UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව:

ප්‍රසාදය වඩවමු

නමෝ තස්ස භගවතෝ

අරහතෝ සම්මා සම්බුද්ධස්ස

බහුම්පි චේ සහිතං භාසමානෝ

න තක්කරෝ හෝති නරෝ පවත්තො

ගෝපෝව ගාවෝ ගණයං පරේසං

න භාගවා සාමඤ්ඤස්ස හෝති.

අප්පම්පි චේ සහිතං භාසමානෝ

ධම්මස්ස හෝති අනුධම්මචාරී

රාගංච දෝසංච පහාය මෝහං

සම්මප්පජානෝ සුවිමුත්තචිත්තෝ

අනුපාදියානෝ ඉධ වා හුරංවා

ස භාගවා සාමඤ්ඤස්ස හෝති.

 

පින්වත්නි,

සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි හිතමිත්‍ර භික්‍ෂූන් දෙනමක් අරබයා මෙම ගාථා ධර්ම දේශනාව ගෙනහැර දක්වා වදළ සේක.

සැවැන් නුවර මිනිසුන් දෙදෙනෙක් දැහැමින් සෙමෙන් සුහදව සමීප සම්බන්ධව ජීවත් වූහ. දිනක් සෙසු මිනිසුන් සමග දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා ඉතා සැදැයෙන් සසුන්ගතව යළි බුදුරජාණන් වහන්සේගෙන් සසුන් දුර විචාරා දැන වයසින් වැඩි භික්‍ෂුව විදසුන් දුර වඩා අප්‍රමාදව වීර්ය වඩා පිළිවෙත් පුරා නොබෝ කලකින් සියලු කෙලෙසුන් මුළුසුන්කොට උතුම් රහත් ඵලයට පැමිණියහ. වයසින් මදතෙර ග්‍රන්ථධුර සපුරා තෙවළා දහම් දැන චතුර කථිකව ඇසුවන් දෙසවන් පිනවමින් සුමධුර ලෙස දහම් දෙසති.

තෙවළා දහම් විශාරදව සිසුනට උගන්වති. එහෙත් ධර්මධර කථිකත්වයෙන් උඩඟුව පිළිවෙත් පිරීම ලඝුකොට සලකති. දිනක් රහත් වූ තෙරුවන් වහන්සේ දෙව්රම් ගොස් බුදුරජාණන් වහන්සේ වැඳපුදා යළි යහළු භික්‍ෂුවගේ ආරාම කුටියට වැඩියහ. තෙරුන් වහන්සේද අතවැස්සන් ලවා ආගන්තුක සත්කාර සම්මාන කරවූහ.

ග්‍රන්ථධුර භික්‍ෂුව තෙවළාදහම් දැනීමේ ගර්වයෙන් මිත්‍ර භික්‍ෂුවගේ රහත්බව නොදැන නොවිමසා තමාගේ වියත්බව හැඟවීමේ අදහසින් ප්‍රශ්න විචාරීමේ අදහසක් ඇති කරගත්තේ ය. මේ කාරණය දිවැසින් දුටු බුදුරජාණන් වහන්සේ වෙහෙර සැරිසරණාසේ එතනට වැඩ සතුටු සාමීචි බස්වදාරා දෙනමගෙන්ම ප්‍රශ්න විචාරන්නට වූසේක. ප්‍රථමයෙන් ග්‍රන්ථධූර භික්‍ෂුවගෙන් ප්‍රශ්න විචාරා විසඳූ විට යළි ප්‍රශ්න කළෙන් එයට පිළිතුරු දීමට අසමත් වූවද රහත් භික්‍ෂුවගෙන් පිළිවිසි කළ රහත් මගින් ලත් තියුණු නැණින් මොනවට විසඳූහ.

මේ කාරණය නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ මෙම ගාථා ධර්ම දෙක දේශනා කළසේක. තෙවළාදම් බොහෝ ඉගෙන ගෙන අනුනට දේශනා කරමින් දැනුම් ප්‍රමාණයෙන් දේශනා කරන නමුත් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි නොයෙදී පිළිවෙත් නොපුරන ප්‍රමාද වූ තැනැත්තා අනුන්ගේ හරක් බලන ගොපල්ලන් මෙන් ශ්‍රමණ ගණයට හිමිකාරයෙක් නොවන්නේ ය.

යම් භික්‍ෂුවක් තෙවළා දහමින් හැකි පමණ ඉගෙන ගෙන දැනුම් ප්‍රමාණයෙන් දෙසන ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන රාග, දෝෂ, මෝහ දුරුකොට සිහි නුවණින් කෙලෙස් නැසූ සිතින් මෙලොව පරලොව ආත්මීය උපාදානයෙන් මිදී වාසය කරයි ද එම භික්‍ෂුව ශ්‍රමණ ගණයට හිමි කාරයෙක් වන්නේ ය.

අනුන්ගේ ගවයන් බලා ගන්නා ගොපල්ලාට පස්ගෝ රස ලැබීමේ වාසනාවක් නොමැත්තේ ය. එමෙන්ම තෙවළා දහම් ඉගෙන ගෙන ප්‍රමාදව ඉසුරු සැපත් විඳිමින් කල් යන භික්‍ෂූවට බණ භාවනා, ධ්‍යාන විදර්ශනා, අභිඤ්ඤා මාර්ගඵල ලැබීමේ වාසනා මහිමය අහිමිවන්නේ ය. ධර්මයත් දැන එය මනාව පිළිපදින පරිඤාණයෙන් මොනවට මිඳුනු කෙලෙසුන් ඇති මමය, මාගේ ය වශයෙන් තිරය, සැපය, ආත්මය වශයෙන් සිත උපාදාන නැති භික්‍ෂුව ශ්‍රමණ ඵලයට හිමිවන්නේම ය. ගවයන් හිමි කාරයන්ට සප්පි නවනීතාදී පස්ගෝ රස විඳීමේ වාසනාව හිමිවන්නා සේම ලොව්තුරු ගුණයෙන් පිරිපුන් ශ්‍රමණයන් වහන්සේලාට උතුම් ශ්‍රමණ භාවයේ ඵල ලැබීමේ වාසනා මහිමය ඇත්තේ ය.

දිවමන් බුදුන් දවස එහි භික්‍ෂු භාවයෙන් පැවිදි වූ ශ්‍රාවකයන් වහන්සේලා පරියාප්ති ශාසනය හෙවත් ධර්මය පැහැදිලිව ප්‍රත්‍යක්‍ෂ කර ගත්තේ බුදුරජාණන් වහන්සේගේ බණ පදයකිනි. එම ආර්යන් වහන්සේලා ධ්‍යාන විදර්ශනා මාර්ගඵලාධිගමයෙන් ශාසනය විරාජමාන කළහ.

ක්‍රමක්‍රමයෙන් සමාජ පරිණාමයේ දී මිනිසාගේ බුද්ධිය හීනවන විට ධාරණය හා අවබෝධය යටපත් වී සටහනට හා ප්‍රතිරූපයට තැන එන්නේ ය.

ප්‍රාග් ඓතිහාසික බෞද්ධ යුගයේ පැවති ජීවාත්මක ස්වරූපය නැති වී භෞතික අපේක්‍ෂාවන්ට ප්‍රධාන තැනක් හිමිවිය. ක්‍ෂණික ප්‍රතිවේධයට තරම් සසර පුරුදු කළ දාන සීලාදී කුසල වාසනා නොමැති බැවින් ස්වයං කැමැත්තෙන් තොරව මහණ කරවන අයගේ සන්තානය නිවණට යොමු කිරීම ඉතාමත් දුෂ්කර වේ.

ලොව බුදු පසේ බුදු මහරහත් උතුමන්ගේ ගුණාත්මක භාවය නැතිව යන්නේ සමස්ත මානව සමාජයේ පවත්නා අමානුෂික හැඟීම් ක්‍රියාවට නැංවීම නිසා ය.

මිනිසා නිතරම පර්යේෂණ කරන්නේ මිනිස් සම්පත වැඩිවීම හා අවශ්‍යතා සම්පාදනය කර ගැනීමේ දුෂ්කරතාවය ගැනය. මිනිසා මිනිසාට බරකි. මේ නිසා ලෝකයේ බොහෝ දෙනා කරන්නේ කෙසේ හෝ සම්පත් රැස්කිරීමත් කුමන හෝ උපායමාර්ගයකින් ආශි‍්‍රත සමාජය අභිබවා ජීවත්වීමටත් ය.

ධර්මය ධර්මානුකූලව අවබෝධ කරගෙන වියත්දේශනයෙන් මෙන්ම ආදර්ශවත් ලෙස ක්‍රියාත්මක කොට පෙන්වීමෙන් සිල්වත් ගුණවත් පැවිදි උතුමන් තම අනුගාමිකයන්ගේ ශ්‍රද්ධාදී ප්‍රසන්න හැ¼ගීම් වර්ධනය කිරීම වත්මන් සමාජයට දියහැකි ශ්‍රේෂ්ඨතම දායාදයයි.

අප්පසන්නා නංවා පසාදාය, පසන්නානංවා භීය්‍යෝභාවාය ආදී වශයෙන් දක්වා ඇති පරිදි බෞද්ධ නොවන අයගේ ප්‍රසාදය පිණිසද බෞද්ධ මෙන්ම ප්‍රසන්න අයගේ ප්‍රසාදය පෝෂණය පිණිසඳ භික්‍ෂූන් වහන්සේලාට ශාසනික වශයෙන් ක්‍රියා කළ හැකිනම් එයින් භික්‍ෂූන් වහන්සේලාට ශාසනික වශයෙන් ක්‍රියා කළ හැකි නම් එයින් භික්‍ෂු සමාජයේ සමඟියක් බුද්ධාගමත් මිහිතලයේ වර්ධනය වන්නේ ය. එයම ලොව එකම පිළිසරණ වන්නේ ය.

ඔබ සැමට දෙලොව ශාන්තිය උදාවේවා

තෙරුවන් සරණයි.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]