UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිවන් ලබන මඟ සකසමු

බෞද්ධ වූ අප සියලු දෙනාගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ නිවන් අවබෝධයයි. අපේ ඒ බලාපොරොත්තු මල්ඵල ගැන්වීමට නම් ‘නිවන’ පිළිබඳ කාලයක් තිස්සේ ගොඩනඟා ගෙන ඇති අන්ධානුකරණ සංකල්ප වලින් අප මිදිය යුතු යි. එසේ නොවන විට අප යම් අදහසක හිරවී කොටු වී දෘෂ්ටි වශයෙන් ග්‍රහණය කොට නිදහස්ව සිතන්නට හැකියාවක් ඇති පුද්ගලයකු බවට පත් නොවේ.

“මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පෙරුම් පුරමි අපි සංසාරේ” මෑණියනි! ඔබට නිවන් සව ලැබේවා!. පියාණනි, ඔබට නිවන් සුව ලැබේවා. නිවන් පුර රුවන් දොරටු ඇරේවා, එකම ධර්ම මණ්ඩපයකදී නිවන් ලබන්නට හේතු වාසනා වේවා ආදී ආකර්ශණීය මධුර වැකි අප කොතෙක් අසා ඇත්ද? ඒ තුළින් අපගේ අසරණ සිත් තුළ නිවන පිළිබඳ ගොඩනඟා ගෙන ඇති අදහස් කවරාකාර ද? යන්න අප අප විසින්ම ප්‍රශ්න කළ යුතුව ඇත.

මිනිසා ප්‍රාර්ථනාවල සිරකරුවකු නොකොට නිදහසේ සිතන්නකු බවට පත්කළ යුතු ය. “නාචිනතයනෙතා පුරිසො විසෙස මධිගච්ඡති” අලුතෙන් හිතන්නට බැරි මිනිසා විශේෂ දැනුමක් නොලබන බව බුදු හිමියෝ දේශනා කරති. රටක්, සමාජයක්, ගෙයක්, දොරක්, ගමක්, නගරයක් ආගමක්, දහමක් දියුණු නොවන්නේ අලුතෙන් සිතන්න බැරි මිනිසුන් වැඩිවන තරමටයි. එසේ වන විට ඒ, හැම දෙයක්ම දියුණුවට පත් නොවී පල්වෙන මඩවලක් බවට පත් වෙයි. එබැවින් කුඩා කළ සිට දරුවා අදහස් වල හිරනොකොට නිදහසේ සිතන්නකු බවට පත් කළ යුතු ය. ගලා යන වතුර ඇළක් දුටුවිට එහි පැන ඇඟ සෝදන අයකු නොව, ඇයි මේ වතුර ගලන්නේ කොහාටදැයි සොයන කෙනෙකු නිර්මාණය කළ යුතු ය. “නිවන” ලබන්නේ අලුතින් සිතන්න පුළුවන් කෙනෙකු මිස පරණ අදහස් ඇති අය නොවේ.

ඇතැම් විට ‘නිවන’ යන වචනයට බොහෝ දෙනා බියක් දක්වති. කෙනෙක් භික්‍ෂුවකට වඳින විට වැරැදිලාවත් ඔබට ‘නිවන් සැප ලැබේවා’ යැයි කීවොත් ආපසු වඳින්නට නොඑන තරමට ඔහු බිය වෙයි. මේ නිසා ‘නිවන’ පිළිබඳ ගොඩ නඟා ඇති නොවටිනා අදහස් හා බියතුරන් කොට බොදු ජනතාව නිවැරදි මාවතකට යොමු කිරීමට හැම භික්‍ෂුවකගේම වගකීමක් විය යුතු ය. එහිදී අප ඔවුනොවුන්ට දොස් පවරා ගනිමින් කටයුතු නොකොට අපගේ වගකීම් ගැන සිතමු.

‘නිවන’ ලබන්නේ අද ද, හෙට ද, මේ භවයේ ද යන්න නොව ‘නිවන’ යනු කුමක්ද? එය ලබන්නේ කෙසේද යන්න දහම් මඟ ඔස්සේ කියාදීම අපේ වගකීම කරගනිමු. ධර්මයේ සන්දිට්ඨික බව, අකාලික බව, ඔපනයික බව, එහි පස්සික බව, පච්චත්ත වෙදී තබ්බ බව කියාදෙමු. ධර්මයේ සැඟවීමට දෙයක් රහසක් නැති බව කියා දෙමු. එය විවෘත කරන තරමට බැබළෙන අයුරු කියාදෙමු. ඒ සඳහා තහංචි, බලපෑම්, හා අන්තගාමී බවින් තොරව මාර්ග දේශකත්වයේ වගකීම ඉටු කරමු.

“නිබ්බාණ” යන වචනයට විවිධ අර්ථ, සූත්‍ර ධර්මවල දේශනා කොට ඇත. ‘තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බාණං’ තෘෂ්ණාවගේ ගෙවීයාම, විරාගය, නිරෝධය නිවන ලෙස දක්වයි. ‘යො තස්සා යෙව තණ්හාය අසෙස විරාග නිරොධො නිබ්බාණං” යනුවෙන් පුනර්භවය ඇතිකරන තෘෂ්ණාවගේ නැවත නූපදනාසේ විරාග නම් වූ මාර්ගයෙන් නිරුද්ධ වීම නිවන ලෙස දක්වයි. එබඳු වූ නිවනට සුදු කළු තළෙළු වර්ණයක් හෝ උස්, මිටි, රවුම්, හතරැස් රූපයක් නැත. එය අජාත, අභූත අකත, අසංඛක ධර්මයකි. එයට උතුර, දකුණ, උඩරට, පහතරට, මෙරට, පිටරට ආදී දශාවක් නැත. එය කාටත් අයිති, කොතනත් ඇති විශ්ව සාධාරණ ධර්මයකි. අපගේ බඹයක් පමණ වූ පඤ්චස්කන්ධය තුළින්ම මතුකරගත යුතු පරමාර්ථ ධර්මයකි. ඒ උතුම් පරමාර්ථය තමා තුළින් මතු කර ගැනීමට වුවමනා නිහඬ පහසු කෙටි මඟක් බුදුන් වහන්සේ පෙන්වා දෙන ආකාරය චමත්කාර ජනක ය. එක් අවස්ථාවක බුදුරදුන් සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩසිටියා. එහිදී බුදුරදුන් හමුවට මධ්‍යම රාත්‍රියෙහි ශක්‍රදේවේන්ද්‍රයා පැමිණ මෙබඳු ප්‍රශ්නයක් උන්වහන්සේ වෙත යොමු කළා.

“ස්වාමිනී! භාග්‍යවතුන් වහන්ස! භික්‍ෂූවක් තණ්හාව ගෙවලදාලා විමුක්තියට පත් වී, ස්ථිර වශයෙන් දුක් නිමා කළ, ස්ථිර වශයෙන් නිවන් දුටු, ස්ථිර වශයෙන් බ්‍රහ්මචාරී වූ, ස්ථිර වශයෙන් නිවන් මග සම්පූර්ණ කළ, දෙව් මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ කෙනෙක් වන්නේ කොහොමද කියල කෙටියෙන් කියන්නේ කෙසේද?

(මජ්ඣිම නිකාය චූලතණ්හා සංඛය සූත්‍රය)

සක්දෙව් රජුන් කළ මේ විමසුම අප කාටත් පොදුවේ ඇතිවන සිතිවිල්ලක් තණ්හාව ගෙවාදාළ නිවනට යන කෙටි මඟක් ඇත්නම් එය කෙතරම්, අගෙයිද? ගමනක් යන විට අප නිතරම බලන්නේ කෙටි පාරකින් යාමටයි. එවිට කාලයත් ඉතුරුයි. ෂයදමත් අඩුයි. වෙහෙසත් අඩුයි. එමෙන් තණ්හාව නිමා කරල නිවන් අවබෝධය සඳහා ස්ථිර විමුක්තියට පත්වන කෙටි ක්‍රමයක් බුදු සමිඳුන් සක් දෙවි රජුට පැහැදිලි කළා. එම ක්‍රමය කෙසේ ක්‍රියාත්මක කළ යුතු දැයි අපි පිළිවෙළින් සොයා බලමු.

පළමු පියවර – භික්ඛුනො සුතං හොති, (භික්‍ෂුවට අහන්ට ලැබෙනවා)

දෙවන පියවර - සබෙබ ධම්මා කාලං අභිනාවෙසායාති, (කිසිම දෙයක් තණ්හාවෙන් බැස ගන්නට සුදුසු නැහැ කියල) ( මෙහි ධම්ම නම්, ස්කන්ධ ධාතු, ආයතන පිළිබඳවයි.) තෙවන පියවර - සො සබ්බං ධම්මං අභිහ්නාති (ඔහු හැම දහමක්ම අනිත්‍යාදී වශයෙන් අවබෝධ කරනව)

සිව් වන පියවර – අභිඤ්ඤාය සබ්බං ධම්මං පරිජානාති,(අවබෝධ කරල ඒ හැම දහමක්ම විනිවිද ගොස් යථාර්ථය දකිනවා)

තණ්හාව ගෙවා දැමීමට සූදානම් වන පුද්ගලයා තුළ පළමුවෙන් ශක්තිමත් කර ගත යුතු කරුණු කීපයක් මේ පියවර සතරින් පෙන්වා දෙයි. ඕනෑම වැඩක් කිරීමට යෑමේ දී අපට ඒ සඳහා පූර්ව සූදානමක් තිබිය යුතු ය. පෙර සූදානමක් නැතිව යම් වැඩකට යන පුද්ගලයා අසාර්ථක කෙනෙකු වෙයි. ධර්මයේ දී (සුතං) ඇසීම අත්‍යවශ්‍ය කරුණකි. ඇසීම ආර්ය ශ්‍රාවකයාගේ ලක්‍ෂණයකි. (සුතවා අරියසාවකො) නොඇසීම පුහුදුන් අයගේ ලක්‍ෂණයකි. (අසසුතවා පුථුජ්ජනො) නිවන් මගේ පළමු පියවර ඇසීමයි. දෙවනුව ඔහු කිසිවක් තණ්හාවෙන් ග්‍රහණය කර නොගත යුතුයි. ඔහු කළ යුත්තේ ආශාවෙන් නොඇළි අවබෝධ කර ගැනීමයි. අනතුරුව ඔහු ඒ අවබෝධයෙන් නොනැවතී, තව ඉදිරියට ගොස් ස්කන්ධ, ධාතු, ආයතන ආදී දහම් පිළිබඳ විනිවිද දකින නුවණක් ලැබිය යුතු යි. යථාර්ථය දකින අයෙක් බවට (විපස්සනා) පත්විය යුතුයි. මේ අයුරින් යුක්ත වන විට ඔහුගේ තණ්හාව ගෙවා දමන මගෙහි පූර්ව සූදානම ඉතා ශක්තිමත් ය. එසේ ශක්තිමත් වූ ඔහු ඊළඟ පියවරට යා යුතුයි.

පස්වන පියවර – පරිඤ්ඤාය යං කිඤචි වෙදනං වෙදෙති, (විනිවිද දක්නා නුවණින් යම්කිසි වේදනාවක් විඳියි)

සය වන පියවර - සුඛං වා දුක්ඛං වා අදුක්ඛමසුඛං වා (සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ මධ්‍යස්ථ වේදනාවක්)

දැණ් තණ්හාව ගෙවා දමන කෙටි මාවතේ ප්‍රධාන අරමුණට ළඟා වුණා. එනම් විනිවිද දකින නුවණින් සැප හෝ දුක් හෝ මධ්‍යස්ථ හෝ වින්දනයක් ලැබීමයි. බොහෝ විට අපට අසන්නට ලැබෙන්නේ තණ්හාව ගෙවා දැමීමට තණ්හාවට පිළියම් යෙදීමයි. එහිදී තණ්හාව ගෙවා දැමීමට පුළුවන් තරම් දෙන්න! දෙන්න! දෙන්න! යන වචනය තොර චෝංචියක් නැතිව අසන්නට ලැබීමයි. දීමට අයිති ප්‍රතික්‍රියාව ලැබීමයි. මේ නිසා එය දිගු ගමනකි. මෙහිදී තණ්හාවට හේතු වන වේදනාවට (වේදනා පච්චයා තණ්හා) පිළියම් යෙදීම වඩාත් අර්ථවත් වන ආකාරය දේශනා කරයි. තථාගතයන් වහන්සේගේ අසිරිමත් පටිච්චසමුප්පාද, දේශනාවටත්, සතිපටඨාන දේශනාවටත් මේ වේදනාව ප්‍රධාන සාධකයක් බවට පත් වී ඇත. අභිධර්ම දේශනාවේ එය සබ්බ චිත්ත සාධාරණ චෛතසිකයකි.

“වේදනා” යනු විඳීමයි. විඳීම් ඇතිවන්නේ ‘ඵස්ස හෙවත් ගැටීම්, ඝර්ෂණය නිසා ය. අපේ ඉන්ද්‍රිය නිතර බාහිර ලෝකයේ අරමුණු හා ගැටීම, හැපීම සිදුවෙයි. එය නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියකි. ඇස, කණ ආදී ඉන්ද්‍රිය රූප, ශබ්ද, ආදී අරමුණු ඉල්ලයි. ඒ ඉල්ලීම් ඉටු කරන මොහොතක් පාසා අපට වින්දන ලබා දෙයි. මෙහිදී ඒ වින්දන සියල්ලක් විඳින්නා වූ ආකාරය අනුව කොටස් 3 කට වර්ග කරති.

1. සුඛ වේදනා (සැප වින්දනයක්)

2. දුක්ඛ වේදනා ( දුක් වින්දනයක්)

3. උපේක්‍ෂා වේදනා (මධ්‍යස්ථ වින්දනයක්) වශයෙනි.

අප ලබන ඕනෑම වින්දනයක් ඇතුළත් වන්නේ ඔය තුනෙන් එකකටයි. පාරේ යන විට ලංකාවේ ත්‍රීරෝද රථවල ඇතැම් විට අපට කියැවීමට වැකියක් යොදා ඇතිබව පෙනේ. “ජීවිතය විඳීමට මිස විඳවීමට නොවේ” යන පාඨයයි ඒ. මෙය බැලූ බැල්මට සුන්දර වූවත් කෙනෙක් අමාරුවේ දැමීමට යොදන ලද්දකි. මක්නිසාද, විඳීම නිසා විඳවන්නට සිදුවන බව ඔහුට නොවැටහී යාමයි. ඕනෑම දෙයක් වින්දොත් පමණි විඳවී ඇති වන්නේ. විඳීමක් නැති තැන විඳවීමක් ද ඇති නොවේ. සැප, දුක්, මැදහත් යන විඳීම් පසුව අපට විඳවීම් බවට පත් වෙයි. හැමදාම සැප විඳීම් ඇත්තේ නැතිවාක් මෙන්ම හැමදාම දුක්විඳීම් ද නැත. මේ සියලු විඳීම් කර්මානුරූපව වෙනස්වීම් වලට භාජනය වෙයි.

එදාට වඩා අද රූප වින්දන වැඩිවී ඇත. එදාට වඩා අද ශබ්ද වින්දන වැඩි වී ඇත. ගන්ධ, රස, ස්පර්ශ ආදියද එසේමයි. වින්දන වල ප්‍රමාණය වැඩි වන්න වැඩි වන්න සිදු වන්නේ හිතේ බර ගතිය වැඩිවීමයි. සිතේ බර වැඩිවන්න වැඩි වන්න සිදු වන්නේ විඳවීම් වැඩිවීමයි. මෙහිදී කළ යුතු හොඳම දෙය වන්නේ වින්දන අඩු කිරීමයි. බුදුරදුන් වැඩ සිටි සමයේ, මිහිඳු මහරහතන් වැඩ සිටි සමයේ මිනිසුන්ගේ සිත් සැහැල්ලුයි. ඒ වින්දන අඩුකම නිසයි. ඔවුන්ට අත්හැරිය යුතු වින්දන ප්‍රමාණය ඉතාම සීමිත වූ නිසා ඉක්මනින් මඟඵල ලබා ගත්තා. නමුත් ලෝකය දියුණු වෙන්න දියුණු වෙන්න මිනිසාගේ වින්දන ප්‍රමාණය රතු ඉරත් පැන ගොස් තිබෙන නිසා ඔවුන්ට ඒවා අතහැර යාමට නොහැකි වී විඳීම්වලට වහල් වී කටයුතු කරනවා. මේ නිසා දහම් කොතෙක් ඇසුවත් ඒ සැහැල්ලු බව ඇතිකර ගන්නට අපොහොසත් වෙලා. මේ සැහැල්ලු වින්දනයට කෙසේද මුහුණ දෙන්නේ? ඒ අනුව බුදුරදුන් මේ දේශනාවෙදි වින්දනය දිහා බලන්නට සුදුසු ආකාරය අපට මෙසේ පෙන්වා දෙනවා.

සත්වන පියවර - සො තාසු වෙදනාසු අනිච්චානුපස්සී විහරති. (ඔහු ඒ වේදනාවන්හි අනිත්‍ය දකිමින් ඉන්නවා) අට වන පියවර – විරාගානුපස්සී විහරති. (නො ඇල්ම දකිමින් ඉන්නව) නව වන පියවර – නිරෝධානුපස්සී විහරති (නිරුද්ධවීම දකිමින් ඉන්නව) දහ වන පියවර – පටිනිස්සග්ගානුපස්සී විහරති. (සංසිඳීම දකිමින් ඉන්නව)

ලැබෙන හෝ ලැබූ වේදනා සාදර ගෞරවයෙන් නොබලා වින්දනය දෙස අනුපස්සනා හතරකින් බලන්නට උගන්වනව. එනම් අනිත්‍ය වශයෙන්, නො ඇලීම් වශයෙන්, නැතිවීම් වශයෙන්, දුරු වීම් වශයෙන් බැලීමයි. අවබෝධයෙන් යුතු හා විනිවිද දකින නුවණක් ඇති අයෙකු විය යුතුයි. එහෙම නැතිව මේ ආකාරයට වින්දනය දිහා බලන්නට කෙනෙකු ලේසි නැහැ. එබඳු සුදුසුකම් නැතිව බලන්ට ගියොත් ඔහුට එය වැටහෙන්නේ නැහැ. හැබැයි කෙසේ හෝ වින්දනය දිහා මේ විධියට බලන්න පුරුදු වුණොත් සිතත් සැහැල්ලු වෙනවා. මානසික සුවයත්, කායික සුවයත් ලැබෙනවා. ආර්ථිකයත් පහසු ජීවන පැවැත්මටත් ලෙහෙසි වෙනවා. ඔය අනුපස්සනා හතරට අදාළව වින්දනය ලබන විට ඇතිවන ප්‍රතිඵලය කුමක්දැයි එම දේශනාවේදී මෙහෙම දක්වනවා.

නච කිඤචි ලොකෙ උපාදියති (එවිට ලෝකේ කිසිවකට බැෙඳන්නෙ නැහැ.) අනුපාදියං න පරිතසස්සති. (නොබැඳී ඉන්න කොට ඇලීමක් නැහැ)

අපරිතස්සං පච්චතතඤෙඤව පරිනිබ්බායති. (නො ඇලී ඉන්න කොට තමන් තුළම පිරිනිවීම ඇති වෙනව)

තණ්හාව සොයා නොගොස් තණ්හාවේ හේතුව වන වේදනාවට පිළියම් කොට නිවන් දකින කෙටිපාර සකස් කර ගැනීමෙන් ප්‍රයෝජන ගොඩක් අත්කර ගත හැකි බව එයින් පෙන්වා දුන්න. පළමු ප්‍රතිඵලය ලෝකයේ කිසිවක් උපාදාන කරගන්නෙ නැහැ. බාහිර වින්දනත් අභන්තර වින්දනත් සියල්ලම උපාදාන නැතිව ඉන්නා විට ඇලීම නැතිව යනවා. නො ඇලී ඉන්න කොට ඇතුළත වේදනාත් නිවී යනවා. පිටතින් එන වේදනාත් නැතිව යනවා. හිත නිදහස් වෙනවා. එතකොට ජාතිය (ඉපදීම) අවසන් වෙනව. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ වෙනව. (වුසිතං බ්‍රහ්මචරියං) කළ යුතු දෙය කළා වෙනව. (කතං කරණීයං) ආයෙන් විඳවන්න දෙයක් ඇත්තෙ නැහැ කියල (නාපර ඉත්තත්‍ථාය) පී‍්‍රතිය, සතුට, උදානය පළ කරනවා. එබැවින් ඔබත්, මමත් මේ මාවත තෝරාගෙන වින්දන අඩු කරල, වින්දනය දෙස බලන අනුපස්සනාව පුරුදු කරල නිවන් දකින කෙටිපාර හඳුනාගෙන ලෝකයේ සතුටින්ම ජීවත් වන කෙනෙක් වන්නට උත්සාහ කරමු.

තෙරුවන් සරණයි

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]