UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බුද්ධිමතුන්ට ආයාචනයක්

අප සමාජයේ ජාතිකවාදී හැඟීම් මෙ තරම් උත්සන්න වූ කාලපරිච්ඡේදයක් පසුගිය පනස් වසර තුළ දක්නට නො ලැබිණ. 1948 දී බ්‍රිතාන්‍ය යටත් විජිත ග්‍රහණයෙන් මිඳීමෙන් පසු රටේ නිදහසට එල්ල වූ විශාලතම තර්ජනය වන දෙමළ ඊළාම් බෙදුම් වාදය යුදමය වශයෙන් පරාජය කිරීම මේ තත්ත්වයට හේතුව බව කිව යුතු නො වේ. මෙ බඳු ජාතිකවාදී හැඟීම් කිසියම් ජන සමූහයක් තුළ වර්ධනය වීම සඳහා අතීත උරුමය, පොදු භූමි ප්‍රදේශය, පොදු භාෂාව , පොදු සංස්කෘතිය, පොදු පාලන තන්ත්‍රය පමණක් නො ව පොදු සතුරකු සිටිම ද අවශ්‍යය ය.

ජාතික වාදය (nationalism) හා ජාතිභේද වාදය (Communalism) අතර ඇති වෙනස ද මෙහි දී අප ගේ අවධානයට යොමුවිය යුතු ය. ජාතික වාදය, ජාතිභේද වාදය මෙන් සමාජයට අහිතකර බලවේගයක් නො ව රටේ ප්‍රගතිය සඳහා උපයෝගී කැර ගත හැකි තත්ත්වයකි. එ බැවින් මේ ජාතිකවාදී මානසිකත්වය රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා උපයෝගී කැර ගැනීමේ බරපතළ වගකීම අප සමාජය හමුවේ තිබේ. ඒ සඳහා රටේ බුද්ධිමතුන් වෙත පැවරෙන වගකීම අති විශාල ය. එ බඳු උත්සාහයක දී ආදර්ශයට ගත හැකි අතීත වැඩපිළිවෙළක් පිළිබඳ ව මෙ රට බුද්ධිමතුන් ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

ආචාර්ය ආනන්ද කුමාරස්වාමි, ඩී.බී. ජයතිලක, ඩබ්ලිව්. ආතර් ද සිල්වා, දොස්තර සී.ඒ . හේවාවිතාරණ , ජේම්ස් පීරිස් ආදී ලාංකික ඉංගී‍්‍රසි උගතුන් පිරිසක් විසින් 1905 දී කොළඹ දී පිහිටුවන ලද ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය (Ceylon Social Reform Society )  සතු ව එ බඳු ජාතිකවාදී ප්‍රතිපත්ති මාලාවක් තිබිණ.එහි අරමුණු මෙ සේ විය.

අ. ලාංකිකයන් අතර සමාජ චාරිත්‍ර ප්‍රතිසංස්කරණ අරඹා ඒවා පිළිපැදීමට උනන්දු කැරවීම සහ යුරෝපීය පුරුදු හා චාරිත්‍ර සිතිවිල්ලෙන් තොර ව අනුකරණය කිරීම අධෛර්යයට පත් කිරීම.

ආ. විවිධ ජාතීන්ට අයත් උදවිය අතර අන්‍යොන්‍ය සම්බන්ධතා හා එකිනෙකාට ගෞරව කිරීම උනන්දු කැරවීම හා ලංකාවේ සිටින පෙරදිග ජනතාවන් අතර ස්වභාවයෙන් ම ඇති බැඳිම් අවධාරණය කිරීම.

ඇ. පාලි හා සංස්කෘත සාහිත්‍යයත් සිංහල හා දෙමළ සාහිත්‍යයත් අධ්‍යයනයට අනුබල දීම.

ඈ.දේශීය කලා ශිල්ප පුනර්ජීවනයට අනුබල දීම.

ඉ.පෞරාණික ගොඩනැගිලි හා කලා නිර්මාණ සංරක්‍ෂණයට ආධාරක වීම.

වර්තමාන ජාතික වාදී නැඔුරු ව පුළුල් වැඩ පිළිවෙළක් බවට පත් කැර ගැනීම සියලු ශ්‍රී ලාංකිකයන් ගේ යුතුකම හා වගකීම ය. විදේශීය මැදිහත්වීම්, සංස්කෘතික ආක්‍රමණය, අන්‍යාගම්කරණය , බෙදුම්වාදී ප්‍රවණතා හා ආර්ථික පරාධීනත්වය පරාජය කළ හැක්කේ එ බඳු ජාතික වැඩ පිළිවෙළකින් පමණි.

විදේශ ණය මත යැපෙන ශ්‍රී ලංකාවට මේ ආකාරයේ ජාතික වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇති ශක්තිය පිළිබඳ ප්‍රශ්නය මෙහි දී මතුවීම නො වැළැක්විය හැකි ය.

ශ්‍රී ලංකාව සතු මහඟු දායාදය වන මානව සම්පත කෙරෙහි අප මෙහි දී විශ්වාසය තැබිය යුතු ව ඇත.ඊශ්‍රායලය බිහි කිරීම සඳහා යුදෙව්වන් අනුගමනය කළ ක්‍රියාමාර්ග, තම ජානමය ශක්තිය පිළිබඳ ව තැබූ විශ්වාසය හා ලෝක දේශපාලන බලතුලනය ඊශ්‍රායලයේ පැවැත්ම සඳහා උපයෝගී කැර ගත් ආකාරය අපට උදාහරණ වශයෙන් ගත හැකි කරුණු ය. යුදෙව්වාදී පිළිවෙත් අප අනුමත නො කළ ද ලෝකය පුරා විසිරී සිටින අප ගේ බුද්ධිමය ශ්‍රමය ආමන්ත්‍රණය කිරීම සඳහා යුදෙව්වන් අනුගමනය කළ පිළිවෙත කෙරෙහි විශ්වාසය තැබීම වරදක් නො වේ යැයි සිතමු. ලොව විසිරී සිටි යුදෙව්වන් ඒකරාශි කිරිම සඳහා මූලික වුයේ තියඩෝර් හර්ෂල් නමැති හංගේරියානු ජාතික යුදෙව්වෙකි. ඔහු සිදු කළ අයුරින් ම ශ්‍රී ලංකාව යළි ගොඩ නැගීම සඳහා දායක වන ලෙස ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකික බුද්ධිමතුන්ට අප ආයාචනා කළ යුතු ය. මවුබිම වෙනුවෙන් ඉටු කළ යුතු මහා මෙහෙවර සඳහා ඔවුන් ට අවස්ථාව ලබා දිය යුතු ය.

මේ ජාතිකවාදි ව්‍යාපාරය සඳහා පදනම් විය යුත්තේ කුමක් ද යන ප්‍රශ්නය ඊළඟට මතු වේ. එය අන් කිසිවක් නො ව බුදු දහම නමැති ඥාන දර්ශනය යි. එහි දී සිංහල බෞද්ධයන් නො වන ශ්‍රී ලාංකිකයන්ට අසාධාරණයක් විය හැකි බවට සැකයක් මතුවිය හැකි ය. එහෙත් එය එ සේ නො වේ.

උපතින් ම ක්‍රිස්තු භක්තිකයකු වූ ශ්‍රීමත් ආතර් සී.ක්ලාක් මහතා බුදු දහම පිළිබඳ ව දැරූ මතය ඊට කදිම උදාහරණයකි. විසි එක් වන සියවස මැද භාගය වන විට ලොව පවතින සාර්ථක ම ආගම බුදු දහම යැයි ඔහු අනාවැකි කීය. එය යථාර්ථයක් බවට පත් කිරීම මේ ජාතිකවාදී ව්‍යාපාරය සාර්ථක කැර ගැනීමට ඇති එක ම මාර්ගය යි.

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]