UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇල්පිටිය පිටුවල දිවංකරලෙන අරණ්‍ය සේනාසනය

ලොවට උතුම් පින්කෙත වූ රහතන් වහන්සේ ගණනින් කිව නොහැකි තරම් වැඩ සිටි බවට බෞද්ධ ඉතිහාසය දෙස් දෙයි. එම රහතන් වහන්සේලාගේ පරපුරේ වැඩ සිටි ‘දිවංකර ‘ රහතන් වහන්සේ අප රටේ වැඩ සිටිය මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් බව ප්‍රකටය. උන්වහන්සේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටුවල ග්‍රාමයේ බෙරළිය මූකලාන රක්ෂිතය තුළ පිහිටි රමණීය ගල් ලෙනක වැඩ සිටි බවට ඓතිහාසික සාධක හමු වෙයි. ඒ අනුව පසු කාලීනව උන්වහන්සේට කළ උතුම් ගෞරවයක් ලෙසට භාවනානුයෝගී භික්‍ෂූන් වහන්සේලා වැඩ සිටින එම ගල්ලෙන පිහිටි අරණ්‍ය සේනාසනයට ‘ දිවංකර ලෙන’ අරණ්‍ය සේනාසනය ලෙස නම් කර තිබේ.


ඉදිකිරීමට යෝජිත චෛත්‍යයේ සැලැස්ම

අප රටේ පවතින අරණ්‍ය සේනාසන අතර දිවංකර ලෙන අරණ්‍ය සේනාසනය සොබා සෞන්දර්යයෙන් පිරී අඬා හැලෙන ඇල්ලේ සුන්දරත්වය සමීපයේ රමණීය වූ වන පියසක් තුළ යෝගාවචර භික්‍ෂූන් වහන්සේට සුදුසු නිසංසල කාගේත් සිත් නිවාලන පුණ්‍යය භූමියකි.

කාලයාගේ ඇවෑමෙන් අභාවයට ගිය මේ උතුම් පුදබිම 1965 වර්ෂයේදී නැවත සැදැහැති බොදු ජනතාවට විවෘත විය. 1965 වර්ෂයේදී පිණ්ඩපාතිකව දිවි ගෙවූ නලගම ජිනසාර නායක ස්වාමීන් වහන්සේ මේ උතුම් පුදබිමට වැඩි සේක. උන්වහන්සේ මේ සෙනසුනට වඩින විට කටු කොහොලින් ගහනව යාම් ඒම් පවා දුෂ්කර වූ අතර සෙනසුනේ පිහිටි ගල්ලෙනද වැසී ගොස් තිබුණි. කෙසේ වෙතත් ජිනසාර හිමියන් එම ගල්ලෙන තරමක් පාදා ගෙන කලක් මෙහි වැඩ සිටි අතර සෙනසුනේ ස්වර්ණමය යුගය උදාවන්නේ වර්ෂ 1987 න් පසුවය.


බුදු මැඳුර ස්ථාපිතව ඇති ඓතිහාසික ලෙන
 

ප්‍රදේශවාසී සැදැහැවතුනගේ ආරාධනාවෙන් 1987 වසරේ දෙමටගහකන්දේ සමිතානන්ද ස්වාමීන් වහන්සේ මෙම පුද බිමට වැඩිසේක. මහා ඝන වනාන්තරයෙන් වැසී ගොස් තිබූ ගල්ලෙන ප්‍රදේශවාසී සැදැහැවතුනගේ උපකාරයෙන් පාදාගෙන එහි වැඩ සිටින්නට සමිතානන්ද හිමියෝ කටයුතු කළහ. පැමිණි විවිධ බාධාවන් නිසා එසේ බොහෝ කලක් උන්වහන්සේටද එම ගල්ලෙනේ වැඩ වසන්නට නොහැකි වූහ. නමුත් අප්‍රතිහත ධෛර්යයෙන්, නුවණින් කටයුතු කළ උන්වහන්සේ ඉක්මන් නොවී සෙනසුන අතහැර දමා නොගියහ. පසුව වනාන්තරයේ වෙනත් ස්ථානයක මැටි වලින් කුඩාවට කුටියක් සාදා උන්වහන්සේ එහි වැඩ සිටිමින් මේ පුදබිමේ පසුබිම අධ්‍යනය කළහ.

එහිදී රහතන් වහන්සේ වැඩ සිටි ගල් ලෙන ලැගුම් කුටියකට වඩා බුදු මැදුරකට යෝග්‍යය නොවේදැයි උන්වහන්සේ කල්පනා කළහ. එම උතුම් අදහස ඵල දරන්නට ප්‍රදේශවාසි පිංවත්හු යුහුසුළුව ක්‍රියාත්මක වෙමින් ඉතා අලංකාර ලෙස මේ උතුම් ගල්ලෙන තුළ තථාගතයන් වහන්සේ සම්බුදු සසුනේ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිරිවරා කරන ලද අති ශ්‍රේෂ්ඨ දහම් සංවාදයක් නිරූපණය කරමින් “ගෝසිංහ සූත්‍රය” ට අනුව “මහා ගෝසිංග සාල වනය” ලෙන් විහාරයේ නිර්මාණය කරන ලදහ. තව්තිසාවේ දෙවියන් පිරිවරා අභිධර්මය දේශනා කරන ශ්‍රේෂ්ඨ මනහර ලෙස ඉදිකළ දෙව් ලොවේ දර්ශනයක්ද මිහින්තලාව සිහිගන්වමින් මිහිඳු හිමියන් ලක්දිවට වැඩීම, සංඝමිත්තා තෙරණිය මහ බෝ වැඩමවීම ඇතුළු දර්ශනීය වූ කාගෙත් නෙත් සිත් සනහාලන අලංකාර දර්ශන රාශියකින් මෙම විහාරය මූර්තිමත් කරන ලදී.

මෙසේ නැවතත් බොදු ජනතාවට වන්දනා මාන කිරීමට වනාන්තරයෙන් වැසී ගොස් සැඟව ගිය ඓතිහාසික ගල්ලෙන තුළ විහාර මන්දිරය ගොඩනඟා 1994 වර්ෂයේ පිළිම වහන්සේගේ නේත්‍ර ප්‍රතිශ්ඨාපනය කරන ලදී. එයින් පසුව භාවනානුයෝගී යෝගාවචර භික්‍ෂුන් වහන්සේ වැඩ සිටින අරණ්‍ය සේනාසනයක් බවට පත් කරමින් මෙම සෙනසුන සංවර්ධනය කරන්නට විය.

අරණ්‍යාධිපති
දෙමටගහකන්දේ
සමිතානන්ද හිමි
 

ගල්තුඩුවේ
සුගුණ හිමි

මේ වනවිට ලෙන් විහාරය, බෝධිරාජයාණන් වහන්සේ, ධර්ම ශාලාව,දෙමහල් සංඝාවාසය, පිණ්ඩපාත ශාලාව, දාන ශාලාව ඉදිවන අභිනව ධාතු මන්දිරය හා සීමා මාලකය ඇතුළුව ලැගුම් කුටි රාශියකින්ද සෙනසුන පරිපූර්ණ වී තිබේ. මෙම සේනාසනයේ එදා සිටම ධර්මධර විනයධර සුපේශල ශික්ෂාකාමී භික්‍ෂූන් වහන්සේ වැඩ සිටින අතර උන්වහන්සේ ශාසනෝන්නතිය උදෙසා කටයුතු කරමින් සම්බුදු සසුන රැක ගැනීමට මහත් පරිශ්‍රමයක් දරති. මේ වනවිට මෙම සෙනසුනේ භික්ෂූන් වහන්සේ 10 නමක් පමණ වැඩ සිටිති. උන්වහන්සේ ප්‍රදේශවාසී සැදැහැවතුනගේ සියලු ආගමික කටයුතු නොපිරිහෙලා ඉටු කර දෙති. මේ වනවිට දිවංකර ලෙන අරණ්‍ය සේනාසනයට අනුබද්ධව අනුරුද්ධගම සිරි සුගත යෝගාශ්‍රමය, රූකඩහේන සතිපට්ඨාන භාවනාශ්‍රමය, මණ්ඩකන්ද ශ්‍රී රාහුල විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන වන සෙනසුන් ද ස්ථාපිත වී තිබේ. මෙතෙක් දිවංකර ලෙන අරණ්‍ය සේනාසනයට විශාල අඩුවක්ව පැවැති චෛත්‍යය ඇරැඹීමේ පිංකම 2008 අගෝස්තු 30 වන දින පැවැත්වේ.

මෙම චෛත්‍ය ජලාශයක් මත පීඨිකාවක ඉදිවන අතර එම පීඨිකාව මත වර්ග අඩි 360ක පමණ ධර්ම මන්දිරයක් ගොඩ නැගීමට යෝජිතය. එම ධර්ම මන්දිරය මත සර්වඥ ධාතූන් වහන්සේ සහිත චෛත්‍ය ඉදි කෙරේ. එසේ ඉදිවන චෛත්‍ය සම්ප්‍රදායික චෛත්‍ය ඉදිකිරීම් කලාවෙන් ඔබ්බට ගිය ආකර්ශණීය ආකෘතියකින් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත.

මේ සඳහා අනුශාසකත්වය සපයන දෙමටගහකන්දේ සමිතානන්ද හිමි, ගල්තුඩුවේ සුගුණ හිමි ඇතුළු චෛත්‍ය වර්ධන කමිටුවද අරණේ අනෙකුත් භික්ෂූන් වහන්සේ ඇතුළු ප්‍රදේශවාසී සැදැහැති නායක කාරකාදීන්ද දක්වන අපරිමිත කැපවීම මත හෙට දින දිවංකර ලෙන යෝගාශ්‍රමය තව තවත් සම්බුදු සසුන ආලෝකවත් කරනු ඇත.

නිකිණි

අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 2.56 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 01.25 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අගෝස්තු 30 වන දා සෙනසුරදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 6 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 22

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]