UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආදර්ශය උතුම්

නමෝතස්ස භගවතෝ අරහතෝ

සම්මා සම්බුද්ධස්ස

අත්තානමේව පඨමං -

පතිරූපෙ නිවෙසයේ

අථඤ්ඤ මනුසා සෙය්‍ය -

න කිලිස්සෙය්‍ය පණ්ඩිතො

මේ බුදු ඔවදනින් කියන්නේ තමා පළමුවෙන් සුදුසු ගුණ දහම් හි පිහිටා ඒ ගැන අනුශාසනා කිරීම කළ යුතු බවයි. ගුණ දහම් හි පිහිටා අනුශාසනා කරන පණ්ඩිතයන් කෙලෙසෙන්නේ නැහැ.

බුදුරජාණන් වහන්සේ අවවාද දුන්නෙත් ඒ අන්දමට. උන්වහන්සේ තමා ධර්මය අවබෝධ කරගෙන අන් අයට අවබෝධ කරවීමට කටයුතු කළා. අභිඤ්ඤෙය්‍යං අභිඤ්ඤාතං - භාවෙ තබ්බංච භාවිතං - පහාතබ්බං පහීනංමේ තස්මා බුදෙධාස්මි බ්‍රාහ්මණා යනුවෙන් බුදුරදුන් තමා අවබෝධ කළ යුතු වූ දෙය අවබෝධ කළ බවත් භාවිතා කළ යුතු දේ භාවිතා කළ බවත් ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කළ බවත් වදාළා. උන්වහන්සේ හැම විටම යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්ත වුණා. ඒ කියන්නේ කී දේ කළා. කරන දේ කීවා. තමා කරන අවවාදය තමා තුළත් පිහිටා තිබෙන බව ඔප්පු කළා. ලෝකයාට බණක් කීමටත් පෙර උන්වහන්සේ ක්‍රියාවෙන් පෙන්නුම් කළෙත් මේ ගුණයමයි. තමන්ට බුදුබව ලබා ගැනීම සඳහා උපකාරී වුණ ඇසතු ගස අජීවී වස්තුවක් කියා අත් හැරියේ නැහැ. ඒ දෙස ඇසිපිය නො හෙලා සතියක් බලා සිටීමෙන් කෘතඥතාවය පළ කළා. කළගුණ සලකන්නැයි අනුනට බණ කියන්නට පෙර උන්වහන්සේ එය ක්‍රියාවෙන්ම ඔප්පු කළා. බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නමින් හඳුන්වනවා. උන්වහන්සේ හැම අතින්ම කරුණාවන්ත වුණා. අසරණ අහිංසක අය වෙත බුදු කරුණාව ලැබිලා සුවපත් වුණා. සමාජයෙන් කොන් වී සිටිය පටාචාරා, සෝපාක, කිසාගෝතමී ආදී අසරණ අයට බුද්ධ කරුණාව නොලැබුණා නම් අදටත් සසර දුක් විඳිනවා.

බුදුරජාණන් වහන්සේ රෝගීන්ට උපස්ථාන කිරීම තමනුත් කරමිනුයි අන් අයට කරන්න කීවේ.තුවාල වලින් වේදනා විඳි පූතිගත්ත තිස්ස හාමුදුරුවන්ට සියතින්ම වතුර උණුකර නෑව්වා. ගිලනුන්ට උපස්ථාන කිරීම බුදු වදනට ගරු කිරීමක් ලෙස දක්වා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වූ සමාජයේ කුල භේදය තදින්ම තිබුණා. එකල උසස් යැයි සම්මත වූ ක්‍ෂත්‍රීය කුලයේ උපන් උන්වහන්සේ කුල වශයෙන් මිනිසා බෙදී සිටීමේ පදනමක් නැති බව දේශනා කළා. සුනීත සෝපාක ආදී පහත් කුල යැයි සම්මත වූ අයටත් බුද්ධ ශාසනයේ මහණ දම් පුරන්නට ඉඩකඩ සලස්වා දුන්නා. ඒ කාලයේ පහත් කුලවල අයට ආගමික නිදහසක් තිබුණේ නැහැ.

කෙනකු වසලයෙකු වන්නේත්, බමුණෙකු වන්නේත් උපතින් නොව ක්‍රියාවෙන් බව දේශනා කළා. මුළු බුද්ධ චරිතයම ආදර්ශවත් බවේ මූර්තියක්. බුදුහාමුදුරුවන් සිය අනුගාමිකයන්ට, භික්‍ෂූන් වහන්සේලාට පි‍්‍රය වචනයේ අගය ගැන වදාළා. උන්වහන්ගේ ගේ වචනත් පි‍්‍රයංකර වුණා. මේ නිසා අන්‍යාගමිකයන් පවා උන්වහන්සේ වෙත පැමිණීමට පි‍්‍රය කළා. උන්වහන්සේ හොඳින් හැඳ පෙරවා මහ මඟ වැඩම කළා. භික්‍ෂූන්ටත් ගම් වැදීමට පෙර හොඳින් සිවුරු හැඳ පෙරවා යන්නට අවවාද කළා. නො පැහැදුනවුන්ගේ පැහැදීමත්, පැහැදුන අය ගේ වැඩි පැහැදීම සඳහාත් ක්‍රියාකරන්නට අනු දැන වදාළා.

අපේ ශාස්තෘවරයාණන් වහන්සේ ක්‍රියාකළ ආකාරයට අපිත් ක්‍රියා කළ යුතු වෙනවා. හැම විටම ආදර්ශවත්ව ක්‍රියා කරන්නට බුදුරජාණන් වහන්සේ වග බලා ගත්තා. අනුනට අවවාද දෙන්නට අනුනගේ වැරදි හදන්නට යන අයට තමාගේ වරද පේන්නේ නැහැ. කුඩා දරුවනට අර දේ කරන්න එපා. මේ දේ කරන්නට එපා කියන වැඩිහිටියන්ම ඒ වැරදි කරනවා. පාසල් යන්නට පෙර දරුවෙකු යම් යම් දේ ඉගෙන ගන්නේ ගෙදරින්. ළමයාගේ හැසිරීම් රටාව තුළින් ඔහු වසන නිවස පිළිබඳව, පරිසරය පිළිබඳව, හොඳ චිත්‍රයක් පිළබිිඹු වෙනවා. සමහර දෙමව්පියන් දරුවන් ඉදිරියේ රණ්ඩුසරුවල් වෙනවා. දරුවන්ට මව පියා එපා වන්නට මෙවැනි අවස්ථා ප්‍රබල හේතුවක්. සමහර දරුවන් ලොකු මහත් වූ විට අනාගතය දැන දැඩි බියක් පසු බෑමක් ඇති කර ගන්නවා. ඔහුගේ පෞරුෂ වර්ධනයට අකුල් හෙළුණේ තම නිවසින්ම වීම කනගාටුදායකයි. දරුවන් ළඟ තබා ගෙන ඇතැම් දෙමාපියන් මත්පැන් බොනවා.තමා දුක් මහන්සියෙන් හදන තමන්ගේ ම දරුවාට මේ දෙමාපියන් දෙන්නේ මොනතරම් නරක ආදර්ශයක්ද? වඩා තදින් වත් වඩා බුරුලෙන්වත් නොසැලකිල්ලෙනුත්, ඕනෑවට වඩා සැලකිල්ලෙනුත් දරුවෙක් හදන්න බැහැ.

දරුවා හැම විටම දෙමාපියන් අනුකරණය කරන බව අමතක කරන්න හොඳ නැහැ. ඇතැම් මව්වරු පියා ගේ කේළම් අසා ගන්නට දූතයකු කරගන්නේ තමන්ගේ දරුවා. අසල් වැසියන්ගේ පවා තොරතුරු දැනගන්නට ඔවුන් හා කළහ කරන්නට දරුවා යොදා ගන්නවා.

මේවා දරුවාගේ පෞරුෂයට විශාල හානියක්. දරුවා බලා සිටියදී තමන්ගේ දෙමව්පියන්ට වෙනස්කම් කරන අම්මලා තාත්තලා ඉන්නවා. පුංචි දරුවෝ දෙමාපියන්ගේ ක්‍රියා කලාපය විමසුම් ඇසින් බලා ඉන්නවා. ඔබ ඔබේ දරුවන් හදනවා වඩනවා වාගේ තමයි දෙමව්පියන් ඔබව හැදුවෙත්. ඒක අමතක කරන්න එපා. ඔබේ දරුවාත් ඒ අන්දමට ඔබට සලකනවාට කිසිම අනුමානයක් නැහැ. දරුවන්ට හැම විටම ආදර්ශවත් වෙන්න. දරුවන් අහගෙන ඉන්න විටදී ඔවුන්ට නො ගැලපෙන වදන් භාවිතා කරන්න එපා.

නිවස තුළ හැම විටම හොඳ වාතාවරණයක් පැවතිය යුතුයි. දරුවා නිවස පි‍්‍රය කරන්නේ එවිට. ඇතැම් දෙමව්පියන් දරුවා ලවා බොරු කියවනවා. දරුවා අනාගතයේ වංචාකාරයෙක් වුණොත් කවුද ඒකට මුල් වුණේ කියා සිතා බලන්න. පාසලට එවන දරුවා ඊළඟට ග්‍රහණය කරගන්නේ ගුරුවරු, ගුරුවරුන් කියන දේ, කරන දේ, උසස් කියා ඔහු තුළ ආකල්පයක් පවතිනවා. සමහර ළමයි කියනවා අම්මා දන්නේ නැහැ. අපේ ටීචර් මට කියා දුන්නා මෙහෙම කියලා කියනවා ඔබත් අහලා ඇති. ළමයා තුළ පවතින ඒ ආකල්පයට උචිත අන්දමට ගුරුවරුන් ක්‍රියා කරන්න ඕන. ගුරුවරයා මුළු සමාජයටම ආදර්ශයක් වෙන්න ඕන. ඇඳුමින්, පැළඳුමින් කතා බහෙන්, හැසිරීමෙන්, ඒ පමණක් නොවෙයි, ළමයි අත් අකුරු ලිවීමට පවා ගුරුවරුන් අනුගමනය කරන බව අවධානයට ගන්න ඕනේ. දෙමාපියන්ටත් දරුවන් නොසලකන්නේ ඔවුන්ට ගුණ ධර්ම නූගැන්නුව නිසයි. අද ළමයිනට පන්ති හරියට පිහිනුම් පන්ති, නැටුම් පන්ති, ක්‍රීඩා පන්ති, කුකරි පන්ති, කේක් පන්ති, තව නා නා ප්‍රකාර පන්ති, මෙහෙම පන්තිවලට යන දරුවාට දහම් පාසලකට යන්න වෙලාවක් නැහැ. ඔහු ඒවායේ ගත කරල ආවට මොකද? ගුණ දහම් දන්නේ නැහැ. ඉතින් එබදු දරුවන්ගෙන් ගුණ දහම් බලාපොරොත්තු වෙන්න අපිට බැහැ. අප නිතර පන්සල් ආශ්‍රය කරනවා නම් දරුවාත් අප සමඟ එයට හුරුවෙනවා. පුර පෝය දවසකටවත් පන්සලකට යාම හුරුකරගත යුතුයි. නැති බැරි අයට උදව් කිරීමට පෙළඹවිය යුතුයි. අධ්‍යාපනඥයින් පවා පිළිගෙන තිබෙනවා දරුවාට පරිසරයෙන් හැදෙන්න ඉඩ දෙන්න කියලා. එහෙනම් අපි දරුවාට හොඳ පරිසරයක් ලබා දිය යුතුයි. බුදුරජාණන් වහන්සේ පවා එය මංගල කාරණයක් ලෙස දක්වා තිබෙනවා.

චාම් බව අල්පේච්ඡ බව අද රටේ දකින්නට නැහැ. අනුන්ට පේන්නට ක්‍රියාකිරීමයි හැමතැනම දකින්න තියෙන්නේ්. ඉස්සර සිංහල මිනිස්සු චාම් අල්පේච්ඡ ජාතියක් වුණා. මේ තත්ත්වයට ඔවුන් පත් කළේ බුදු දහම, බුදුහාමුදුරුවෝ අල්පේච්ඡ බව චාම් බව අගය කළා. පන්සල ආශි‍්‍රතව හැදුණු වැඩුණු අපේ මිනිස්සු ඒ අනුව හැදුණා වැඩුණා. ඇමරිකාව දරුවන්ට සදාචාරය ඉගැන්වීමට අද භාවිතා කරන්නේ ආකෘතිකරණය, යම් උසස් උතුමෙකුගේ ආකෘතියක් පෙන්වා ඒ උතුමාගේ ගුණාංග උගන්වනවා. එබඳු අය අපට ඕනෑ තරම් ඉන්නවා. බුදුහාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, සැරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, ආදී මහා සංඝරත්නයත්, විශාඛාව, සුජාතාව, යශෝධරා වැනි කාන්තාවන්, දුටුගැමුණූ රජතුමා, සද්ධාතිස්ස රජතුමා, ධර්මපාලතුමා, වැනි උතුමන් අපට ඕනෑ තරම් අනුගමනය කළ හැකිය. මෙබඳු අයගේ කතා පුවත් පාසලින් කියා දිය යුතුයි. ;දමව්පියන් කියා දිය යුතුයි. පැරණි ගෙවල්වල ධර්මපාල තුමාගේ පින්තූර තිබුණා. සීවලී පින්තූරයට නම් සැලකිලි ලැබෙනවා. සීවලී හිමියන් ප්‍රත්‍යලාභීන් අතරින් අග්‍ර වූ නිසා, ගෙවල්වල ආදර්ශමත් උතුමන්ගේ පින්තූර තිබීම වැදගත්. එවිට දරුවන් ඒ පිළිබඳ විමසා ඉගෙන ගන්නවා. දරුවාගේ පොත් තබන කාමරයේ එබඳු පින්තූර ප්‍රදර්ශනය කළ හැකියි.

දරුවා සම වියේ අය ඇසුරු කරන කාලයට ඔවුනට හොඳ මිතුරන් ලබා දිය යුතුයි. කියවන පොත්පත් ගැන උනන්දු වන්න ඕනේ. දෙමවුපියන් ඒ පොත් අගය කළ යුතුයි.

එවිට දරුවා ඉබේම එබඳු පොත්පත් සොයාගෙන කියවන්නට පෙළඹෙනවා. හැමවිටම දෙමවුපියන් ආදර්ශවත්ව ක්‍රියාකිරීමට උත්සාහ කළ යුතුයි.

ඔබ සැමට තෙරුවන් සරණයි.

  මැදින් පුර අටවක පෝය

   මාර්තු 14 වැනිදා සිකුරාදා පූර්ව භාග 05.17 ට ලබයි.
15 වැනිදා සෙනසුරාදා
පූර්වභාග 06.19 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම 14 වැනිදා සිකුරාදාය.

මී ළඟ පෝය මාර්තු 21 වැනිදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 14

Full Moonපසෙලාස්වක

මාර්තු 21

Second Quarterඅව අටවක

මාර්තු 29

New Moonඅමාවක

අපේ‍්‍රල් 05

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]