වන්දනා සංස්කෘතිය
පසුගිය සතියේ - එනම් පොසොන් පසළොස්වක දින - කතු වැකියෙන් අප කතා
කළේ යුද ආතතිය පිළිබඳ ව ය. යුද ආතතිය අප සමාජයට බලපා ඇති
ප්‍රමාණය ඉතා හොඳින් අවබෝධ කැර ගැනීමට පසුගිය 17 වන දා සිට 19
වන දා දක්වා පැවැති මිහින්තලා ආලෝක පූජාවට සහභාගී වූ අපට හැකි
විය. පොසොන් උළෙලට සහභාගීවීම සඳහා මිහින්තලා පුදබිමට හෝ
අනුරාධපුරයට වෙන වසරවල දී ගලන මහා ජනගඟ මෙ වර දක්නට නො ලැබිණ.
එහෙත්, බැතිමතුන් විශාල පිරිසක් අනුරාධපුරයට හා මිහින්තලයට
පැමිණ සිටිය හ. අප මෙහි දී අවධාරණය කැරුණු කාරණය නම් පසුගිය
වසර සමඟ සසඳා බලන කල ජන සහභාගීත්වයෙහි විශාල අඩුවක් දක්නට
ලැබුණු බව ය.
ඉන්ධන මිල ඉහළ යෑම නිසා මතු වී තිබෙන ආර්ථික ප්‍රශ්න, මෙ වර
පොසොන් පොහොය බදාදා දිනට යෙදී තිබීම නිසා නිවාඩු ලබා ගැනීමේ දී
මතු වූ ගැටලු හා ඇතැම් දිස්ත්‍රික්කවලට බලපෑ ගංවතුර ආදී හේතු
නිසා වන්දනා කරුවන් පසුබෑමකට ලක්වන්නට ඇත. එ සේ වූව ද මෙහි දී
බලපෑ ප්‍රධාන ම සාධකය යුද ආතතිය බවට සැකයක් නොමැත.
යුද ආතතිය නිසා වන්දනාකරුවන් ගේ සහභාගීත්වය අඩු වී තිබුණ ද
අනුරාධපුරයට හා මිහින්තලයට ඉතා හොඳින් ආරක්‍ෂාව සපයා තිබිණ.
යුද හමුදාව, පොලිස් නිලධාරීන් හා සිවිල් ආරක්‍ෂක බලකාය යොදවා
සිදු කළ පරීක්‍ෂා කිරීම් ආදිය දැඩි ඉවසීමෙන් යුතු ව විඳ දරා
ගනිමින් එ තරම් විශාල ජනකායක් අනුරාධපුරයට හා මිහින්තලයට
පැමිණීම විශේෂයෙන් අගය කළ යුතු ය. අප ගේ මුතුන් මිත්තන් තම
දේපළ වෙනත් අයට පවරා වන්දනාවන් හි නිරත වූ ආකාරය මෙහි දී
සිහිපත් කිරීම මැනවැයි සිතමු. වන සතුන් හෝ රෝග පීඩා ආදිය නිසා
ආපසු ඒමට හැකි වේ ද යන සැකය තිබිය දී පවා වන්දනාවේ නිරත වූ
පැරැණි පරම්පරාවට තිබූ අභියෝගයන්ට වැඩි රුදුරු අභියෝගයක්
වත්මන් පරපුර හමුවේ තිබේ.
මේ කුමන බාධක තිබිය දී වූව ද වෙනත් වසර වල දී මෙන් ම දන්සැල්
විශාල ප්‍රමාණයක් මෙ වරත් දක්නට ලැබිණ. ඒවායින් වැඩි
ප්‍රමාණයක් අනුරාධපුරයට බොහෝ දුර බැහැර ප්‍රදේශවලින් පැමිණි
සැදැහැවතුන් විසින් සංවිධානය කැර තිබුණු බව ද කිව යුතු ය.
යුද ආතතියට හෝ ආර්ථික අපහසුකම් නිසා යටපත් නො වූ එම දන්දීමේ
පුරුද්ද හඳුනා ගැනීම අවශ්‍ය යැයි සිතමු. 17 වන සියවසෙහි මෙරට
පැවැති තත්ත්වය රොබට් නොක්ස් ගේ එදා හෙළ දිව කෘතියේ මෙ සේ දැක්
වේ.
“දුප්පතුන් හට බතින් බුලතින් සංග්‍රහ කිරීම සිංහලයන් ගේ විශේෂ
පී‍්‍රතියකි. විදේශිකයන් හටත් ස්වදේශිකයන් හට මෙන් ආදරයෙන්
ආගන්තුක සත්කාර කැරෙති. සෑම ගෙදරක ම ගෘහනියක් බත පිසීමට සහල්
ගන්නා විට, එම සහල් වලින් එක් මිටක් ගෙන වෙනත් බඳුනක දමන්නී ය.
දිනපතා දෙමිට බැගින් එකතු වන මේ සහල් විශාල ප්‍රමාණයක් එකතු වූ
කල්හි එම “මිටි සාල්” උයා පිහා දුප්පතුන් හා යදියන් ගෙදරට
ගෙන්වා මහ දන් පවත්වති. සිංහල වර්ගයා ඔවුන් ගේ ජාතියට අයත්
දුප්පතුන්ට පමණක් නො ව, විජාතික විදේශික වූ දුප්පතුන්ටත්
එක්වන් අනුකම්පාවෙන් සලකති. විශේෂයෙන් මුස්ලිම් භක්තික
දිළින්දක් හටත් පින් පිණිස දෙති.”
මිහින්තලා පුද බිමට විදුලි බලය ලැබී නො තිබූ යුගයක (1963 දී)
හුළු අතු බැඳගෙන පැමිණි වන්දනාකරුවන්ට ආලෝකය සපයනු පිණිස
කොළඹින් රැගෙන ගිය විදුලි ජනක යන්ත්‍රයක් උපයෝගී කැර ගෙන
ලේක්හවුස් ආයතනය ආරම්භ කළ මිහින්තලා ආලෝක පූජාව ද අප ගේ වන්දනා
සංස්කෘතිය ගැන කතා කිරීමේ දී අවධානයට යොමු විය යුතු ය.
මිහින්තලා පුදබිමේ උරුමය රැක ගැනීමට විදුලි එළිය පමණක්
ප්‍රමාණවත් නො වූ බැවින් 1965.06.13 වන දිනට යෙදී තිබුණු
පොසොන් පොහොය දා මිහින්තලා මැද මළුවේ දී බුදුසරණ පුවත්පත බිහි
කැරිණ. එ සේ බිහි වූ මේ බුදුසරණ පුවත්පතේ කාර්යභාරය වන්නේ බුදු
දහමේ ආලෝකය බෙදා දීම ය.
එ බැවින් අප සමාජය ගොදුරු වී ඇති මේ යුද ආතතිය නිසා අඳුරු වූ
ජීවිත ආලෝකවත් කිරීම අප ගේ වගකීමක් යැයි සිතන්නෙමු. එහෙත්,
මෙහි දී අප විසින් පරාජය කළ යුතු සතුරු බලවේග රාශියක් ඇති බව
අවබෝධ කැර ගත යුතු ය. |