UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත සනසන පිරිත් දෙසුම

ඉන්දු ආර්ය ශිෂ්ටාචාරයේ ආදි යුගයේ සිට දෙවි දේවතාවන්ගෙන් ආශිර්වාදය ලබාගනු වස් මනසින් මවාගත් දෙවියන් ඉදිරිපිට භක්තියෙන් යුතුව ගීතිකා ගයනු ලැබූහ. සතුරු උවදුරු වලින් ආරක්ෂාව, සතුරන් ජය ගැනීම, නිරෝගි බව, සම්පත් වර්ධනය, දරුපල ලැබීම, අව්වැසි ලබා ගැනීම සඳහා ගීතිකා ගයා ඇත. පිරිත ද ආරක්ෂාව අරබයා ගයන්නා වූ සුමිහිරි දේශනාවකි. පිරිත යන සිංහල වචනය පාලි ‘පරිත්ත’ ශබ්දයෙන් ප්‍රභවය වී ඇත. පාලි පරිත්ත ශබ්දය සංස්කෘත ‘පරිත්‍ර’ ශබ්දයේ විකාශනයකි. සර්ව ප්‍රකාරයෙන්ම ආරක්ෂාව සලසාදීම යන්න මෙහි අර්ථයයි.

දිනපතා පිරිත් කීමෙන් ලැබෙන සතුට හා වින්දනය, ඒ දිනය පුරා ඔබ ප්‍රබෝධවත්ව සිටීමට හේතු කාරක වන බව මම අත්දැකීමෙන් දනිමි. වසර ගණනාවක් මුළුල්ලේම දිනපතා උදෑසන මිනිත්තු 45 ක් පමණ තුන් සූත්‍රය, ධම්මචක්ක සූත්‍රය, මහා මොග්ගල්ලානත්ථෙර බොජ්ක්‍ධංග පිරිත, ධජග්ග සූත්‍රය, අටවිසි පිරිත, මහා ජයමංගල ගාථා, ජය පිරිත, ජිනපඤ්ජරය, සීවලි පිරිත, අභිසම්භිදානේ පිරිත දිනපතා ශබ්දයෙන් සජ්ඣායනා කිරීමෙන් මාගේ් ගතට හා සිතට සිසිලක් ලැබෙන අතර මාගේ් කටහඬ ආරක්ෂා කර ගන්නට ද ඉන් ලැබෙන පිටුවහල ඉමහත්යැයි මම විශ්වාස කරමි.

ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාවට බුදු දහමේ හරය ඇතුලත් වේ. එයට සූත්‍ර විනය අභිධර්ම වර්ගකොට ඇති ත්‍රිපිටකයේ සෑම වැදගත් කරුණක්ම අඩංගු වේ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා, වනයක සතුන්ගේ අඩි වලට සම කළහොත්, ඒ සියල්ල බහාලිය හැකි ඇත් අඩිය ලෙස ධම්මචක්කපවත්තන සූත්‍රය අපට හැඳීන්විය හැකිය. බරණැස ඉසිපතනයේ මිගදායේදී පස්වග මහණුන් අරභයා දම්සක් පැවතුම් සූත්‍රය දෙසා වදාරන ලද සේක.

බුදුදහම ආගමක් පමණක් නොවේ. වියතුන්ට, උගතුන්ට, නැණවතුන්ට තේරුම්ගත හැකි දර්ශනයකි. ඒ බැව් දම්සක් පැවතුම් සූත්‍රයෙන් සක්සුදක් සේ පැහැදිලි වේ. නූතන විද්‍යාවට ගැලපෙන දර්ශනයක් එහි දක්නට ලැබේ. ගැලවුම්කරුවෙකු දෙවියකු පිළිබඳ විශ්වාසයක් එහි නොමැත. තමාගේ් විමුක්තිය උදාකර ගැනීම තමා සතුවේ. එහි පෙරමග සලකුණු දැක්වෙන මැදුම් පිළිවෙත පිළිබඳ අපූරු විග්‍රහයක් දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වේ.

කාමසුඛල්ලිකානු යෝගය, හා අත්තකිලමථානුයෝගය යන අන්ත දෙක අතරින් දක්නට ලැබෙන මධ්‍යම ප්‍රතිපදාව නිවනට මාර්ගය බව මෙකී ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් බුදුන් වහන්සේ වදාළ සේක.

සිදුහත් කුමරු සියලු ලෞකික සැප සම්පත් වින්දේය. අතට පයට දැසි දස්සන් යාන වාහන ඉතාමත් රසවත් ආහාර පාන ඒ ඒ සෘතුවලට සරිලන ලෙස තනන ලද රම්‍ය, සුරම්‍ය, සුබ නම් වූ දෙව්විමන් වැනි මාලිගාවල ඉහළම සැප සම්පත් වින්දේය. දිව්‍යාංගනාවක් මෙන් ශෝභමාන කුමාරිකාවක් වූ යසෝදරාවන් විවාහ කර ගත්තේ ය. මෙම කාල සමය තුළදී කාම සුඛල්ලිකානු සුවය වින්දේය. විමුක්තිය නිවන් මග පසක්කර ගන්නට එය බාධාවක් බව සිදුහත් කුමරුට වැටහිණි. තම රහල් කුමරු උපත ලද දිනයේ ම සිදුහත් කුමරු ගිහිගෙය අතහැර ගියේය. චක්‍රවර්තී රජකම පවා ලබන්නට තරම් කුසලතාවයක් භාග්‍යයක් වාසනාවක් තිබුණු සිදුහත් කුමරු තම දිවියේ ඉහළම පරිත්‍යාගය සිදු කළේය.

ඉන්පසු සිදුහත් කුමරු වනවාසි දිවියක් ගත කරමින්, තම සිරුරට අනන්ත දුක් දීමෙන් විමුක්තිය ලබා ගන්නට උත්සාහ කළේය. එය ද නිශ්ඵල උත්සාහයක් බව සිදුහත් කුමරුට වැටහුනේ වසර හයක් තම සිරුරට දුක් දීමෙන් පසුවය.

නැණ ඇස උදාකර ගැන්මෙන් නිවනින් සැනසුම ලබාගත හැක්කේ මැදුම් පිළිවෙතින් බව සිදුහත් තවුසා තේරුම් ගත්තේය. සිත දියුණු කරගනිමින් නිවන් මග පිවිසීමේ මාර්ගය ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් ලෝකයාට අවබෝධ කර දුන් සේක. ආර්ය අෂ්ඨාංගික මාර්ගය - සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නිවන් සුවය ලැබීමට වැදගත් වන්නා වූ සාධකයන් බව පෙන්වා දුන්නේය.

ලොව කිසිම ශාස්තෘවරයාණන් වහන්සේ නමක් මෙවන් බුද්ධිමත් දර්ශනයක් ඉදිරිපත් කොට නොමැත. මෙහිලා බුදුදහම ප්‍රඥාවන්තයින්, නැණවතුන් සඳහා වූ සුවිශේෂි දහමක් බව කදිමට ඔප්පුවන්නේ ද අරිඅටගි මගෙහි පළමු වැන්න ‘නිවැරදි දැක්ම’ ක් නිසාය. කිසියම් තැනැත්තෙකු ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයින්, දර්ශනවාදීන් පවා බුදුදහමේ අගය වටහා ගත්තේ දම්සක් පැවතුම් සූත්‍රයේ එන කරුණු කාරණා ප්‍රගුණ කර ගැනීමෙන්ය. අද බටහිර රටවල් පවා බුදුදහමේ අගය තේරුම් ගෙන ඇත. එයට හේතුව බෞද්ධ දර්ශනයේ අන්ධ විශ්වාසයක් නොමැතිකමයි.

මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ බරණැස නුවරෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ® සේක යන ගාථාවෙන් ආරම්භ වේ. ධම්මචක්ක සුත්‍රයට ගාථා 18 ක් ඇතුළත් වේ. එහි අවසන් ගාථාව මෙහි පහත දක්වයි.

අථඛෝ භගවා උදානං උදානෙසි අඤ්ඤාසි වත භෝ කොන්ඩඤ්ඤෝ අඤ්ඤාසි වත හෝ කොණ්ඩඤ්ඤෝති. ඉති හිදං අයස්ඛතෝ කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤෝ ත්වේව නාමං අහෝසිති)

කොඤ්ඩඤ්ඤ තෙමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළේය. පී‍්‍රති වාක්‍යයක් ද පැවැත් වූ සේක. මෙසේ මේ කාරණයේදී කොණ්ඩඤ්ඤ ආයුෂ්මතුන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤය යන නාමය ලැබුණි.

දම්සක් පැවතුම් සූත්‍රයේ වටිනාකම හා අගය දෙගුණ තෙගුණ වන්නේ එහි සිංහල අරුත් පිළිබඳ අවබෝධයක් ලබාගෙන එය සජ්ඣායනා කිරීමෙන්ය.

අපගේ ජීවිත ආලෝක කර ගැනීමට අවැසි කරුණු කාරණා දම්සක් පැවතුම් සූත්‍රයේ ඇතුළත් වේ. දුක්ඛ ආර්ය සත්‍යය ඉස්මතු කරන අතරම ඉපදීම, ජරාව, ව්‍යාධිය, රෝගිවීම, මරණය අපි‍්‍රයයන් හා එක්වීම පි‍්‍රයයන්ගෙන් වෙන්වීම කැමති යමක් නොලැබීම, කොටින්ම කියතොත් උපාදානස්කන්ධයෝම දුකයයි උන්වහන්සේ දම්සක් පැවතුම් සූත්‍රයෙන් දේශනා කළ සේක. අප භාග්‍යවත් තථාගතයන් වහන්සේ දුක් ආර්ය සත්‍යය අවබෝධ කරගත් බවත්, නොඇසු විරු ධර්මයන්හි සත්‍ය ඥානය පහළ කරගත් බවත්, ප්‍රඥාව පහළ කරගත් බවත් අවිද්‍යාව අන්ධකාරය දුරුකරගත් බවත්, ඥානාලෝකය අවබෝධකරගත් බවත්, විද්‍යාව ආලෝකය පහළ කරගත් බවත් මෙකී ධම්මචක්කපවත්තන සූත්‍රය මගින් දේශනා කොට වදාළ සේක.

නැණ ඇස පහළවීම, විද්‍යාව පහළ වීම, ධම්මචක්කපවත්තන සූත්‍රයේ ගාථා රැසකදීම පුන පුනා සඳහන් වීමෙන් පැහැදිලි වන්නේ බුද්ධාගම නැණවතුන් උදෙසා විශේෂිත ආගමක් දර්ශනයක් බවයි.

ධම්මචක්කපවත්තන සුත්‍රයෙහි අටවන ගාථාව කෙරෙහි අපි අවධානය යොමු කරමු. අප තථාගත බුදුපියාණන් වහන්සේ තම ධර්මය ඉතා අපූරුවට විග්‍රහ කරමින් මුළු ලොවට නැණ ඇස පහදාදීමට අවශ්‍ය දර්ශනය මෙසේ කෙටියෙන් වදාළ සේක. එකි අදහස් පුන පුනා ප්‍රකාශ කළසේක.

මහණෙනි, මේ දුක්ඛ ආර්යය සත්‍යය වේ. පෙර නොඇසූ විරූ ධර්මයන්හි සත්‍ය ඥානය චක්‍ෂුස පහල විය. එහි දැනීම ඇති විය. ප්‍රඥාව පහළ විය. විද්‍යා හෙවත් කෙලෙසුන් දුරු කිරීමෙහි නුවණ පහල විය. අවිධ්‍යාන්ධකාරය දුරු කරන ඤාණාලෝකය පහල විය. ඒ මේ දුක්ඛ ආර්යය සත්‍යය. පිරිසිඳ දත යුතුය. මහණෙනි මට පෙර නොඇසූ පිරූ ධර්මයන්හි සත්‍ය ඤාණය පහල විය. විද්‍යාව පහල විය. ප්‍රඥාව නැමැති ආලෝකය පහල විය.

මෙම ගාථාව අප බුදු දහමේ හරය, දර්ශනය ඉතා කෙටියෙන් අපට පසක් කර දේ. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයකු වූ ඇල්බර්ට් අයිස්ටයින් පවා බුදුදහම නුවණැත්තන් සඳහා වූ ආගමක් බව පෙන්වා දෙයි.

එමෙන්ම දර්ශනවාදීන් වූ බර්ට්‍රම් රසල්, ශ්‍රී ජවහර්ලාල් නේරු, අබ්දුල් කලාම් වැනි වියතුන් බුදුදහම සිත දියුණු කරන ඉතාමත් වැදගත් සත්‍ය දර්ශනයක් බවත්, එය වත්මන් ලෝකයට ගැළපෙන බුද්ධිමතුන්ට විශේෂිත ආගමක් බවත් පවසා ඇත. සත්‍ය ගුණ සමුදායක්, භක්තියෙන් අධිෂ්ඨාන පූර්වකව සිහිපත් කරන ඉමහත් ආශිර්වාදාත්මක දෙසුමකි,පිරිත. එහි ඉතාමත් සුමිහිරි වදන් තුළින් සිතට ලැබෙන සිසිල අනන්තය. අප්‍රමාණය. ජය ශ්‍රී මහා බෝ සමිඳු අසල සිටින විට ඔබේ ගතට හා සිතට දැනෙන සුවය වචනයෙන් විස්තර කළ නොහැකිය. ඔබ පරිත්‍රාණ දේශනාවකට සවන්දෙන විටත් හඬනගා පිරිත් සූත්‍ර කියන විටත් ඔබේ මනසට කොතරම් සුවයක් ගෙන දේ ද.

නිකිණි පුර පසළොස්වක පොහොය


අගෝස්තු 16 වනදා සෙනසුරාදා පූර්ව භාග 2.17 ට ලබයි.
18 වන දා ඉරිදා පූර්ව භාග 2.46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
අගෝස්තු 16 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 24 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 16

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]