UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය :- මේ, ධම්මපද ග්‍රන්ථයෙහි එන ගාථාවකි එහි සරල සිංහල අර්ථය පැහැදිලි කර “සබ්බේ සංඛාරා අනිච්චාති” යන්නට පරිකථා විවරණය කරන්න.

සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථනිබ්බන්දති දුක්ඛෙ එසමග්ගො විසුද්ධියා

පිළිතුර :- ගාථා ධර්මයෙහි අන්තර්ගත අදහස් මෙසේය. සියලු සංස්කාරයෝ අනිත්‍යයහයි යම් කලෙක් නුවණින් දකීද, එකල දුකෙහි කළකිරේ. සසර පැවැත්ම අවබෝධ කර ගනී. මෙය නිවනට මග වේ.

අනිච්චාවත සංඛාරා - සංස්කාර ධර්ම අනිත්‍ය ලක්‍ෂණයෙන් යුක්ත වන බැවින් දුක්ඛය, දුක්ඛ ලක්‍ෂණයෙන් යුක්ත බැවින් අනාත්මය, අනිත්‍ය ලක්‍ෂණය නම් බිඳී යාමය පිළිසිඳගත් මොහොතේ සිට දිරීම වෙනස්වීම - ආදී වශයෙන් පරිහානිය කරා යොමු වීමයි.

දුක්‍ඛ ලක්‍ෂණය නම් - පිළිසිඳ ගත් මොහොතේ සිට දිරීම ආදී කොට තැලීම - පෙළීම නිසා ඇතිවන දුක් වේදනාවයි.

අනාත්ම ලක්‍ෂණය - තම කැමැත්ත අනුව මේ කිසිවක් නොපවත්නා බවයි. තම පංචස්කන්ධය පිළිබඳ කිසිවක් තමා යටතෙහි නොපැවැත්වීමයි. තමාට තම ශරීරයෙහි ආධිපත්‍ය නැති බවයි.

ප්‍රශ්නය :- පහත සඳහන් ධම්මපද ගාථාව ඉතා වැදගත් ශාසනික තොරතුරක් සටහන් කර ඇත. එය පැහැදිලි කරන්න.

ගාථාව - “ඉධ වස්සං වසිස්සාම ඉධ හෙමන්ත ගිමිස්ස ඉති බාලො විචන්තෙති - අන්තරාසං නබුජ්ඣතිති”

පිළිතුර :- වස්සාන - හේමන්ත - ගිම්හාන - කුසීතව විසීම හැර සසර පැවැත්ම ගැන අඥාන පුද්ගලයෙකු පිළිබඳව විස්තරයකි.

විනය පිටකයට අනුව හේමන්ත - ගිම්හාන - වස්සාන යනුවෙන් අවුරුද්දෙහි මාස දොළහ සෘත තුනකට බෙදා දැක්වේ. බුද්ධ කාලයේ මගධයේ සම්මතයකි ඒ. ඉල් මස කාල පක්‍ෂය පටන් සිව් මස බැගින් මෙසේ වෙන් කොට ඇත.

ඉල් - උඳුවප් - දුරුතු - නවම් සිවු මස හේමන්ත සමයයි.

මැදින් - බක් - වෙසක් - පොසොන් යන සිවු මාසය ගිම්හාන සමයයි.

ඇසළ - නිකිණි - බිනර – වප් යන සිවුමස වස්සාන සමයයි.

හේමන්ත නම් - ගිමානි එත්ථ සනිතිති හෙමොහෙමො එව හෙමන්තො හිම බහුල කාලයයි.

ගිම්හාන - හිරු රැස් සැඩ පරුෂ කාලයයි. ගරති විලයතිති - ගම්හො, වස්සාන නම් වැසි බහුල කාලය වස්සති එත්ථානි වස්සං.

ප්‍රශ්නය :- ධර්ම ග්‍රන්ථයන්හි ආසව යන්නෙන් අදහස් කොට ඇත්තේ කුමන ධර්මයක් දැයි පැහැදිලි කරන්න.

පිළිතුර :- කාම - භව - මිච්ඡා දිට්ඨි - අවිජ්ජා යන මේ සතරයි.

කායගතා සතිය නිතර වඩන මහණදම් පුරන පැවිද්දන්ගේ හා සිහි නුවණින් යෙදී සිටින දැහැමි ගිහියන්ගේ කාමාදී ආශ්‍රවයෝ නැසී යන්නාහ.

ප්‍රශ්නය :- නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි. මේ කියමන ධර්මානුකූලව පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර :- දිට්ඨි නම් දැකීමයි. මනා දැකීම සන්දිට්ඨ නම් වෙයි.

ඒ මනා දැකීමට සුදුසු වූ යමක් ඇද්ද ඒ සන්ධිට්ඨික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය භාවනා ප්‍රතිවේධ වශයෙන් ද - ප්‍රත්‍යක්‍ෂ ප්‍රතිවේධ වශයෙන්ද දකිනු ලබන්නේ නම් සසර බිය නැවතී යයි. ඒ නිසාම වස්ත්‍රයට සුදුසු වූයේ වත්ථික වන්නා සේම මනා දැකීමට සුදුසු වූයේ - සන්දිට්ඨික නම් වේ.

ප්‍රශ්නය :- ආදරණීය ලෝකය පමණක් නොව ඇඳිවත පවා අහිමි වූ ඇය බුදුරජාණන් වහන්සේ ගේ් කරුණා නෙතට ලක්වීමෙන් මෙහෙණි සසුනට ඇතුළත් ව රහස් බව ලබා විනයවාදී මෙහෙණින් අතුරෙහි අගතැන් ද ලැබුවා ය.

මේ තැනැත්තිය කවුද? රහත් මෙහෙණිය වීමට කලින් ඇයගේ ජීවන චරිතය පිළිබඳව කෙටි සටහනකින් පැහැදිලි කොට බුදුරජාණන් වහන්සේ ගේ කුමන ගුණයක් මෙයින් මතුවී පෙනේ ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර :- බුදුරජාණන් වහන්සේ ගේ කරුණා නෙතට යොමු වූ ඇය පටාචාරා අසරණියයි. තම ස්වාමියාත් දරු දෙදෙනාත් දෙමාපියනුත් එකම සහෝදරයාත් එකම දා මිය යාමෙන් සෙනෙහෙබර ලෝකය අහිමි වූ පටාචාරාවට බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණාවට ලක්වීමෙන් සුවවත් වූවාය.

මෙයින් බුදුරජාණන් වහන්සේ ගේ මානව හිතවාදී ගුණය කැපී පෙනිණි.

ප්‍රශ්නය :- දිනක් කොසොල් මහ රජතුමා තම බිසව දියණියක ප්‍රසූත කර ඇති බව අසා ශෝකාකූල මුහුනින් යුතුව තම අකමැත්ත බුදුරජාණන් වහන්සේ වෙත සැලකර සිටියේය. එහිදී ඔහු ඇමතූ බුදුරජාණන් වහන්සේ “මහ රජ ශ්‍රද්ධා බුද්ධිසම්පන්න සිල්වත් කාන්තාව ද වාසනා වන්ත ය. ඇය අනාගතයේ දී වාසනාවන්ත පුතුන් ප්‍රසූත කරනු ඇත.

එබැවින් ඇය ඉතා හොඳින් පෝෂණය කළ යුතු යැයි පෙන්වා දුන්හ. කාන්තාව පිළිබඳ ව බෞද්ධ ආකල්පයෙහි බිඳකි මේ. පැරණි භාරතීය සමාජයේ කාන්තාවන්ට හිමි වූ තැනත් බෞද්ධ යුගයෙහි දී එය වෙනස් වූ ආකාරයත් පැහැදිලි කරන්න.

පිළිතුර :- කාන්තාව මිය යනතුරු ම හිමියා ගේ වහලියකසේ යටත් විය යුතුය, යන අදහස ප්‍රචලිත යුගයක, තම සැමියා මියගිය විට වැන්දඹු කාන්තාව හිමියාගේ සොහොනට පැන දිවි පුද කළ යුතුය යන්න සමාජ සම්මතය වී තිබිණි. එවන් තත්ත්වයක ගැහැනු දරු උපත පවා පවුලක අභාග්‍යයක් කොට ඇතැමෙක් සැලකූ®හ. බෞද්ධ යුගයෙහි දී කාන්තාව මවක් වශයෙන් මිනිස් සමාජයේ පූජනීයත්වයට පත් වූහ.

මෙහෙණි සසුන පිහිටුවා මානව අයිතිවාසිකම්වලින් පෝෂණය කළහ.

ප්‍රශ්නය :- බුදුරජාණන් වහන්සේ පැරැණි භාරත සමාජයේ ආගම දර්ශන ඉදිරිපත් කළ සමකාලීන ශාස්තෘන් අතර ම ජීවත් වෙමින් තම ධර්මය ද මහජනයා ඉදිරියෙහි තැබූහ.

අනෙක් ශාස්තෘවරුන්ගේ ක්‍රියා පිළිවෙළට ඉඳුරා ම වෙනස් පිළිවෙතක් අනුගමනය කරමින් මහජනයා වෙත එය ඉදිරිපත් කළ ආකාරය හා අවබෝධ කර වූ ආකාරය පිළිබඳ පැහැදිලි කරන්න.

පිළිතුර :- බුදු සසුනෙන් බැහැර අන්‍ය ආගමික නායකයන් ප්‍රකාශ කර සිටියේ සිය ආගම් හා දර්ශන පමණක් සත්‍ය දර්ශන හා ආගම් වන අතර එයින් බැහැර සියල්ල මිථ්‍යා මතවාද ලෙස අවඥාවෙන් බැහැර කළ යුතු බවයි. තම ආගමික මතවාද පිළිගැනීමට ඔවුහු බල කළහ.

බ්‍රාහ්මණ පූජක පිරිස ඇතැම් සමාජ කොට්ඨාශයකට ආගම ඇදහීම තහනම් කළහ. ඇතැම් ආගමික ඇදහීම් කුලවාද පටු සීමාවන් තුළ ප්‍රචලිත කරමින් සමාජ සාධාරණත්වය ද ආගම් තුළින් බැහැර කළහ.

බුදුරජාණන් වහන්සේ තම ධර්මය පිළිගැනීමට බල නොකළහ. විමසා බලා වැටහේ නම් පමණක් පිළිගැනීමට අවසර ලැබිණ.

ආගමක් පිළිගැනීම හෝ පිළි නොගැනීම ඒ පුද්ගලයන් සතු වගකීමක් බව ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ තම බුද්ධියට සිතට එකඟ නම් පමණක් පිළිගැනීමට ඉදිරිපත් වන්නයැයි ආගමික නම්‍යශීලි ආකල්පයක් ් ඉදිරිපත් කළහ.

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]