නිවැරැදි චින්තන පිළිවෙත
සුජිත් නිශාන්ත හේවගේ
M. phil (kelaniya University) B.A Sp.l’st Class (Hons)
(Buddhist and Pali University) B.A .Sp. (Kelaniya University)
B.A 2’ Class (Buddhist and Pali University) Dip.in.Buddhism
(Buddhist and Pali University) Dip.in Pali (Buddhist and Pali
University)
අපට නොයෙක් වර නොයෙක් දේ සිතට නැඟෙයි. සිතන්නට පෙර අපට සිතෙයි. ඒ
සිතෙහි සාමාන්‍ය ස්වභාවය යි. සිතට වැට කඩුළු බැඳීමට නොහැකි තරමටම
සිතෙහි වේගවත් බව විද්‍යාමාන ය. ඇත්තන්ම අප සිතනවා ද නැතහොත් අපට
සිතෙනවා ද? වරෙක මේ දෙකම අප විසින් සිදු කරන බව හැඟෙන්නට ද පුළුවන.
වරෙක සිතන එකට වඩා හිතෙන එක නිවැරැදි යැයි ද තවත් වරෙක සිතෙනවාට වඩා
සිතන එක උසස් යැයි ද එය මහත් වැර වෑයමෙන් පුරුදු පුහුණු කළ යුත්තක්
යැයි ද ඔබ කල්පනා කරනවා වන්නට පුළුවන. ආගම දහම අනුව, සාරධර්ම අනුව,
විවිධ දෘෂ්ටිකෝණ අනුව හා නොයෙක් දර්ශන මතිමතාන්තරවලට අනුව කල්පනා කොට
මෙයට විසඳුම් නිශ්චය කරගන්නවා වන්නට පුළුවන. එක් එක් පුද්ගලයාගේ බුද්ධි
මට්ටම අනුව, හුරු පුරුදු අනුව, පවුල් පසුබිම අනුව, ඒ ඒ රටවල පවතින
සංස්කෘතික රටාවට අනුගත වූ ස්වරූපය අනුව, ආගමික නැඹුරුව අනුව, උගත්කම හා
විවිධ විෂයයන්හි විශේෂඥතාව අනුව එකම ප්‍රස්තුතය පිළිබඳ මිනිසුන් දරන
අදහස් හා ආකල්පවල වෙනස්කමක් පවතින බව ඔබම නිරීක්ෂණය කර තිබෙනවා වන්නට
පුළුවන. මේ අනුව නිවැරැදි දේ යනුවෙන් අදහස් කරන ස්වරූපය වනාහි කිසි
ලෙසකින් තමා හා පරිසරයෙන් වියුක්ත නොවන හුදෙක් තමාටත්, තමන් ජීවත්වන
පරිසරයටත්, අන්‍යයන් හටත් සාපේෂ ස්වභාවයක් බව පැහැදිලි වනු ඇත. මෙයින්
අදහස් වන්නේ නිවැරදි දේ යනුවෙන් එක් එක් පුද්ගලයා අදහස් කරන දේ
සැබවින්ම හුදෙක් තමාගෙන් ම ස්වායක්ත යමක් නොවෙන බවයි. තමා පරමාදර්ශය
වශයෙන් පෙන්වන දේ තුළම තමා ගැබ්වන බවයි. මේ නිසා චර්යාවටත් කතාබහටත්
වඩා චින්තනය ඉතාමත් වැදගත් බවත්, මේ හේතුව නිසා එය මහත් ප්‍රවේශමෙන්
සිදුකළ යුත්තක් හෝ සිදුවිය යුත්තක් බවත් වැටහිය යුතුය.
සිත-ක්‍රියා වේගයකි මෙහිදී නැවත වරක් මුල් ගැටලුව වෙතට එනම් සිතනවාද නැතහොත් සැබවින් ම
සිතෙනවාදැයි ඔබගේ අවධානය යොමු කරන්නෙමි. එහි දී පෙන්වා දිය හැකි වන්නේ,
කුමන ආකාරයකින් විග්‍රහ කරනු ලැබූවත් චින්තන ක්‍රියාවලිය වනාහී එකක්ම
වන බවත්, ඒ තුළ තමන් වැර වෑයමෙන් සිතීම මෙන්ම නිරායාසයෙන්ම සිතට නැඟීම
ද අන්තර්ගත බවයි. එක් එක් අවස්ථාවේ චින්තනය සඳහා බාහිර හේතුවක් හෝ
අභ්‍යන්තර පෙළඹවීමක් ඇතිව හෝ නැතිව චින්තන ක්‍රියාවලිය නොනැවතී
ඉදිරියවටම ගමන් කිරීම, සාමාන්‍යයෙන් සිතෙහි ස්වභාවයයි. අප සාමාන්‍යයෙන්
හැඳින්වීමේ පහසුව තකා සිත යනුවෙන් පැවසුව ද සැබවින්ම ඇත්තේ චින්තන
ක්‍රියාවලියක් මිස සිත යනුවෙන් හඳුන්වනු ලබන ‘භෞතික ඉන්ද්‍රියයක් නොවේ.
සැබවින්ම සිතන හා සිතෙන බැවින්, සිතක් ඇති සේ අපට හැඟෙයි. එම වැසි බිඳු
එක් වී වැසි වැසීමේ ක්‍රියාවලියක් තිබුණත් වැස්ස යනුවෙන් හඳුන්වනු ලබන
කිසියම් නිශ්චිත අදල ඝන පදාර්ථයක් නොමැත්තාක් මෙනි. එය හුදෙක් නාම
පදයක් පමණි. එසේම ගංගා, ඇළ, දොළ, මහ මුහුද යනුවෙන් හඳුන්වනු ලබන ඒ ඒ
ස්ථානවල ඇත්තේ දිය බිඳු එක් වීමක් පමණක් විනා අප ඝන සංඥාවෙන් දකින
නිශ්චිත අචල පදාර්ථයක් නොවේ. සිතෙහි ක්‍රියාකාරීත්වය එයට ද වඩා සියුම් වන්නේ දිය බිඳු අපට ඇසට
දකින්නට ලැබෙන නමුත් සිතීමේ ක්‍රියාවලිය එලෙස භෞතික ඉඳුරන්ගෙන් දැනගත
නොහැකි බැවිනි. සිතීමේ ක්‍රියාවලිය සිදුවන බව දැනෙන්නේත්, හැඟෙන්නේත්
සිතටම පමණකි. එම නිසා සත්‍ය වශයෙන් පවතින මුත් චින්තන ක්‍රියාවලියක්
පවතිතැයි අපට කිසි දිනෙක භෞතික උපකරණ වලින් සමන්විත විද්‍යාගාරයක දී
ඔප්පු කොට එහි සත්‍යාසත්‍යතාව පිළිබඳ විචාර පූර්වක සාධාරණ විනිශ්චයකට
පැමිණීමට නොහැකිය. එබැවින් සාමාන්‍යයෙන් මිනිසාගේ තර්කන සංජානනයට
චින්තනය යනු කුමක්දැයි නිශ්චිතය ඉදිරිපත් කිරීම තරමක් අපහසු ය. කෙසේ
වෙතත් භෞතිකව තහවුරු කළ නොහැකි නමුදු, චින්තනයෙන් ලබා ගන්නා ප්‍රයෝජන
අප අත්පත් කරගනු ලබන හෙයින් සිතීම දෛනික දිවි පැවැත්මට මහත් වැදගත් වේ.
අපගේ චින්තනය හෙවත් සිතීම නිවැරැදි ද? නැතහොත් වැරැදි ද? එය මැනීම සඳහා
අප විසින් භාවිතා කරනු ලබන නිර්ණායකය කුමක්ද? සමස්තයක් වශයෙන් ගත් කළ
තමන්ටත් අන්‍යයන්ටත් කරදර හෝ හිරිහැර නොවන එමෙන්ම දෙපක්ෂයටම අර්ථ
සම්පන්න හා ඵලදායී වන ලෙස සිතීම හැඩගස්වා ගැනීම නිවැරැදි චින්තනය ලෙස
සාමාන්‍යයෙන් පොදුවේ එකඟත්වයකට පැමිණීමට සියලු දෙනාහටම පුළුවන්කම ලැබේ.
එවිට අප සිතන හෝ සිතෙන හැම දෙයකින්ම අප හා අන්‍යයන් අයහපතින් වැළකීමත්,
යහපතෙහි යෙදවීමත්, සිදුවිය යුතුබව පැහැදිලි නිශ්චිත අවසාන එකඟතාවයකට
පැමිණීමට පිළිවන. ඒ ආකාරයට නිරන්තරයෙන්ම අපගේ සිතුවිලි පරම්පරාව සකස්කර
ගැනීමට පුරුදු පුහුණුවීම මඟින් අප අවට ජීවත්වන විශාල පිරිසකට සුභ
සිද්ධිය සලස්වාදීමට අපට හැකියාව ඇත. අප අපගේ චින්තන රටාව සකස් කර ගැනීම
මඟින් තමන්හට පමණක් නොව තවත් බොහෝ දෙනෙකුහට මානසික සහනයක් උදා කිරීමට
අවස්ථාවක් සැලසෙනු ඇත. එය භෞතික හෝ ද්‍රව්‍යමය වශයෙන් වෙනත් කෙනෙකුහට
කරන ආධාර උපකාරයකට ද වඩා සුවිශාල සදාචාරමය වටිනාකමක් ගැබ් වූවක් ලෙස
පෙන්වාදීමට හැකිය. මක් නිසාද යත් චර්යා පැතිකඩට හා අවේදන පැතිකඩට මුල්
වන්නේ සංජානන පැතිකඩ බැවින්, වඩාත් ප්‍රබල වන්නේ සංජානන පැතිකඩට අයත්
සිතීම හෙවත් චින්තන ක්‍රියාවලිය නිසා ය.
‘හොඳ’ - ‘නරක’ සංකල්ප අපට අවශ්‍ය ඕනෑම පිළිවෙළකට සිතන්නට අපට පුළුවන්කම තිබේ. මෙරට සංස්කෘතිය
හා සමාජය සම්මුති වශයෙන් අතිශයින්ම ප්‍රජාතන්ත්‍රවාදීය. එයට හේතුව
බහුතර ප්‍රජාවක් ආගමික ඉගැන්වීමක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන බුදුදහමෙහි
බලපෑම නිසා විය යුතුය. අනෙක් සමයයන්හි ප්‍රජාතන්ත්‍රවාදී බවට අහිතකර දේ
වෙතැයි මෙයින් අදහස් නොවේ. මෙරටෙහි ව්‍යාප්තව පවතින වෙනත් සමයයන්හි පවා
මෙකී ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ විද්‍යාමාන වේ. රටක මිනිස් ප්‍රජාව අතර
දැන උගත්කම හා වෙනත් කරුණු හේතුවෙන් සාමාජික පසුබිම උසස් වන විට අදහස්
උදහස් ද වෙනස්වීම ස්වභාවිකය. ඒ අනුව වර්තමානයෙහි සමාජ පිළිගැනීම් ලෙස
පවතින්නේ මුල් කාලීන ලක්දිව සංස්කෘතිකගතව පැවැති සාරධර්ම හෝ පිළිගැනීම්
පද්ධති නොවේ. මුල් කාලීනව පැවති ඒවාට වෙනත් දේ ආදේශ වී තිබේ. වෙනස්වීම, ස්වභාවික ය.
බුදු දහමෙහි අනිත්‍ය ලක්ෂණයෙන් පෙන්වා දෙන්නේ ද මේ වෙනස්වීමේ ස්වභාවය
යි. ඒ වෙනස්වීම් යහපතක් හෝ අයහපතක් හෝ ලෙස දකින්නේ හෝ හඟිනු ලබන්නේ එය
අප විසින් සංජානනය තුළින් අර්ථකථනය කරන ලබන ස්වරූපය අනුවයි. ඒ අනුව
සමාජයෙහි ජීවත්වන සමාජය පිළිගත් විවිධ විද්වතුන්, බුද්ධිමතුන්, ආගමික
පූජ්‍ය හා පූජක පක්ෂය හා සාමාන්‍ය ජනතාව වෙනස්වීම අර්ථකථනය කරනු ලබන්නේ
ඔවුන්ටම සුවිශේෂිතාර්ථයන් තුළට යොමු වී සිටිමිනි. චින්තනයෙහි ස්වභාවය
වෙනස්වීම හොඳ හෝ නරක ලෙස විවිධාකාරයෙන් කරනු ලබන අර්ථකථනයන් තුළ ඒ සඳහා
නොයෙක් හේතු සාධාක ද ඉදිරිපත් කරනු ද අසන්නට දකින්නට ලැබෙයි. සංජානනය ආවේදනය, චර්යාව හා සමාජ යන කුමන පැතිකඩ ගත්තත් එහි තුළ
සාමාන්‍ය මිනිස් ක්‍රියාකාරීත්වයෙහි පිළිබිඹුවක් විද්‍යාමානය. හොඳ හෝ
නරක යන්නෙන් හඟින්නේ ද සංකල්ප සඳහා ලබාදෙන ලද ස්වකීය අර්ථකථනයම ය.
මිනිස් ක්‍රියාකාරීත්වය, මිනිස් පරමාදර්ශ, සමාජ සාරධර්ම හා ප්‍රතිමාන
යන මේ සියල්ලෙහි ගැබ් වන්නේ ද සංකල්ප අර්ථකථනය කිරීම් මිස ඒවායින්
ස්වායක්ත යමක් නොවේ. කෙසේ වූවත් මේ සියලු දෙය සාපේක්‍ෂ වූවත්, මේවා තුළ
නිරපේක්‍ෂ වටිනාකමක් නැතැයි එකහෙළා පැවසිය නොහැකි ය. මිනිසා ඇතුළු
සමස්ත ජෛව ප්‍රජාව මේ ලොව තුළ අඛණ්ඩව මේ දක්වා පැවැතීමට හේතුව මිනිස්
සංජානය, ආවේදන හා චර්යා ජෛව හිතවාදී බවින් යුතුව පවත්වා ගැනීමට සමත්
වන්නා වූ ජෛව හිතවාදී ජීව විද්‍යාත්මක ලක්‍ෂණ ද වෙනස් කිරීමට නොහැකි
ලෙස අඛණ්ඩව විකාශය වන ජෛව ප්‍රජාව සමඟම පැවතීම එයට හේතුවයි. එමඟින්
සංජානනය, ආවේදනය හා චර්යාව යන පැතිකඩ පාලනය කර ජෛව ප්‍රජාව සුරක්ෂිත
කරනු ලබයි. වෙනත් ලෙසකින් පවසතහොත්, සමස්ත ජෛව ප්‍රජාව තුළම අන්තර්ගත
සාරධර්ම ජෛව විද්‍යාත්මකව එම ජීවියා උපතින්ම රැගෙන එනු ලබන බව පැවසෙයි.
සාමාන්‍යයෙන් මනුෂ්‍ය ලෝකය තුළ හොඳ නරක වශයෙන් පුද්ගලයන් වර්ගීකරණය
කිරීමකට ලක් කරනු ලැබුවත්, කිසි දිනෙක නරක සංඛාර පුඤ්ජයකට මිනිසත් බව
වැනි වටිනා ආත්මභාවයක් ලබාගත නොහැකි ය. මිනිසත් බව ලබන්නේ
අනිවාර්යයෙන්ම හොඳ පුද්ගලයෙකු නිසා ය. මිනිසත් බව ලබා ඉපදීමෙන් අනතුරුව
යම් යම් හේතු සාධක මුල් වීම නිසා හොඳ හා නරක යනුවෙන් සමාජය විසින්
පුද්ගලයන් වර්ගීකරණයකට ලක්කරන්නේ ඔවුන් තුළ බහුලව විද්‍යාමාන වන
සංජානන, ආවේදන හා චර්යා පැතිකඩවල ක්‍රියාකාරීත්වයෙහි යම් යම් දුර්වලතා
නිසා මිස පොදුවේ මනුෂ්‍යත්වයෙහි පවතින අඩුපාඩුවක් නිසා නොවේ. ඒ නිසා
මිනිසුන් ස්වභාවයෙන්ම හොඳ පුද්ගලයන් ලෙස පෙන්වාදීමට හැකි ය.
මනුෂ්‍යයන් තුළ පවතින මෙම ජෛව විද්‍යාත්මක හොඳ බව නැති කිරීමට කිසියම්
බලයක් යොදා ක්‍රියා කිරීම පවා නිෂ්ඵල බව මනෝ විද්‍යාවේ සඳහන් වේ. මේ
සඳහා පර්යේෂණ කිරීම සඳහා ස්වප්න විද්‍යා උපක්‍රම භාවිතයෙන් මෝහන
නිද්‍රාවට පත් කරන ලද පුද්ගලයන් කණ්ඩායමක් යොදා ඇත. එහිදී මෝහන
නිද්‍රාවෙහි දෙනු ලබන විවිධ අණ ඉටු කිරීමට තරම් ප්‍රබල ලෙස මෝහනය කරන
ලද පුද්ගලයෙකු හට, වූවත්, සාමාන්‍ය සාරධර්ම හෝ සදාචාරය ඉක්මවා කටයුතු
කරන ලෙස පැවසූ විට එම පුද්ගලයා එම අණ ඉටු නොකරනු ලබන බව හා එලෙස පැවසූ
සැණින් වහා මෝහන නිද්‍රාවෙන් අවදිවීමට පත් වූ බව පැහැදිලිවම පෙනී ගොස්
ඇත. මිනීමැරීම වැනි සාහසික අපරාධයක් සිදු කිරීමට මේ අනුව නිර්දෝෂි
පුද්ගලයෙකු මෝහනය කර හෝ භාවිතා කිරීමට ;නාහැකි වන්නේ පුද්ගලයා අභන්තර
ගතව පවත්නා ජීව විද්‍යාත්මක සදාචාරමය අඟුල නිසා බැව් බටහිර මනෝ
විද්‍යාත්මක ග්‍රන්ථයන්හි පවා සඳහන් වේ.
පුද්ගල සංජානනය මේ සදාචාරමය අඟුල කරා ළඟා වූ විට ස්වයංක්‍රීයව මිනිස්
ක්‍රියාකාරිත්වය අඩපණ වන තත්ත්වය සිරුර අභ්‍යන්තර දේහ ව්‍යුහය සකස්ව
පවතින බැවින් මිනිසාගේ නිසර්ග ස්වභාවය හොඳ බව යැයි පෙන්වා දිය හැකි ය.
මිනිසාගේ නිසර්ග ස්වභාවය හොඳ බව නිසා එකී නිසර්ග ස්වභාවය ඉක්මවා
ක්‍රියාකිරීමට මිනිසාහට කෙසේවත් නොහැකි ය.
එසේ කරන්නට උත්සාහ කරන පළමු ප්‍රයත්නයේදීම ශාරීරික හා මානසික වශයෙන්
දුර්වලවීමකට හා අඩපණ වීමකට අනිවාර්යයෙන්ම මිනිසා ලක් වේ. මිනිසා අතරින්
කළාතුරකින් පුද්ගලයෙකු ස්වභාවයෙන්ම තමාගේම සිතිවිලි හේතුවෙන් හෝ වෙනත්
හේතූන් මත හෝ ආවේගශීලීව යම් යම් දරුණු ක්‍රියාවලට පෙළඹෙන මුත්, එසේ
සිදුවන සෑම අවස්ථාවකදීම පාහේ අනුන් දවන්නට ප්‍රථමයෙන් පුද්ගලයා ස්වකීය
චිත්තාභ්‍යන්තරයෙන් තමාම, දැවෙමින්, තමා ජෛව විද්‍යාත්මකව විනාශය කරා
පා නඟමින් මිස, කෙසේවත් පියවි මිනිසෙකු සංජානන, ආවේදන හා චර්යා පැතිකඩ
මඟින් සිදු කරනු ලබන සදාචාරවත් නොවන ක්‍රියාවකට නො පෙළඹේ.
සදාචාර කොන්ත්‍රාත්තුව
නිසාගේ චින්තනය සකස් විය යුත්තේ මේ නිසා ඔහුගේ නිසර්ග ජෛව
විද්‍යාත්මක ව්‍යුහයට හානිකර නොවන ආකාරයකින් බව පැහැදිලි විය යුතු ය.
මිනිස් සිතිවිල දාමයට ගලා යෑම පිණිස ඉඩහළ යුතු වන්නේ ඒ සිතිවිලි මඟින්
සමස්ත ජෛව ප්‍රජාව කෙරෙහි අහිතකර ප්‍රතිඵලයක් එමඟින් උදා නොවන්නේ නම්
පමණකි. ආගමික චින්තනය අනුව හා දාර්ශනික ඉගැන්වීම් අනුව පහදා දෙනු
ලබන්නේ මෙකී ජීව විද්‍යාත්මක අවශ්‍යතාවමය. මිනිසාගේ සාරධර්ම හා සදාචාරය
මේ නිසා හුදෙක් ආගමික හෝ දාර්ශනික ප්‍රස්තුතයක් පමණක් සේ වියුක්තව
නොසැලකිය යුතු ය. එය හුදෙක් බුදු දහමට හෝ වෙනත් සුවිශේෂ ආගමික
සංකල්පයකට පමණක් සීමා කොට සුවිශේෂිත දිනයකට පමණක් සුරැකිය යුතු දෙයක් ද
නොවේ. සාරධර්ම හා සදාචාරය පුද්ගල යාවජීව දිවි පැවැත්මෙහිම කොටසක්
බැවින් එය ආරක්‍ෂා කිරීම පිණිස කිසියම් ආගමක පූජ්‍ය හෝ පූජක පක්‍ෂයකට
බාර දී අත පිසදාගෙන තමන්හට පෞද්ගලිකව උරුම වී ඇති සමාජයම වගකීමෙන්
ගැලවිය හැකිද නොවේ.
පුද්ගලයා අනෙක් පුද්ගලයන් සමඟ පවත්වන්නා වූ බැඳීම් පද්ධතිය සමාජයක්
යනුවෙන් අර්ථකථනය වේ නම් සමාජය කෙරෙහි ඇති පුද්ගල වගකීමෙන් පලා යෑම
සඳහා සාරධර්ම හා සදාචාරය බාර ගෙන සුරැකීමේ කොන්ත්‍රාත්තුව ඉටු කිරීම
පිණිස කිසියම් ආගමික පූජ්‍ය හෝ පූජක පක්‍ෂයක් වෙත බාර දී ඒ සඳහා
හිලව්වට ද්‍රව්‍යමය හෝ මූල්‍යමය හෝ අධාර ලබා දී තමන් එකී වගකීමෙන්
ගැළවීමේ පහසුක්‍රමය හැර දමා ඒ වගකීමෙන් කොටසක් හෝ ඉටු කිරීම ඇතැම්
මානසික රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය, පිළිකා, විවිධ අංශභාග
රෝගීතත්ත්ව ආදී නොයෙක් සිරුරෙහි අභ්‍යන්තර ව්‍යුහය අක්‍රමවත් වීම නිසා
වැළඳෙන බොහෝ රෝග වලින් වැළකී දිගුකල් ආයු වැළඳීම පිණිස ප්‍රත්‍යක්‍ෂ
ඖෂධයක් ද වනවා නො අනුමාන ය. මක්නිසාද යත් මෙහි සඳහන් කළ හා එසේ සඳහ්
නොකළ මෙයට අදාළ තවත් බොහෝ රෝග තත්ත්ව වැළඳීම සඳහා ශරීරයෙහි හෝමෝන
ක්‍රියාකාරීත්වය, මොළයෙහි රසායනික ද්‍රව්‍යයන්හි සංයුතිය, රුධිර
සංයුතිය වැනි තත්ත්වයන්හි වෙනස්වීම් බලපානු ලබන බැවිනි. මේ සඳහා බහුල
චිත්තාවේගික තත්ත්වය, අක්‍රමවත්, අසහනකාරී, ආතතිමය, අවිවේකී මානසික
ස්වභාව බෙහෙවින් බලපාන බව වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි ලෙස සඳහන් කර
තිබේ.
එසේ හෙයින් අප සිතිය යුතු වන්නේ ද, සිතන්නට පෙළඹිය යුතු වන්නේ ද
සාරධර්ම හා සදාචාරය තමා තුළ හා අන්‍යයන් තුළ සුරැකෙන පරිදි බව ජෛව
විද්‍යාත්මකව පැහැදිලි විය යුතු ය. එලෙස සාරධර්ම හා සදාචාරය සුරකීමට
පෙළඹෙන ප්‍රමාණයට සාපේක්‍ෂකව තමා තව තවත් නිරෝගී බවින් යුක්ත වනවා
පමණක් නොව එයට පාරිතෝෂික වශයෙන් ස්වකීය සංජානන, ආවේදන හා චර්යා
පැතිකඩවල ක්‍රියාකාරීත්වය ද පිරිසුදු වීම නිසා වඩාත් හොඳ ඉහළ තත්ත්වයක
සියුම් අරමුණු පවා ග්‍රහණය කළ හැකි ආකාරයේ සංජානන, අවේධන හා චර්යා
පැතිකඩ මතු භවයන්හි උරුම කර ගැනීමට භාග්‍ය ලැබීමට හැකි බවද පෙන්වා දිය
හැකි ය.
ඒ තුළ නිවැරදිව සිතිය යුත්තේ කෙසේද? නිවැරැදිව සිතිය යුත්තේ ඇයි යන
ප්‍රශ්න සඳහා වඩා පිළිගැනෙන සුළු එළඹුමක් කරා ප්‍රවේශවීමට ද මේ මඟින්
අවශ්‍ය පදනම සකස් කර ගැනීමට හැකි වූ බවද සඳහන් කරන්නේ, එම විසඳුම හැකි
හැම විටකදීම දිවි මඟට එක් කර ගැනීමේ ප්‍රායෝගික වටිනාකමද සිහිපත්
කරමිනි. |