UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

කාලය,අවකාශය හා භාවිතය

ධර්ම සන්නිවේදනය පිළිබඳ ව මෙ තරම් විවේචන එල්ල වූ හා අවධානය යොමු වූ යුගයක් නැතැයි කීම අතිශයෝක්තියක් නො වේ. භික්‍ෂූන් වහන්සේ ගේ දේශපාලන භූමිකාව, යුදමය වාතාවරණය හා විද්‍යුත් මාධ්‍ය භාවිතය පුළුල් වීම ආදී හේතු ඊට බලපා තිබේ. මෙ බඳු පසුබිමක් යටතේ ධර්ම සන්නිවේදනයේ නියැලි අප ගේ ප්‍රයත්නය සාර්ථක ද යන්න කාලය විසින් තීරණය කැරෙනු ඇත.

එ සේ වූව ද පසු ගිය වසර හතරක පමණ කාලය පුරා අප දැරූ ප්‍රයත්නය ගැන අපට සතුටු වීමට පුළුවන. අප ගේ එම ප්‍රයත්නය පිළිබඳ ව යම් අබධෝයක් ලබා ගැනීම පිණිස 2006.12.04 දිනැති කතුවැකියෙහි කොටසක් යළි උපුටා දැක්වීමට කැමැත්තෙමු. එහි මෙ සේ සඳහන් විය.

“අපට එරෙහි ව නැඟෙන තවත් අවලාදයක් වන්නේ අප විසින් ලියනු ලබන කතුවැකි බුදු දහමට අදාළ නැත යන්න ය. අප ගේ කතු වැකි වලට මාතෘකා වූ නො බැඳි පිළිවෙත, ආගමික ගැටුම්, සාක්‍ෂරතාව, යුද වාදය, භව කාණ්ඩම්, ලේ මුසු ජලය, සියෝනි වාදය, ගොඩ්සිල්ලා චින්තන බද්ද, ප්‍රජාතන්ත්‍රවාදී විගඩම්, අසමත් රාජ්‍යය, මාතෘත්වය ගබ්සා වීම, සුදු කරපටි හොරු, ජිනීවා සාකච්ඡා ආදිය ඇතමකුට නො වැටහෙනවා විය හැකි ය. එහෙත් ඒවා අප නිතර වී සිටින බෞද්ධ සන්නිවේදන කාර්යයට අදාළ නො වේ යැයි කීම ඔවුන් ගේ නො දැනුවත්කම හෙළි කිරීමක් පමණි. බුදුසරණට නුසුදුසු එක කතුවැකියක් හෝ අප ලියා තිබේ නම් පෙන්වා දෙන ලෙස අවලාද නගන්නවුන් ගෙන් අපි කාරුණික ව අයැ ද සිටිමු. එ බඳු ගුණාත්මක ප්‍රතිචාර සඳහා බුදුසරණ විවෘත ය.”

එහෙත් අප ගේ කාර්ය භාරය ප්‍රශංසාවට ලක් නො වූ බවක් මෙයින් අදහස් නො කැරේ. අපට ලැබුණු ප්‍රතිචාර වලින් බහුතරයක් ප්‍රශංසා කිරිම් ය. අප ලියූ 2007.08.28 දිනෙහි කතු වැකිය පිළිබඳ ව බෝකුන්දර කුසල ධම්ම හිමියෝ මෙ සේ ලියා එවූ හ.

“නිකිණි පොහොය දින බුදුසරණට ඔබතුමා ලියා තිබූ කතුවැකිය ගැන බොහෝ දෙනා මවිත වී සිටිති. බුදුසරණ පුවත්පත බිහි වූවාට පසු එ වැනි අභියෝගාත්මක කතු වැකියක් පාඨකයන් කිසි දිනෙක දැක නැත.”

“බුදුන් වහන්සේ ලොවට අනාවරණය කළ සත්‍ය අද යටපත් කැර ඇති බැවින් එය ලොවට අනාවරණය කිරීමට ඔබේ වැලමිට ශක්තිමත් වේවා යි මම ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.”

උන්වහන්සේ ගේ ඇගැයීමට ලක් වූ එම ධර්මානුකූල නිදහස් මාධ්‍ය සම්ප්‍රදාය කුමක්දැයි අවබෝධ කැර ගැනීම පිණීස 2007.08.28 දිනැති කතුවැකියෙහි කොටසක් මෙ සේ උපුටා දක්වමු.

“විවාදාත්මක ලිපි බුදුසරණෙහි පළ කැරෙනුයේ කුමන අරමුණකින්දැයි පාඨකයන්ට පැවැසීම ද අප ගේ යුතුකමකි. මෙය බෞද්ධ ඥාන සම්ප්‍රදායට පටහැනි නො වීම එක් හේතුවක් යැයි කිව හැකි ය. එහෙත් වඩාත් වැදගත් හේතුව නම්, බුදු දහමේ හරය විනාශ කැරෙන මිථ්‍යාවන් හඳුනා ගැනීමට, අප පාඨකයන්ට මඟ පෙන්වීම ය.”

මෙහි දී අප අනුගමනය කළ ධර්මානුකූල නිදහස් මාධ්‍ය සම්ප්‍රදායට පදනම් වූයේ කුමක්දැයි සඳහන් කිරීම ද අප ගේ යුතුකමකි. එය අන් කිසිවක් නො ව අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ ඇතුළත් මඟ පෙන්වීම් ය. එහි මෙ සේ දැක් වේ.

“ආරංචියෙන් හෝ පරම්පරාවෙන් ආ නිසා හෝ මෙහෙමලු යන කටලු කථා නිසා හෝ මේ අප ගේ පිටක සම්ප්‍රදාය යැයි සිතීමෙන් හෝ තර්ක හේතුවෙන් හෝ නය හේතුවෙන් හෝ මේ කාරණය යහපත් වගේ පෙනේ යැයි කල්පනා කිරීමෙන් හෝ මෙය අප සිතා බලා සතුටින් ගත් දෘෂ්ටියට ගැළැපේ යැයි සිතීමෙන් හෝ මොහු සුදුස්සෙකැයි සැලැකීමෙන් හෝ මොහු අප ගේ ගුරුය යන හැඟීමෙන් හෝ නො පිළිගනු.”

අප ගුරුකොට ගත් මේ නිදහස් චින්තන සම්ප්‍රදාය අනාගතයට ද වලංගු ය. එ සේ වූව ද එහි සාර්ථකත්වය තීරණය වනු ඇත්තේ, කාලය, අවකාශය හා භාවිතය අනුව බව අපි දනිමු.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]