UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වස් විසීමේ ආරම්භය හා විකාශනය

ඉතාලියේ - බ්‍රෙෂියා ශ්‍රී ලංකා
බෞද්ධ සංස්කෘතික ධර්මායතනාධිපති
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති
එළුවාපොළ පඤ්ඤාරතන හිමි

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම වස් විසීම බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි පස්වග මහණුන් සමඟ සිදු විය. ශාසන ආරම්භයේ දී බුදුරදුන් තම ශ්‍රාවකයන්ට වස් එළඹීම සඳහා අවශ්‍ය විශේෂ විනය නීති පනවා තිබුණේ නැත. එලෙස පැනවීමක් තිබුණත් නැතත් පෙර බුදු සිරිතට අනුව (අතීත බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ අනුව) යමින් වස් විසීම බුදුවරුන්ගේ පිළිවෙතයි.

භාරතයේ සෘතු 6 ක් ඇති අතර, ප්‍රධාන ඍතු 4 කි. ශීත, ග්‍රිෂ්ම, වර්ෂා යන ඍතු 3 සාමාන්‍යයෙන් මිනිසා ඇතුළු සියලු ජීවීන්ට දැඩි ලෙස බලපාන නිසා ශ්‍රමණ, බ්‍රාහ්මණයන් විශේෂයෙන් වර්ෂා සමයෙහි එක් තැනකට වී වාසය කිරීම සිරිතක් විය. එහෙත් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වූ බෞද්ධ භික්ෂූන් වහන්සේ බහුජන හිත සුව පිණිස චාරිකාවෙහි හැසිරීම ගරු කොට සලකා, වැසි කාලයෙහි ද ඇවිදීමට පුරුදු වූහ. වැසි කාලයෙහි තණකොළ ආදි කුඩා පැලැහැටි ඇතිවීමත්, ක්‍ෂුද්‍ර ප්‍රාණීන් පොළවෙහි මතුවීමත් ස්වභාවිකව සිදු වන අතර ඒවා පෑගීම නිසා මිරිකී තැලී පොඩිවී මැරී යාම පාපයක් වරදක් කොට සැලකූ ජෛන ආදී ආගමික කොටස් බුද්ධ කාලීන සමාජයේ විය. අහිංසාව පරම ධර්මයක් ලෙස ජෛන ආගමික කොටස් අතර ජනප්‍රිය ඉගැන්වීමක් ව තිබුණු නිසා ඇතැම් භාරතීය ජන කොටස් එය ඉතා උසස් ප්‍රතිපත්තියක් ලෙස සැලකූහ.

බුද්ධ නියමය අනුව වැසි සමයෙහි ද බෞද්ධ භික්ෂූන් වහන්සේ චාරිකාවෙහි හැසිරෙන නිසා ඇතැම් අය ශ්‍රමණ භවත් ගෞතම ශ්‍රාවකයන් තණ පැලෑටි නසමින් කුඩා සතුන් මරමින් තැන තැන ඇවිදිතියි උන්වහන්සේට දෝෂාරෝපණය කිරීමට පටන් ගත්හ.

දිනක් බිම්බිසාර රජතුමා බුදුරදුන් බැහැදැකීමට ගොස් මෙසේ ප්‍රකාශ කළේය. ‘ස්වාමිණී භාග්‍යවතුන් වහන්ස, මේ වැසි සමයයි, මෙකල විශේෂයෙන් ශ්‍රමණ පිරිස් එක් තැනකට වී කල් ගත කරති. පක්ෂීන් පවා මෙකල ගස් බෙනවල හෝ තම කැදළිවල හෝ විශේෂ කොට වාසය කරමින් වැසි කාලය ඉක්මවීම සිරිතයි. නමුත් බුද්ධ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ මේ වැසි කාලයෙහි ද ජනපදවල ගම්දනව්වල හැසිරෙති. ඒ නිසා අලුත් හටගත් ළා දළු පැලෑටි සහ කුඩා ප්‍රාණීහු නැසෙති. එයට මහජනතාව දොස් ගනති’ යි දන්වා සිටියේය. එබැවින් මේ සඳහා යම් පැනවීමක් කිරීම නුසුදුසු දැයි බුදුරදුන් ගෙන් විමසීය.

මෙම සිදුවීම වන විට බුදු වී වසර 12 ක් හෝ 20 ක් පමණ ගත වී තිබිණි. ශාසනික විනය රීති පැනවීම ආරම්භ වූ බව පිළිගැනෙන්නේ එම කාල සීමාවෙන් පසුවය. බුදුරජාණන් වහන්සේ විනය නීති රීති පනවා වදාළේ කරුණු 10 ක් අරභයාය. ඒ අතර මහජන මතයට ගරු කිරීමද එකකි. මහජන මතයට ගරු කිරීමක් වශයෙන් හා වෙනත් හේතු කාරණා කීපයක්ම සලකා බලා බුදු හිමියෝ වස් විසීමේ සිරිත භික්ෂූන් වහන්සේට අනුදැන වදාළහ. ‘අනුජානාමි භික්ඛවේ වස්සානෙ වස්සං උපගන්තුං’ (මහණෙනි, ඔබට වස් කාලයෙහි වස් සමාදන් වී වාසය කරන ලෙස මම අනුදැන වදාරමි) යනුවෙනි.

වස් විසීම අවස්ථා දෙකකදී සිදු කළ හැකිය. 1. ඇසළ (ජූලි) අවපෑලවිය එනම් පසළොස්වකදාට පසු දින පෙර වස් විසීම.

2. නිකිණි (අගෝස්තු) අවපෑලවිය, එනම් පසළොස්වකදාට පසු දින පසුවස් විසීම.

වස් සමාදන් වීමට පෙර ඇසළ හා නිකිණි පුර පසළොස්වක පෝය දින පෝය කිරීම නම් වූ ප්‍රාතිමෝක්ෂ දේශනා විනය කර්මය භික්ෂූන් වහන්සේ විසින් සිදු කොට සීලමය පාරිශුද්ධියෙන් යුක්ත විය යුතුය. කඨින පූජා හා කඨින උත්සව පින්කම් කළ හැකි වන්නේ, පෙරවස් වසන භික්ෂූන් වහන්සේ මුල් කොටය. පසුවස් වසන භික්ෂූන් වහන්සේ උදෙසා කඨින පූජා පින්කම් කළ නොහැකිය. කඨින වස්ත්‍රය පිළිගැනීමෙ අයිතිය පවතිනුයේ පෙරවස් විසූ භික්ෂූන් වහන්සේ නමකට පමණි.

වස් විසීම සඳහා භික්ෂූන් වහන්සේට ආරාධනා කිරීම පෙර පටන් පැවැති සිරිතකි. වේරඤ්ජාවේදී උදේනි බ්‍රාහ්මණයා බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට වස් විසීම සඳහා ආරාධනා කළේ පෙර පටන් එබඳු සිරිතක් තිබුණු නිසාය. වස් කාලය එළැඹි විට පෙර සැදැහැවත් බෞද්ධයෝ සුදුසු සෙනසුන් භික්ෂූන්ට සකසා දුන්හ. වහළක් ආවරණයක්, ආරක්ෂාවක් ඇති ස්ථාන වස් විසීමට යෝග්‍ය තැන්ය. ගස් බෙන, ගස් දෙබල්, සොහොන්, ඡත්‍ර යට, ආවරණයක් නැති එළිමහන් ආදි ස්ථාන, වස් විසීමට නොසුදුසු තැන්ය. එසේම වස් වසන ස්ථානවලට සතුරු භය, වගවලසුන්, සර්ප කරදර, ස්වභාවික විපත්, භූතදෝෂ, ආදි හිරිහැර පීඩා, විපත් තිබුණොත් එම ස්ථාන අතහැර දැමීමට භික්ෂූන් වහන්සේට අවසර දී ඇත. එබඳු තැන් වෙනස් කර වස් විසීම අඛණ්ඩව පවත්වා ගෙන යා හැකිය.

එදා තිබුණු චාරිත්‍ර අනුව යමින් වර්තමාන සැදැහැවත් බෞද්ධයන් වස් වැඩ විසීම සඳහා සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේට බුලත් දැහැත් පිළිගන්වා ආරාධනා කිරීමේ සිරිතක් ඇත. මෙහිදී වැසි සළුවක්ද භික්ෂූන් වහන්ේසට පූජා කිරීම, සිදු කරනු ලැබේ. මෙය විශාඛාවන් බුදුරදුන්ගෙන් කළ ඉල්ලීමක ප්‍ර‍්‍රතිඵලයකි.

බුලත් අත් පිළිගන්වා භික්ෂූන් වහන්සේ ඉදිරියේ සියලු දායක දායිකාවන් වෙනුවෙන් එක් අයකු හෝ සාමුහිකව මෙසේ ආරාධනා කළ හැකිය. ‘ගරු ස්වාමින්වහන්ස, මේ උදාවන්නේ වැසි සමයයි. එබැවින් ගරු ස්වාමීන් වහන්සේට මෙහි වස් වැඩ වසන ලෙස ආරාධනා කිරීම, සැඳැහැවතුන්ගේ යුතුකමයි. මෙය පුරාණයේ පටන් පවත්වා ගෙන එන චාරිත්‍රයයි. අපට අනුකම්පාවෙන් අපගේ මෙම ආරාමයේ ඔබ වහන්සේ වස් එළඹෙන ලෙස අපි ඉතා ගෞරවයෙන් හා භක්තියෙන් යුතුව මෙසේ ආරාධනා කරමු. මේ වස් කාලය තුළ අපි අපගේ ශක්ති ප්‍රමාණයෙන් ඔබ වහන්සේට සිව්පසයෙන් උපස්ථාන කිරීමට පොරොන්දු වෙමු. ඔබ වහන්සේ ද තම මහණ දම් පවත්වා ගෙන යමින් අපටද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් අපට දෙලොව යහපත පෙන්වා දෙනු මැනවි! යනුවෙන් ප්‍රකාශ කරමින් ආරාධනා චාරිත්‍ර ඉටු කළ හැකි ය.

ගිහි පැවිදි අප දෙපක්ෂය මේ කාලය තුළ කුසල් දහම්වල යෙදී නිවන් මඟ ගමන් කරමු’ යන අදහසට සමීප වාක්‍යයක් ප්‍රකාශ කරමින් කට වචනයෙන් ආරාධනා කිරීම, පෙර පටන් පැවැත එන සිරිතයි.

පෝය කිරීමෙන් සීල පාරිසුද්ධියට පත් භික්ෂුව පෝයට පසු දින එනම් අවපෑලවිය දා විහාර සීමාව තීරණය කර විශේෂ වාක්‍යයකින් හෝ චිත්ත අධිෂ්ඨානයෙන් හෝ වස් සමාදන් විය හැකි ය. ‘ඉමස්මිං විහාරෙ ඉමං තෙමාසං වස්සං උපෙමි’ (මේ තෙමස මෙම විහාරයෙහි වස් වසමි) වන ශික්ෂා පදය තෙවරක් ප්‍රකාශ කොට වස් සමාදන් වෙති. එසේ වස් සමාදන් වූ භික්ෂුව අවශ්‍යතාවයකට වස් සමාදන් වූ ස්ථානයෙන් බැහැරව යන විට නැවත දින 7ක් ඉක්ම යෑමට පෙර පැමිණෙන බව අධිෂ්ඨාන කර ඉන් බැහැර යා යුතු ය. එය ‘සත්තාහ කරණීය’ (දින හතක් ඇතුළත කළ යුතු) යනුවෙන් හැඳින්වෙයි. එසේ දින 7 ක් ඉක්ම යෑමට පෙර තමන් වස් සමාදන් වූ ස්ථානයට පෙරළා පැමිණීමට නොහැකි වුවහොත් වස් සමාදන් වීම, අහෝසි වී (කැඩී) යයි. මෙය සතිකරණය නමින් හැඳීන්වේ. නමුත් කරුණු 10 ක් නිසා එසේ වස් නොකැඩෙන බවද දේශනා කර ඇත. සතුරු උවදුරු, සතුන්ගෙන් වන හානි නිසා, ගංවතුර ආදී ස්වභාවිත විපත්, මෙකල නම් අඳුරු නීතිය වැනි රාජ ආඥා ආදිය හේතු කොට ගෙන ද යන මේ ආදී හේතු 10 ක් නිසා නොකැඩෙන බවද පනවා ඇත. වස් විසීම පිළිබඳ මේ විනය ශික්ෂා පද හා ඒ හා සම්බන්ධ විවිධ චාරිත්‍ර වාරිත්‍ර සහ නොයෙක් ශාසනික සම්ප්‍රදාය වරින් වර එකතු වී වර්තමානයේ ද සැදැහැවතුන් විසින් පවත්වාගෙන යන බව අප අවබෝධ කටයුතු ය. විනය ශික්ෂා පද බුද්ධ කාලීනව පැන වූ අතර - ඇතැම් චාරිත්‍ර හා සම්ප්‍රදාය පසුකාලීනව එකතු වූ දේ ලෙස සඳහන් කළ හැකිය. මේ කරුණු සලකා බැලු කල වස් විසීමේ ආරම්භය හා එහි විකාශනය බුද්ධ කාලීනව පටන් ගෙන ක්‍රමයෙන් සංවර්ධනය වෙමින්, වත්මන් තත්ත්වයට පත් වී ඇති බව පෙනෙයි.

ශ්‍රී ලංකාව හැරුණු විට ලෝකයේ ථෙරවාදී බෞද්ධ රටවල් වන තායිලන්තය, බුරුමය මියන්මාර්, ලාඕස්, කාම්බෝජ, යන රටවලද, වියට්නාම්, නේපාල, බංගලිදේශය, ඉන්දයාව යන රටවල ඇතැම් කොටස් වලද එසේම ථෙරවාදී භික්ෂූන් වහන්සේ වැඩ සිටින යුරෝපයේද, ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, වැනි රටවලද ඇතැම් ආසියාතික රටවලද අඩු වැඩි වශයෙන් හා යම් යම් වෙනස්කම් ඇතිව වස් විසීම, කඨින උත්සව පින්කම් හා චාරිත්‍ර සම්ප්‍රදාය හැකි දුරට පවත්වාගෙන යෑමට උත්සාහ කරන බව පෙනෙන්නට තිබේ.

වස් විසීමේ චාරිත්‍ර - වාරිත්‍ර හා සම්ප්‍රදාය ගිහි පැවිදි දෙපාර්ශවයේම යහපත පිණිස හේතු වන උතුම් ශාසනික පිළිවෙතක් ලෙස හැඳින්වීම සුදුසු ය. සිව් පසයෙන් උපස්ථාන කිරීම, එදිනෙදා සිදුකරන බුද්ධ වන්දනා, බෝධි පූජා, සීල භාවනා, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා පිරිත් දෙසුම් ආදී විවිධ පින්කම් මගින් ගිහි පක්ෂ කුසල් රැස් කර ගනියි. භික්ෂූන් වහන්සේ ගිහියන්ට ධර්ම දානය ලබා දෙමින් ඔවුන් යහමඟට, නිවන් මඟට යොමු කරමින්, තමන් ද වඩ වඩාත් ශාසනික පැවිදි ප්‍රතිපත්තිවල යෙදෙමින් මහණදම් සඵල කර ගැනීමට උත්සාහ කරති. ගිහි පැවිදි සම්බන්ධය වඩාත් දියුණුවීමට හා ජීවිත සංවර්ධනය සඳහා විවිධ උපදෙස් ලබා ගැනීමට ද එමගින් ආර්ථික, සාමාජික, සංස්කෘතික හා ධාර්මික දියුණුව සකසා ගැනීමට ද මෙම උතුම් කාලය උපකාරී වනු ඇත.

බුද්ධ කාලයේ ශ්‍රාවක භික්ෂූන් වහන්සේ වැඩි පිරිසක් සෝවාන් ආදී මාර්ග ඵලවලට පත් වී ඇත්තේ, වස් කාලය තුළ බුදුරදුන්ගෙන් කමටහන් ගෙන පැවිදි ප්‍රතිපත්තිවල වඩ වඩාත් නිරතවීම නිසා ය. එබැවින් ගිහි පැවිදි දෙපක්ෂයටම ඉතා වටිනා සමයක් ලෙස මෙම වකවානුව සඳහන් කළ හැකි ය.

එම නිසා මේ උදා වී ඇති වස් සමය තුළ දී ගිහි පැවිදි සැම ;දනා තමන්ට ලැබුණු මහඟු අවස්ථාවක් ලෙස සලකා, තව තවත් ප්‍රතිපත්ති පිරීමට, කුසල් දහම් රැස් කර ගැනීමට උත්සාහ කරන ලෙසත් ඒ අනුව උභය ලෝකාර්ථ යහපත සකසා ගන්නා ලෙසත්, ඉන් තම සසර ගමන කෙටි කර ගෙන, නිවන් සුවය අවබෝධ කර ගැනීමට මෙම පුණ්‍යකාලය කදිම අවස්ථාවක් කර ගන්නා ලෙසත්, සඳහන් කරනු කැමැති වෙමි.

 

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]