UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්ති සමරු උළෙල සරු කරමු මෙලෙස

සමාජ හිතකාමී ජනතාව, භික්ෂූන් වහන්සේ පොලිසිය, සමාජසේවා ආයතන මත්ද්‍රව්‍ය පිටු දැකිම සම්බන්ධයෙන් දැඩි කැපවීමක් කළ යුතුව ඇත. 2011 වර්ෂයේ සම්බුද්ධත්ව ජයන්තිය වනවිට සත්‍ය වශයෙන්ම මෙරටින් මත්ද්‍රව්‍ය භාවිතය තොර කරන්නේනම් එය සමාජයට සිදුකරන මහඟු යුතුකමක් වන්නේ ය. 2011 වර්ෂයේ 2600 වන සම්බුද්ධත්ව ජයන්ති සමරුව ආකර්ශනීය ආමිස උත්සව වලට පමණක් සීමා නොකොට, ථෙරවාදී බුදුසසුන වඩාත් සුරක්ෂිතවන ප්‍රතිපත්ති ගරුක සමාජයක් බිහිකිරීමට සමත්වන ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක විය යුතු ය.

2011 වර්ෂයේ 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය පැමිණෙයි. මේ වනවිට මෙම සැමරුම සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා සම්මන්ත්‍රණ ආරම්භ වෙමින් පවතී. මෙහිදී බෞද්ධයන් ලෙස අපේ දැඩි අවධානයට යොමුවිය යුත්තේ එම උත්සවය ඉමහත් ඉහළින් සැමරීම පමණක් නොව, සම්බුද්ධ ශාසනයේ චිරජීවනය පිණිස යම් වැඩපිළිවෙළක් දියත් කිරීමයි. එසේ නොවුණහොත් එම කාර්යය ද හුදු උත්සව දිනයක් බවට පත් වී හමාරවීම පමණකි සිදු වන්නේ.

ශ්‍රී ළංකාව තුළින් මෙන්ම වෙනත් බෞද්ධ රටවලින්ද මේ සදහා උපකාර මෙන්ම සහයෝගයද ලබාගැනීමේ හැකියාව පවතී.

බුදු සසුන රැක ගැනීමේදී අලුතින් උදාවී ඇති විශාල අභියෝගයක් නම් බෞද්ධයන් අන්‍යාගම්වලට හරවා ගැනීමේ උපක්‍රමය යි. මේ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කොමිෂන් සභාව කියා සිටිනුයේ එවැනි සංවිධාන තුන්සිය අසූහතරක් (384) තිබෙන බවයි. මෙයින් පැහැදිලි වන කරුණක් නම් බුදුසසුනට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදුව ඇති බවයි.

එහෙයින් පුද්ගල ආර්ථික සුරක්ෂිතතාව ගැනද මෙහිදී සැලැකිලිමත් විය යුතුය. ශ්‍රී ලාංකික සමාජයේ ආගම මෙන්ම සාහිත්‍ය දියුණුවද කැපී පෙනෙනුයේ සාමකාමී මෙන්ම ආර්ථික සුරක්ෂිතතාවය තිබුණු යුගවලදී බව ඉතා පැහැදිලිය.

මේ අනුව රජය සමාජ ආර්ථික සුරක්ෂිතතාව ගැන  සැලැකිල්ලක් දැක්විය යුතු මෙන්ම සාමකාමී නිසි පරිසරයක් ගොඩනඟා ගැනීම ගැනද අවධානය යොමුකළ යුතුය. එසේම ආගමික වගකීම ඉටුකිරීමේදී ආර්ථික, සමාජ සුරක්ෂිතතාව පිළිබඳ බෞද්ධ ඉගැන්වීම් (මංගල - පරාභව- සිඟාලෝවාද - ධම්මික ආදී සූත්‍රවල ඇති) ප්‍රායෝගික කළ යුතුය.

ලෞකික මෙන්ම ලෝකෝත්තර වශයෙන්ද පුද්ගල සංවර්ධනයට ඒකාන්තයෙන්ම හේතුවන දහමක් අප සතුව තිබියදී එහි අකාලික ගුණය වටහාදීමේ මෙන්ම, වටහා ගැනීමේ වගකීම ගිහි - පැවිදි දෙපක්ෂයටම තිබෙන බව අවබෝධ කර ගැනීමද මෙහිදී වැදගත් ය. එහෙයින් මෙවැනි විධිමත් ක්‍රියාමාර්ගයකට යොමුවීම 2011, වර්ෂයේ සම්බුද්ධත්ව ජයන්ති සැමරුම අර්ථවත් කරන්නෙකි.

2011 වර්ෂයේ පැවැත්වෙන සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන සම්බන්ධයෙන් බණ්ඩාරනායක ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඉදිරිපත් කරන ලද උඩුගම බුද්ධරක්ඛිත මහානාහිමියන්ගේ අදහස ද මෙහිලා සඳහන් කිරීම සුදුසුය. එනම් භික්ෂූන් වහන්සේ දේශපාලනයට සම්බන්ධවීමද බුදුසසුන පිරිහීමට බලපාන බවයි.

එම අදහස අනුව භික්ෂූන් අනවශ්‍ය ලෙස දේශපාලන ගැත්තන් නොවී, අදාළ පුද්ගලයන්ට මනා දේශපාලන ක්‍රියාවලියක් සඳහා මඟපෙන්වීමක් කිරීම ප්‍රමාණවත් බව අපේ ද අදහසයි.

විවිධ හේතුªසාධක මත වර්තමාන ලාංකික සමාජය විශාල අධ්‍යාත්මික අගාදයකට ඇදවැටමින් පවතී.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ තොරතුරු අනුව 2008 වර්ෂයේ ළමා අපචාර පිළිබඳ පැමිණිලි 1232 කි. මෙම බෞද්ධ රටේ ළමයින් සම්බන්ධයෙන් දක්වන ආකල්පය සදාචාරය කෙබඳු ද? යන්න මෙමගින් පැහැදිලි වෙයි. ජාතියේ සම්පත වන දරුවන් කෙරෙහි කෙබඳු අධ්‍යාත්මික සංවරයක් වැඩිහිටියන් ඇතිකර ගත යුතුදැයි විමසා බැලිය යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මහින්ද චින්තන වැඩ පිළිවෙළට අනුව ‘මතට තිත’ තැබීමේ අරමුණු ඉටුකරලීමට ද මෙවැනි අවස්ථාවක් අතිශයින්ම උචිතය. එම ක්‍රියාදාමය ක්‍රියාවට නංවාලන්නේ නම් එය සමාජ ආර්ථික අධ්‍යාත්මිත සංවර්ධනයෙහිලා මහත් පිටුබලයෙකි.

සමාජ හිතකාමී ජනතාව, භික්ෂූන් වහන්සේ පොලිසිය, සමාජසේවා ආයතන මත්ද්‍රව්‍ය පිටු දැකිම සම්බන්ධයෙන් දැඩි කැපවීමක් කළ යුතුව ඇත. 2011 වර්ෂයේ සම්බුද්ධත්ව ජයන්තිය වනවිට සත්‍ය වශයෙන්ම මෙරටින් මත්ද්‍රව්‍ය භාවිතය තොර කරන්නේ්නම් එය සමාජයට සිදුකරන මහඟුª යුතුකමක් වන්නේ ය.

සියදිවි හානිකර ගැනීම වැනි ක්‍රියාවලින්ද ශ්‍රී ලාංකික සමාජය ඉහළතැනක සිටින බව අපි දනිමු. ලෞකික මෙන්ම ලෝකෝත්තර සහනදායී ක්‍රියාමාර්ගයක් ලබාදෙන දහමක් තිබියදී මෙවැනි ශෝචනීය තත්ත්ව වළක්වාලීමට යම් යම් ක්‍රමවේද සම්පාදනය කිරීම වැදගත් ය.

2011 වර්ෂයේ 2600 වන සම්බුද්ධත්ව ජයන්ති සමරුව ආකර්ශනීය ආමිස උත්සව වලට පමණක් සීමා නොකොට, ථෙරවාදී බුදුසසුන වඩාත් සුරක්ෂිතවන ප්‍රතිපත්ති ගරුක සමාජයක් බිහිකිරීමට සමත්වන ක්‍රියාමාර්ග ගැනීමට උත්සුක විය යුතු ය. 2011 වර්ෂයේ පැවැත්වීමට නියමිත සම්බුද්ධත්ව ජයන්ති සම්මන්ත්‍රණයේදී ජනාධිපතිතුමා තම කථාව අවසන් කළේ

යෝ ධම්මං පස්සති
සො මං පස්සති

යන සම්බුද්ධ දේශනය පෙන්වා දෙමිනි. එහෙයින් ඉහත සඳහන් බුද්ධ දේශනාව පදනම් කරගෙන සියලු කාර්යයන් කරන්නේනම් 2011 වර්ෂයේදී 2600 වන සම්බුද්ධත්ව ජයන්ති සැමැරුම අර්ථවත් වන බව සඳහන් කරමි.

 

නවම් පුර පසළොස්වක පෝය


නවම් පුර පසළොස්වක පෝය පෙබරවාරි 8 වන දා ඉරිදා අපර භාග 11.23 ට ලබයි. 9 වන දා සඳුදා අපරභාග 8.23
දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 9
වන දා සඳුදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 16 වන දා සඳුදා.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

New Moonඅමාවක

පෙබරවාරි 24

First Quarterපුර අටවක

මාර්තු 04

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]