UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - පැවිදි වතට ධනය සම්පතක් නොව දුඞඛ දොමනස්සයක් වුවත් අගාරික ගිහිවතට බාධකයක් නොව සාර්ථක දිවි පෙවෙතකට සාධකයක් බව බුදුරජාණන් වහන්සේ වදාළහ. ඒ බව චිත්ත ගහපතිතුමාට. උන්වහන්සේ සැහැදැති, සිල්වත්, ධන ධාන්‍යාදි ලෞකික ධනයෙන් හා ශ්‍රද්ධා සීලාදි ආර්ය ධනයෙන්ද යුත් තැනැත්තා වසන පෙදෙස ද පූජනීය බව දේශනා කිරීමෙන් අර්ථවත් කළහ.. ඒ අනුව දෙවි මිනිසුන්ට (දේවමනුස්සානං නචිරස් සේව) ඉතා කඩිනමින් භෝග සම්පත් බහුල කරගත හැකි හේතු හතරක් (මහන්තං වේපුල්ලත්තං පාපුණන්ති භොගෙසු) බුදු දහමෙහි සඳහන් වෙයි. පැහැදිලි කරන්න.

පිළිතුර - දෙවි මිනිසුන් සහිත ලෝකයාගේ ලෞකික සම්පත් බහුලබවට පත්වීමට හේතු හතරක්. (අ.නි.) චක්ක වග්ගයේ චක්ක සූත්‍රයෙහි සඳහන් වෙයි. එනම්

1. පතිරූප දේස වාසය
2. සත්පුරුෂ ආශ්‍රය
3. ආත්ම පාරිසුද්ධිය (සිත්හි තැන්පත් බව)
4. පෙර පින් ඇති බව යන කරුණු සතරය.

ප්‍රශ්නය - මෙම ධර්ම පාඨය කියවන්න.

එතෙ ඛො සංගහා ලොකෙ රථස්සාණීව යායතෝ. යන්න කුමන ධර්ම කරුණක් පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන්වහන්සේ දේශනා කොට වදාළේද? එම ධර්ම කරුණද සටහන් කරන්න.

පිළිතුර - බුදුරජාණන් වහන්සේ 'සිව් සඟරාවත' (සංග්‍රහ වස්තු හතර) නුවණැත්තන්ගේ් දැක්මක් බව යස්මා ච සංගහා එතෙ සමවෙක්ඛන්ති පණ්ඩිතා යනුවෙන් වදාළහ. එනම් දානය - පි‍්‍රය වචනය, අර්ථ චර්යාව - සමානාත්මතාවය (දි.නි. සිගාලක සූත්‍ර 3.29 පිටු) (අ.නි. සංගහ වත්ථු සූත්‍ර 4.66 පිටු)

ප්‍රශ්නය - බුද්ධ දේශනාවට අනුව උතුම් ගිහිගෙය (සදාර බ්‍රහ්මචරිය) මෙසේ වර්ණිත යහ.

ඉධ ධම්මං චරිත්වාන සමසීලබ්බතා උභො නන්දිතො දේවාලොකස්මිං මොදන්ති කාමකාමිනෝ

සීලයෙන් දැහැමි වූ සතුටු සිත් ඇතිව මෙලොවින් චුතව දෙව්ලොව පස්කම් සැප ලැබ අප්‍රමාණ වූ සතුටු වූවාහු වෙත්. බුදුරජාණන් වහන්සේ අති විශේෂ පුද්ගලයන් දෙදෙනකු අරභයා මෙම කරුණ දේශනා කළහ.මේ දෙදෙනා කවුරුන්ද? පැහැදිලි කරන්න.

පිළිතුර - (අනි. 4 -117 පිටු) නකුල සමජීවි සූත්‍ර

නකුල පිතු හා නකුල මාතා දෙදෙනාගෙ (අඤ්ඤමඤ්ඤං පියංවදා) උනුනට පි‍්‍රය බව අරභයා දේශනා කොට වදාළහ.

ප්‍රශ්නය - දානය දසපාරමිතා වලින් පළමුවැන්නයි. ලොවුතුරා බුදු බව පතා යන ආර්ය මාර්ගයෙහි බෝසත් ගුණයකි. බුදු දහමෙහි දේශනා පාලියෙහිදී දානයෙහි විවිධාර්ථ දැක්වෙන පුවත් දැකගන්නට ලැබෙයි. දෙන්නා හා ලබන්නා (දායක හා ප්‍රතිග්ග්‍රාහක) දෙපාර්ශවයට ම ප්‍රතිදානයක් ලබන අයුරු සුප්පාවාස කොලිය සිටු දියණියට දේශනා කොට වදාළ දහම් පිළිවෙතින් පැහැදිලි වේ. දේශනා පාලිය ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර - (අ.නි. 4 - 120 පිට) සුප්පාවාස සූත්‍ර

සුප්පාවාසේ අරිය සාවිකා පටිග්ගාහකානං චත්තාරි ඨානානි දෙති. සුප්පාවාසවෙනි! දන් දීමෙන් ප්‍රතිග්‍රාහකයාට ලැබීම් සතරක් දී දායක හෙවත් දෙන්නාටද එම ලැබීම් ප්‍රතිදානයක් වශයෙන් ලැබෙයි.

ආයුෂ දෙයි - ආයුං දෙති
වර්ණය දෙයි - වණ්ණං දෙති
සැප දෙයි - සුඛං දෙති
බලය (ශක්තිය) දෙයි - බලං දෙති

මෙම දීමෙන් දායක ද ආයු දායක - බල දායක, සුඛ දායක, වර්ණ දායක වෙයි.

යම් තැනක උපත ලබා ද ඒ සෑම තැනෙක්හිමි එබඳුම සැප ලබන්නේය.

ප්‍රශ්නය - මෙම පාඨය මතකයෙහි රඳවාගෙන පහත සඳහන් ප්‍රශ්නයට පිළිතුරු දෙන්න. නොබෝ කලකින්ම තම ප්‍රඥාවෙන් එම දහම අවබෝධ කරගත් බෝසත්හු 'ආලාරකාලාම' උසස් ධ්‍යානයක් වශයෙන් සැලකූ® 'ආකිඤ්චඤායතනය' ලබා ගත්හ. එහෙත් එය පරම සත්‍යය නොවන බව එතුමන්ට පසක් විය.

මෙයින් පසු සිදු වූ දෑ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - අනතුරුව බෝසතාණන් වහන්සේ සිය ගුරුදේව ආලාරකාලාමයන් හමුවට ගොස් ආයුෂ්මත් කාලාමයෙනි!.

ඔබ විසින් සිය නුවණින් මනාවදැන සාක්‍ෂාත් කරගෙන වාසය කරන මෙම ධර්මයෙහි උපරිමය. මෙපමණක් ද? මමත් දැන් මෙම ධර්මයෙහි එම අධිගමය සාධනය කරගෙන සිටිමියි පැවසූහ.

ඊර්ෂ්‍යා පරවශ නොවූ ආචාර්ය වරයා සිය විශිෂ්ට ශිෂ්‍යාගේ ජයග්‍රහණය ගැන සතුටට පත්වූයේ ය. හෙතෙම ඒ ශිෂ්‍යයාට හැම අතින්ම තමා හා සමාන තැනක් පිරිනමමින් ඔහුට සම්මාන කළේ ය. ඔහු සතුටු සිතින් මෙසේ කීයේ ය.

හිතවත සතුටකි. අපට මහත් සතුටකි. ඔබ වැනි සම්භාවනීය සබ්බ්‍රහ්ම චාරියෙකු ලැබීම ගැන අපි පී‍්‍රතිවෙමු. මා මගේම නුවණින් පිරිසි¼ඳ දැන පසක් කරගෙන වාසය කරමි. ධර්මය ඔබගේම නුවණින් පිරිසිඳ දැන වාසය කරති.

ඔබ විසින් ඔබගේම නුවණින් පිරිසිඳ දැන පසක් කරගෙන වාසය කරන ධර්මය. මම ද මගේම නුවණින් පිරිසිඳ දැන පසක් කරගෙන වාසය කරමි. එහෙයින් මම යම් දහමක් දනිම් ද ඒ දහම ඔබද දනිති. ඔබ යම් දහමක් දනිත් නම් මම ද ඒ දහම දනිමි මා යම්සේ ද ඔබද එසේ ය. ඔබ යම්සේ ද මම ද එසේ වෙමි. එන්න ආයුෂ්මතුනි! අපි දෙදෙනාම එක්ව මේ පිරිසේ නායකත්වය දරමු.

බෝසතාණන් වහන්සේගේ පිළිතුර වුනේ සම්බෝධිය හා නිර්වාණය ලබා නොදෙන්නා වූ ධර්ම විනයකින් මා තෘප්තිමත් නොවන බවත්, කෙතරම් ගුණවත් දයාබර ගුරුවරයෙකු සමග හවුල් වූවද තමන් පළමුව සම්බෝධියට නොපැමිණ තවුස් පිරිසකට නායකවන්නට ද බලාපොරොත්තුවක් නොවන බවයි. එය වූකලි අන්ධයන් විසින් අන්ධයන් මෙහෙයවීමක් බඳු යයි වදාළහ.

ප්‍රශ්නය - ආර්ය අෂ්ටාංගික මාර්ගය පැවිද්දන් මෙන්ම ගිහියන් සඳහා ද දේශනා කරන ලද්දක් නම් ගිහියකුව සිට ආර්ය මාර්ගයෙහි ගමන් කළහැකිනම්, අරහත්වය පවා ගිහිව සිට ලැබුවාහු සිටිත්නම් කම්සැප විඳිමින් ගිහි ගෙදර නොසිට පැවිදිවන්නේ කුමකටදැයි ගැටලුවක් මතුවෙයි. කාමභෝගී ජීවිතය අතහැර පැවිදිවීමේ අදහස සාමඤ්ඤපල සූත්‍රය මෙන්ම වෙනත් සූත්‍ර රාශිය කදීම විස්තර කියවන්නට ලැබෙයි. මෙම ගැටලුව නිරවුල් කරගැනීම සඳහා සරල පිළිතුරක් දෙන්න.

පිළිතුර - මේ සඳහා ධර්මානුකූල විවරණයකට වඩා ගැටලුව යොමුකොට ඇතිපිරිස් ශ්‍රාවක පිරිසක් නොව පාඨක පිරිසක් නිසා ඉතාමත් සංක්‍ෂිප්ත සරල පිළිතුරක් දිය යුතු යි. 1989 දිනමිණ වෙසක් කලාපයෙහි බුදුසමයයි අපරාධ විද්‍යාවයි තේමාව යටතේ දිවංගත මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා විසින් පලකරන ලද ලිපියකින් පිළිතුර සටහන් කරමි.

ලංකාවේ අපරාධ විද්‍යාව දියුණු කිරීමට බුදු දහමින් ලැබෙන ආධාරය ගැන අප කල්පනා කළ යුතු ය. අපරාධ නීති පිළිබඳව සමාජ විද්‍යාත්මක වර්ධනය වටහා ගැනීමට මෙන්ම අපරාධයට මුල් වූ සංකීර්ණ හේතු හඳුනාගැනීමට ද අපරාධ අඩුකිරීමට ගත යුතු පියවර වටහා ගැනීමට ද බුදු දහම අපට විශාල ඥාන සම්භාරයක් සපයයි. මෙතනදී පළමුවෙන්ම බුදු දහමේ එන නීතිරීති අප විසින් හැදෑරිය යුතු ය. මේවා විනය නීති නමින් “සංඝ” සමාජය උදෙසා පනවා ඇත. මීට අමතරව “ගිහි” නීතිය (ගිහි විනය) නමින් හැඳින්වෙන සූත්‍රාගත කොටස්ද දක්නට ලැබේ. විනය නීති පනවා ඇත්තේ එක්තරා දර්ශනයක පිහිටමිනි. මේ දර්ශනය මධ්‍යම ප්‍රතිපදාවෙන් නියෝජනය වෙයි. සීල, සමාධි, ප්‍රඥා යන මූලික අංග මත පිහිටි මධ්‍යම ප්‍රතිපදාව නිවනකරා අපගෙන යන ඒකායන මාර්ගයයි. ගිහි වුවත් පැවිදි වූවත් නිවනට යන්නට අප කාහටවත් මධ්‍යම ප්‍රතිපදාව හැර වෙනත් මගක් නැත. අභිනිෂ්ක්‍රමණය කොට පැවිදි ජීවිතයට ගියහොත් මේ මාර්ගයෙහි පිහිට ලබා ඉක්මනින් නිවන කරා ගමන් කළ හැකි ය. එයද පැවිදි වත නිවැරැදිව රැකගත්තොත් පමණි. ගිහියනට ද ඒ ගිහිවත පිළිවෙතින් නිවනට ළඟාවිය හැක. නමුත් මග දුරු කතරක ගෙවා යා යුතු ය. එකම පුද්ගලයෙකුගේ පිළිවෙත අනුව ගිහි හෝ පැවිදි වනු ඇත. අනගාරික බවින් පැවිදිවතට පිළිපන් තැනැත්තා සීල ප්‍රඥා වඩා පරමාර්ථ සාධනය “කාමෙසු විනෙය්‍ය ගෙධං නහිජාතු ගබ්භ සෙය්‍යං” යනුවෙන් කරණීය සූත්‍රයෙහි වදාළ පරිදි සිදුකරගනියි. ඒ මගට කොතනකදී හෝ ඇතුල්වීමට ගිහියාට බාධාවක් නැත.

ප්‍රශ්නය - බුදුන් වහන්සේ සංඝ සමාජය පිහිටුවීමෙහි දී කාලීන වෙනස්කම් වලට එකඟවද මහජන මතය සලකාගෙන ද විනය නීති වරින් වර වෙනස් කිරීම් සකස්කිරීම් අලුත් කිරීම් ආදිය කිරීමෙන් අත්තනෝමතික ඒකාධිකාරී පාලනතන්ත්‍රයක් බිහිකිරීම උන්වහන්සේගේ අභිමතය නොවීය. මේ පිළිබඳව පැහැදිලි කරන්න.

පිළිතුර - සංඝ පාලන තන්ත්‍රයේ පදනම භික්‍ෂු විනය නීති සමූහයයි. ඒ අනුව උන්වහන්සේ භික්‍ෂු විනය නීති පමුණුවන ලද්දේ කරුණු දහයක් පදනම් කරගෙන ය.

1. සංඝයාගේ යහපත් පැවැත්ම
2. පහසුව
3. නොදැමුනු පුද්ගල දමනය කිරීම
4.සංඝයාගේ පහසු විහරණ
5. කෙලෙස් ආශ්‍රවයන්ගෙන් මිදීම
6. පාරලෞකික ආශ්‍රවයන්ගෙන් මිදීම
7. නොපැහැදූ නවුන්ගේ පැහැදීම
8. පැහැදුන වුන්ගේ පැහැදීම වැඩිවීම
9. ශ්‍රී සද්ධර්මයෙහි චිර ජීවනය
10.භික්‍ෂු සංවරය ඇතිකරලීම

භික්‍ෂු සමාජයෙහි නායකත්වය පිළිබඳ ස්වරූපය ද බුදුරජාණන් වහන්සේ විසින් නම්‍යශීලී වූහ. “ආනන්දය මම භික්‍ෂූන් පාලනය කරන්නෙමි ඔවුන් මා උදෙසා විය යුතු ය. යන අදහසක්” තථාගතස්ස බො ආනන්ද න එවං හොති අහං භික්‍ඛු සංඝං පරිහරිස්සාමීති වා මමුද්දෙසිකො භික්‍ඛු සංසොති වා (දි.නි. මහාපරිනිබ්බාන සූත්‍රය 158 පිටුව) උන්වහන්සේ තුළ නොතිබූ බව පැහැදිලි වෙයි. තමන් වහන්සේගේ ඇවෑමෙන් සංඝ සමාජයේ නායකත්වයට බුදු හිමියන් කිසිවෙකු පත්කර නැති බව ආනන්ද හිමියෝ වස්සකාර බමුණාට ප්‍රකාශ කළහ. නායකත්වයත් පුද්ගලාභිවාදනයත් සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කළ බුදුරජාණන් වහන්සේ අන් අයගේ පිළිසරණ නොසොයා තමන් පිහිට කොටගෙන ජීවත් වන ලෙස “අත්තදීපා විහරථ අත්ත සරණා අනඤඤසරණා, ධම්ම දීපා ධම්ම සරණා අනඤ්ඤ සරණා යනුවෙන් ශ්‍රාවකයනට අවවාද කළහ.

පොසොන් අව අටවක පෝය

ජූනි 26 වන දා බ්‍රහස්පතින්දා
පූර්ව භාග 06.10 ට ලබයි. 27 වන දා සිකුරාදා පූර්ව භාග
05.00 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 26 වන දා
බ්‍රහස්පතින්දා ය.


මීළඟ පෝය ජූලි 2 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූනි 26

New Moonඅමාවක

ජූලි 02

First Quarterපුර අටවක

ජූලි 10

Full Moonපසෙලාස්වක

ජූලි 17

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]