UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මතු ජීවිතයේදීම කටුක දුක් දෙන ආනන්තරීය පාප කර්ම

මෙම ලිපියේ මුල් කොටස 2009 -01-04 වන දින ‘දහම් දැනුමෙන් අපරාධ පිටු දකිමු’ මැයෙන් පළ විය

දෙව්දත් සිතුවේ අගසව් දෙනමත් තමන්ගේ කතාවට පැහැදී තමා වෙත එන බවයි. ඔහු බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නට පටන් ගත්තා. සාරි පුත්තට ධර්ම කතාවක් වැටහේවා “ කියා දෙව්දත් නින්දට වැටුණා. ඔහු එම නින්දෙන් අවදි වූයේ ලේ වමනය දමා ගෙනයි. ඒ තමයි ඔහු මරණයට ලං වූ පළමු අවස්ථාව. සංඝ භේදය කර්මයේ විපාක ආරම්භ වූ අවස්ථාව.

අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ ඇති බුදුරජාණන් වහන්සේගේ චරිතය මේ මහ පොළොවට දැනෙන්නා වූ දෙයක්.

මෙසේ වූ අනන්ත ගුණ ඇති ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පා ඇතත් අදත් අපට උන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයෙන් සැනසෙන්නට පුළුවන්. එය අප සැම මේ ජීවිතේ ලද ඉමහත් වාසනාවක් .

මෙසේ අනන්ත වූ අප්‍රමාණ වූ ගුණ දරන ලොව්තුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශ්‍රී ශරීරයේ ලේ සෙලවීම තුන් වැනි ආනන්තරිය පාප කර්මය ලෙස සැලකෙනවා.

එදා දේවදත්ත අවාසනාවන්ත ලෙස මේ අකුසලය සිදු කර තිබෙනවා.

අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිජ්ජකූට පර්වතය පාමුල සක්මන් කරමින් සිටින විට දෙව්දත් උන් වහන්සේ ගේ් හිස මතට ගලක් පෙරළුවා. නමුත් එය උන් වහන්සේගේ සිරුරේ වැදුණේ නෑ. වෙනත් ගලක් පොළොවෙන් පැන නැගීවිත් එම ගල බුදු සිරුරෙහි වැදීම වැළැක්වුවා. එහෙත් එම ගල්, දෙක එකිනෙක ගැටීමෙන් විසි වූ ගල් පතුරක් බුදුරජාණන් වහන්සේගේ පාදයේ වැදුණා. එවිට සිදු වූයේ එම තැල්ම නිසා නරක් වූ රුධිරය එකතැනකට එකතුවීමයි.

බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය සිදුරු කළ හැක්කේ ජීවක වෛද්‍යවරයාට පමණයි. එතුමා බුදුරජාණන් වහන්සේට ප්‍රතිකාර කිරීමට සසර පුරා මහා පන්කම් රැසක් සිදු කොට පැමිණි අයෙක්. එමෙන්ම එතුමා බුදු සිරුරට අත තබන්නේ බුදුරජාණන් වහන්සේ නිදුක්වේවා ! නිරෝගී වේවා! සුවපත්වේවා! යන මෛත්‍රී සහගත චේතනාවෙනුයි.

සිවුවන ආනන්තරිය මහා පාප කර්මය වනුයේ රහතන් වහන්සේ මැරීමයි.

එදා බෝසත් සද්දන්ත ඇත් රජා තමා මැරීමට පැමිණි වැද්දාට පවා අනතුරක් නොකෙළේ ඔහු ඇඳ සිටි චීවරයට ගරු කරමිනුයි. බලන්න බෝධිසත්ව චරිතය පවා කෙතරම් ආශ්චර්යය ද කියා. භික්‍ෂූන් වහන්සේට ඇති ගරුත්වය ක්‍ෂය වී යෑමේ ප්‍රතිඵලයක් ලෙසට භයානක අකුසල කර්ම පවා සිද්ධ වීමට ඉඩ තිබෙනවා.

මෙහිදී අපට ගැටලුවක් පැන නගිනවා. රහතන් වහන්සේ මැරීම හෝ රහතන් වහන්සේ මැරීමෙන් වන ආනන්තරිය පාප කර්මය මේ වකවානුවේදී සිදුවිය හැකි ද කියා.

ඔව්, සැබවින්ම මේ යුගයේත් රහතන් වහන්සේ වැඩ වාසය කරනවා. මේ ලෝකය රහතන් වහන්සේ ගෙන් හිස් නෑ. අප රටේ පවා විදෙස් රහතන් වහන්සේ විශේෂයෙන් ඍද්ධි බල සම්පන්න රහතන් වහන් වැඩ වාසය කරන බවට තොරතුරු ලැබී තිබෙනවා. එමෙන්ම අප අතරින් පැන නැගුණ (සිංහල) රහතන් වහන්සේ ද වැඩ වාසය කරනවා. එමෙන්ම අබුද්ධෝත්පත්ති කාලවල දී පවා පසේ බුදුවරුන් වහන්සේ පහළවෙනවා. එම නිසා රහතන් වහන්සේ කිසිවිටෙක ලෝකයේ නැතැයි කියා සිතීම වැරැදියි.

පුද්ගලයන් සිවු දෙනකුගෙන් ප්‍රවේශම් විය යුතු බව බුදුන් වහන්සේ දේශනා කළහ. එනම්, සාමණේර හිමි නම, නයා, ගින්දර, කුමාරයා මොවුන් පොඩියි කියා නො සිතිය යුතු බවයි. නයා කුඩා වුණත් විෂ තිබෙන බව මතක තබා ගත යුතුයි. ගින්දර කුඩා වුවද විශාල වී මහා විනාශයක් සිදුවන්නට ඉඩ තිබෙනවා. එමෙන්ම කුමාරයා රජ වූ පසුව පලිගන්නට ඉඩ තිබෙනවා. එම නිසා කුමාරයා විහිළුවට ලක් කිරීම භයානකයි. එමෙන්ම සාමණේර හිමි නම කෙතරම් වයසින් ලාබාල වුවද උන් වහන්සේ රහතන් වහන්සේ කෙනකු වීමට බැරි නෑ.

මෙහි දී සලකා බැලිය යුතු විශේෂ කරුණක් තමයි අපේ රටේ කොතරම් නම් භික්‍ෂූන් වහන්සේව ඝාතනය කැර ඇත්ද? යන්න . මෙය ඉතාමත්ව ශෝචනීය මෙන්ම අති භයානක කරුණකි. තම තමන්ගේ සසර ගමන පිළිබඳ බිය උපදවා ගැනීමත් පවට ලජ්ජා වීමත් යන කරුණ අමතක විමෙන් අනිවාරතේ ආවේග හා හැගීම් වලට ඉඩ දී මෙබඳු අවාසනාවන්ත අකුසල කර්ම සිදුකැර ගන්නවා. මේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කිරීමෙන් අන්‍යයන් අතින් වුවද සිදුවීමට යන අකුසලයක් උපක්‍රමශීලිව , ධාර්මිකව වළකා ලීමට ඔබට අවස්ථාව උදාවීමට ඉඩ කඩ ලැබේවි.

ඊළඟ කාරණය සංඝ භේදයයි. මේ ගැන බොහෝ වාද විවාද තිබෙනවා.

සමාජයේ පැහැදිලි වම වැරැදි මතයක් තිබෙනවා. එනම් භික්‍ෂූන් වහන්සේ දෙනමක් අතර කේලාම් කියා කෙටවීමෙන් සංඝභේදය ඇති වෙනවා. මෙහිදී සංඝභේදය නම් ආනන්තරිය පාප කර්මය වන්නේ නෑ. නමුත් කේලාම් කීමේ අකුසලකර්මය සිදුවෙනවා. සංඝභේදය ලෙස ආනන්තරිය පාප කර්මය සිදුවෙන්නේ, උපසම්පදා භික්‍ෂූන් වහන්සේට පමණයි.

සීමා මාලකයේ පොහොය කර්ම කිරීමේදී භික්‍ෂු පිරිස දෙකට බෙදෙනවා. මෙහි දී එක් භික්‍ෂූ පිරිසක් නිවැරැදිව ධර්මය හා විනය කරුණු ඉදිරිපත් කරනවා. අනිත් පිරිස ඊට එරෙහි වනවා. මෙහිදී ප්‍රතිබල භික්‍ෂුව අවවාද කරනවා. (ප්‍රතිබල භික්ෂුව යනු වැඩිමල්, භික්‍ෂුවයි.)

“කච්චින්න පරිසුද්ධා” මේ කාරණයට මේ සග පිරිස පිරිසුදු ද?

එවිට සඟ පිරිස නිහඬව සිටිනවා. එවිට දෙවන වරටත් අසනවා.

“දුතියම්පි පුච්ඡාමි කච්චින්න පරිසුද්ධා” දෙවන වරටත් අසමි. මේ කාරණාවට මේ සඟ පිරිස පිරිසුදු ද?

එවිටත් නිහඬව සිටිනවා. එවිට ප්‍රතිබල භික්‍ෂුව තෙවන වරටත් අසනවා.

“තතියම්පි පුච්ඡාමි කච්චින්න පරිසුද්ධා “ තෙවන වරටත් අසමි. මේ කාරණාවට මේ සඟ පිරිස පිරිසුදු ද? තෙවන වරටත් නිහඩව සිටිනවා. එවිට අවවාද කෙරෙනවා. මේ සඟ පිරිස සමඟියි භේද කරන්න එපා. ඔබට කල්පයක් නිරයේ පැහෙන්න වෙනවා. එම නිසා සමඟි සංඝයා හා එක් වේවා කියා. එවිටත් දෙව්දත් එය නො අසා සඟ පිරිසක් රැගෙන ගොස් පොහොය කර්ම කළ විගස මහා දරුණු ආනන්තරිය පාප කර්මය සිදු වෙනවා. මේ තමයි ආනන්තරිය මහා පාප කර්මයේ බරපතල කම. මේ මහා පාප කර්මය සිදු වූයේ නම් පළ විපාක විදීමෙන් හැර ඉන් ගැළවෙන්නට කිසිවෙකුටත් හැකිවන්නේ නෑ.

එදා බුදුරජාණන් වහන්සේ සැරියුත්, මුගලන් අගසව් වහන්සේලා ද සමඟ පොහොය කර්ම කිරීමට සීමා මාලකයට වැඩම කළ අවස්ථාවේ දෙව්දත් තෙරුන් ඉක්මනට නිවන් දකින්නට හැකි ක්‍රමයක් ලෙසට තමන් බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලූ, වර පහ ඉදිරිපත් කර සිටියා. ඒවා නම් භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා, පාංශුකූලික විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා නිර්මාංශ විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා ආරණ්‍යගත විය යුතුයි. භික්‍ෂූන් ජීවිතාන්තය දක්වා (තුන්සිවුරෙන්) ජීවත්විය යුතුයි. යන වර පහයි. අනතුරුව මේ ක්‍රමය තමන් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කළ බවත් බුදුරජාණන් වහන්සේ මේ වර පහ ප්‍රතික්‍ෂේප කළ බවත් එසේම මේ ලෙසට නිවන් දකින්නට කැමති පිරිසක් සිටිනවා නම් එම මොහොතේම තමා සමඟ එක්වන ලෙසට දන්වා සිටියා.

මෙතන හිටියා අලුතින් මහණ වූ පිරිසක්. මේ පිරිස ධර්මය නිසි ලෙස දැන සිටියේ නෑ එසේ වූ පන්සියයක් නවක භික්‍ෂු පිරිස දෙව්දත් තෙරගේ මේ ගැටයට අසුවී ඔහු සමඟ එක් වුණා.

බැලු බැල්මට මේ වර පහ ඉතා ආකර්ෂණීයයි. නොදන්නා නිසා මේ ක්‍රමයට පැහැදුනා. නමුත් මෙතන තියෙන්නේ සම්පූර්ණ අධර්මයයි.

බුදුරජාණන් වහන්සේ මේ වර පහ සම්බන්ධව ප්‍රකාශ කැර සිටියේ එක් එක් කෙනාට අවශ්‍ය හැටියට එබඳු පැනවීම් නොකළ යුතු නමුදු ඒ ඒ භික්‍ෂුව කැමති නම් ජීවිතාන්තය දක්වා පිණ්ඩපාතික ආදී වශයෙන් පැවතීමට හැකි බවයි. නමුත් එය නො අසා පන්සියයක් භික්‍ෂූ පිරිස් දෙව්දත් සමඟ එක් වුණා. ප්‍රතිබල භික්‍ෂුව තෙවරක්ම අවවාද කළත් සමඟි වූයේ නෑ. අනතුරුව මේ භික්‍ෂු පිරිස සමඟ ගොස් පොහොය කර්ම කළ විගස ආනන්තරිය පාප කර්මය සිදුවුණා. මේ සිදුවීම් මාලාවේ අවසානයේ සැරියුත් මුගලන් දෙනම මිථ්‍යාදෘෂ්ටියෙන් මේ නවක භික්‍ෂු පිරිස ගළවා ඔවුනට ධර්මය දේශනා කළා. ධර්ම දේශනාව අවසානයේ පන්සියයක් භික්‍ෂූන් වහන්සේලා සෝවාන් ඵලයේ පිහිටියා. දෙව්දත් සිතුවේ අගසව් දෙනමත් තමන්ගේ කතාවට පැහැදී තමා වෙත එන බවයි. ඔහු බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්නට පටන් ගත්තා. සාරි පුත්තට ධර්ම කතාවක් වැටහේවා “ කියා දෙව්දත් නින්දට වැටුණා. ඔහු එම නින්දෙන් අවදි වූයේ ලේ වමනය දමා ගෙනයි. ඒ තමයි ඔහු මරණයට ලං වූ පළමු අවස්ථාව. සංඝ භේදය කර්මයේ විපාක ආරම්භ වූ අවස්ථාව.

මෙබඳු අකුසල කර්මවලින් මිදී මෙලොව පරලොව ජීවිත වාසනාවන්ත කැර ගැනීමට අප සියලු දෙනා උත්සාහ කළ යුතුයි.

දුරුතු අමාවක පෝය


දුරුතු අමාවක පෝය
ජනවාරි 25 වනදා ඉරිදා
පූර්ව භාග 11.09 ට ලබයි. 26 වන දා සඳුදා අපරභාග 1.24 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි
25 වනදා ඉරිදා ය .

මීළඟ පෝය පෙබරවාරි
02 වනදා සඳුදා


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවරි 25

First Quarterපුර අටවක

පෙබරවාරි 02

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 09

Second Quarterඅව අටවක

පෙබරවාරි 16

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]