයි.

එසේ ම, ආචාරවාදය, මනුෂ්‍යාගේ එම හැසිරීම් යහපත් ද අයහපත් ද, හරි ද වැරැදි ද යන්න නිර්ණය කරන ශාස්ත්‍රයක් ලෙස සැලකෙයි. ආචාර විද්‍යාව මනුෂ්‍ය චර්යාව ධාර්මිකතාව අධ්‍යයනය කිරීමක් බව ජෝන් මැකන්සි නම් චින්තකයා පවසයි.

ආදි බෞද්ධ දර්ශනය තුළ ද, ආචාරවාදී ඉගැන්වීම් බහුල ලෙස විද්‍යාමන වෙයි. සූත්‍ර පිටකයට අයත් ඛුද්දක නිකායේ දහම් පොත් අතරින්, ධම්මපදය සුවිශේෂය. ජීවිතය සාර්ථක කරගෙන ලෝකයෙන් එතෙර විය යුතු අයුරු. පෙන්වන මේ මාහැඟි ග්‍රන්ථය ආචාර විද්‍යාත්මක වටිනාකමකින් ද යුක්ත ය. කුසල්, අකුසල් - පින්, පව් යන ආචාරවාදී ගැයුම්, මෙයට ඇතුළත් වර්ග විසි හය මගින් විග්‍රහ කැරෙයි. මෙයින් මිනිසාගේ හැසිරීම් පිළිබඳ ව ද මූලික මිනිස් ස්වභාව පිළිබඳව ආචාර විද්‍යාත්මක හා මනෝ විද්‍යාත්මක වශයෙන් වැදගත් අදහස් ඉදිරිපත් කොට තිබේ.

බටහිර ගී‍්‍රක දාර්ශනික ඇරිස්ටෝටල් දක්වා ඇති පරිදි මිනිසා ක්‍රියා කරන්නේ කෙසේ දැයි පරීක්‍ෂා කිරීම පළමුව ද, මිනිසා ක්‍රියා කළ යුතු වන්නේ කෙසේදැයි සොයා බැලීම දෙවනුව ද සිදු කිරීම වැදගත් වෙයි. ඇරිස්ටෝටල්, මිනිස් හැසිරීම විග්‍රහ කිරීම සඳහා දේශපාලන දර්ශනය, ආචාර ධර්ම සමඟ සම්බන්ධ කරගෙන තිබෙන බව කරුණු අනුව ගම්‍ය වෙයි. එහෙත් ධම්මපදයෙන් විද්‍යාමාන වන ආචාර ධර්ම බොහෝ දුරට මනෝවිද්‍යාත්මක ස්වභාවයක් පෙන්වයි. මේ හේතුවෙන්, එය ආචාර ධර්මීය මනෝ විද්‍යාත්මක (Ethical phsycology) ග්‍රන්ථයක් වශයෙන් හැඳින්විය හැකි ය.

පරමාදර්ශී ජීවිතයක් සඳහා කළ යුතු මෙන්ම හළ යුතු ක්‍රියා පිළිබඳ පූර්ණ විවරණයක් ධම්මපදයේ දැක්වෙයි. කායික, වාචසික සහ මානසික වශයෙන් චර්යා වර්ග කොට ඒවා ඇතිවන ආකාරයද, යහපත් හා අයහපත් වශයෙන් ඒවා ඇගයුම් ලැබිය යුතු ආකාරය පිළිබඳ ධර්මානුකූල විනිශ්චයන් ද මෙකී උතුම් කෘතියේ විද්‍යාමාන වෙයි.

මීළඟට බෞද්ධ ආචාර විද්‍යාවේ පදනම කුමක් ද යන්න විමසා බැලීම ද යුක්ති යුක්ත ය. ආචාර විද්‍යාවේ පදනම සම්බන්ධව නැගෙන කළ යුතු වන්නේ කුමක් ද යන ප්‍රශ්නයට බුදු දහමින් මනා ලෙස පිළිතුරු ලැබෙයි. බෞද්ධ ආචාර විද්‍යාවේ වැඩි වශයෙන් අවධානය, ඒ වෙත යොමු වෙයි. එහි දී මෙම ගාථාව, ඉතා සුවිශේෂ වෙයි.

“සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝදපනං
එතං බුද්ධානසාසනං” (බුද්ධ වර්ගය, 5)

සියලු අකුසලයෙන් වෙන් වීම සහ සියලු කුසල් කිරීම නිසා සිත පිරිසුදු වෙයි. සදාචාරවාදී පුද්ගලයකු බිහි වෙයි. එවිට සදාචාරවාදී සමාජයක් ද බිහි වෙයි. යනාදී වශයෙන් සරල ලෙස එම ගාථාවේ ආචාර ධර්මීය වැදගත්කම පෙන්වා දීමට හැකි ය.

බටහිර සදාචාරවාදී දාර්ශනිකයන් අතර ආදිතමයා ගී‍්‍රක දාර්ශනික සොක්‍රටීස් ය. ඔහුගේ ක්‍රීටෝ සංවාද කෘතියේ කියැවෙන ආචාර විද්‍යාත්මක අදහස් අතර කිසිවකුට හිංසා නො කළ යුතු ය. “හිංසාවට, හිංසාවෙන් පිළිතුරු නොදිය යුතු ය” යන අදහස ඇත. ධම්මපදයේ දණ්ඩ වර්ගය තුළ සඳහන් “සබ්බේ තසන්ති දණ්ඩස්ස, සබ්බේ භායන්ති මච්චුනෝ යන ගාථාවෙන් ද ‘සියල්ලෝ දඬුවමට බිය වෙති. සියල්ලෝ මරණයට බිය වෙති. එබැවින් අනුන් තමන් සේම සළකා හිංසා නොකළ යුතු ය.’ යන අදහස කියැවෙයි. මෙය සමස්ත සත්ව වර්ගයාටම අදාළ වන අදහසකි. සොක්‍රටීස් බිහි වීමට බොහෝ කාලයකට පෙර බිහි වූ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහමෙහි දාර්ශනික ආචාරවාදී වටිනාකම එයින් ද හොඳින් සනාථ වෙයි.

‘ න හි වේරේන වේරානි’ වෛරය කිසි කලෙක වෛරයෙන් ම නොසන්සිඳෙයි. යන යමක වර්ගයේ සඳහන් ගාථා පාඨයට සොක්‍රටීස්ගේ හිංසාවට හිංසාවෙන් පිළිතුරු නොදිය යුතු ය. යන ආචාර විද්‍යාත්මක මතය, එකඟ වෙයි.

වෛරී සහගත චිත්තයක් ඇති පුද්ගලයා ඔහුටම මෙන්ම සමාජයට ද බරපතල තර්ජනයකි. අයහපතෙන් මිදී යහපත් දෙයම කරන්නා, දෙලොවම සතුටු වන බව. “ඉධ මොදති, පෙච්ච මොදති, කත පුඤ්ඤෝ උභයත්ථ මෝදති” යනුවෙන් යමක වර්ගයේ සඳහන් වෙයි. එසේම කුමන හේතුවක් හෝ නිසා යමෙක් අයහපත් දේ කරයි ද, එයයි දුකට, හේතු වන බව ධම්මපදයේ ‘පාප වර්ගයේ පා පංචේ පුරිසෝ කයිරා’ යන ගාථාවෙන් පැහැදිලි වෙයි. එසේම බුදු දහමට අනුව, පුද්ගලයාගේ යහපත් අයහපත් ක්‍රියා තීරණය වන්නේ මනස මුල්වීමෙනි. මෙයට යම් ආකාරයකින් සාපේක්‍ෂ මතයක් නූතන අපරාධනීතිය තුළ දී විද්‍යාමානය. එයින් කියැවෙන්නේ සාපරාධී ක්‍රියාව (Actucreus)සාපරාධී චේතනාව (Mensrea) මත සිදුවන බව යි.

භාරතීය ආචාර ධර්ම පිළිබඳ කථා කිරීමේ දී භගවද් ගීතාවට ලැබෙන්නේ විශේෂ ස්ථානයක් බව, විද්වත් මතයයි. නමුත් භගවද් ගීතාව තුළ ද යම් යම් දෑ අන්තගාමී ලෙස ඉදිරිපත් වී තිබෙන බව ද ඔවුහු පිළිගනිති. නමුත් ධම්මපදය මනුෂ්‍ය චිත්ත සන්තානයේ ඇතිවන විවිධ අවස්ථා මතු කර දක්වමින්, භගවද් ගීතාවද අභිබවමින් ,ආචාර ධර්මානුකූල මධ්‍යස්ථභාවය රැකගෙන තිබෙන බව විද්වත්හු පිළිගනිති.

එසේම, ගී‍්‍රක දාර්ශනික ඇරිස්ටෝටල්ගේ සංකල්පයක් වන ඇරිස්ටෝටලියානු මැදුම් පිළිවෙත (The Golden Mean) ද, සුවිශේෂ ආචාර විද්‍යාත්මක ඉගැන්වීමකි. සද්ගුණය වැඩිවීමෙන් මිනිස් ජීවිතයේ සාර්ථක තත්ත්වයක් ලබාගත හැකි බව ගී‍්‍රක විද්වතාගේ එම සංකල්පයයි. ඒ සාර්ථක තත්ත්වය වනුයේ, මිනිසාගේ සැපතයි.ධම්ම මෙම මතය ද අතික්‍රමණය කර ඇත. පි‍්‍රය වර්ගයේ සහ ක්‍රෝධරවර්ගයේ බොහෝ ගාථා පුද්ගලයකු සිය ජීවිතය තුළ අන්ත වලට බොහෝ ගාථා පුද්ගලයකු සිය ජීවිතය තුළ අන්තවලට නොගොස් ජීවත්විය යුතු අයුරු පෙන්වා දෙයි.

“ඛන්ති පරමං තපෝ නිතික්ඛා” ක්ෂමාව (ඉවසීම) උතුම් තපස ය. ‘තණ්හාය ජායතී සෝකෝ’ තණ්හාව නිසා ශෝකය උපදී. ‘ක්‍රෝධං ජහේ විප්පජහෙය්‍ය මාතං’ ක්‍රෝධ නොවූ පුද්ගලයා තුළ කායික මානසික දුක් නොපවතී. යනාදී මඟ පෙන්වීම, සැබවින්ම ආචාරවාදී සංකල්ප නොවන්නේ ද? එසේම ලෝක වග්ගයේ සඳහන් ‘ධම්මං චරේ සුචරිතං, න තං දුච්චරිතං චරේ, ධම්මචාරී සුඛං සේති, අස්මිං ලොකේ පරම්භිච’ යන ගාථාවේ දැක්වෙන සුචරිත පරිදි ධර්මයෙහි හැසිරිය යුතු ය. දුශ්චරිතයෙහි නො හැසිරිය යුතු ය. කුසල ධර්මයෙහි හැසිරෙන්නා මෙලොව ද පරලොව ද සුවසේ වෙසෙයි. මෙම අදහස් වල ඇතුළත් වන ආචාර විද්‍යාත්මක වටිනාකම අනල්ප ය.

සද්ගුණය බිහි වනුයේ, සමාජය මත නොව පෞද්ගලික සංවර්ධනය මත ය. මනසේ ඇති අපිරිසුදු චේතනා, අයහපත ගෙන දෙන අතර, පුද්ගල හා සමාජ යහපතට හේතු වන්නේ, පුද්ගල මනසේ ඇතිවන පිරිසුදු චේතනා ය. (මනෝ පුබ්බංගමා ධම්මා)

එසේම ආචාරශීලී ක්‍රියාවල ඵලය මෙලොව (ඓන ලෞකික) වශයෙන් ද පරලොව (පාර ලෞකික) වශයෙන් ද බලපාන බව, බුදු දහම අවධාරණය කරයි. හොඳ කළ පුද්ගලයා මෙලොව පරලොව දෙකේදීම, සතුටු වෙයි. (ඉධ මෝදති පෙච්ච මෝදති) හොඳ දේ කළ යුතු වන්නේ ද, දුරැලිය යුතු වන්නේ ද, එසේ කිරීමෙන් ජීවිතය උසස් බවට පත්වන නිසා ය.

ආචාරවාදය තුළින් මානුෂ්‍ය චර්යාවල සදාචාර (හොඳ) මෙන්ම නරක පිළිබඳව ද හදාරනු ලැබේ. බෞද්ධයාගේ අත්පොත බඳු ධම්මපදය තුළ එම කරුණු ආචාරවිද්‍යාත්මක වටිනාකමකින් එයටම අනන්‍ය වූ ශෛලියකින් ගැබ්ව ඇති බව පැහැදිලි වෙයි. ඒ සියල්ලේම මුඛ්‍ය අරමුණ වන්නේ පුද්ගලයා අයහපතින් මුදා, යහපත වෙත යොමු කිරීම ය. මේ නිසා, ධම්මපදය බටහිර සදාචාරවාදීන් අතර පවා කතිකාවට ලක් වූ කෘතියක් බවට පත්ව ඇත. නමුත් දාර්ශනිකයන්ගේ, චින්තකයින්ගේ, සදාචාරවාදී බොහෝ මතවාද කාලයත් සමඟ අභාවයට ගියද ධම්මපදයේ ආචාරවාදී සර්වකාලීන වටිනාකම අද ද බැබලෙමින් පවතී. එහි පරමාර්ථය සැබවින්ම පුද්ගලයාගේ අධ්‍යාත්මය ජය ගැනීම ය.

සාරඤ්ච සාරතෝ ඤත්වා
අසාරඤ්ච අසාරතෝ
තේ සාරං අධිගච්ඡන්ති
සම්මාසංකප්ප ගෝචරා

සීලාදී සාර ධර්ම සාර වශයෙන් දැන අසාරය, අසාරය වශයෙන් දැන, නිවැරැදි සංකල්පනා ගොදුරු කොට ගෙන ඇති ඔවුහු, සාරධර්ම සංඛ්‍යාත නිවන අවබෝධ කරත්, (යමක

වර්ගය – 12 )

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]