UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

තමා විසින්ම රැකගත යුතු සිත


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

අත්තාහි අත්තනො නාථො
අත්තාහි අත්තනො ගතී
තස්මා සඤ්ඤම යන්තානං
අස්සංභද්‍රංව වාණිජො


පින්වත,

මේ ගාථාව ඇතුළත් වෙන්නේ ධම්මපදයේ භික්ඛු වග්ගයටයි. බුද්ධ ශ්‍රාවකයා භික්ඛු නමින් හඳුන් වන්නේ ඇයි ? භික්‍ෂුවක් හඳුනාගත හැක්කේ කෙසේද ? සැබවින්ම භික්‍ෂුවක් සතු ලක්‍ෂණ මොනවාද ? මේ ආදි වශයෙන් භික්‍ෂූන් වහන්සේ අරභයා දේශනා කළ ධර්ම කරුණු තමයි භික්ඛු වග්ගයේ ඇතුළත් වන්නේ. එහෙත් ඇතැම් කරුණු භික්‍ෂූන් පිළිබඳව දේශනා කර ඇතත්, ඒවා ගිහි පිරිසට ද බෙහෙවින් ප්‍රයෝජනවත් බව පෙනෙයි’ අද මා මාතෘකා කළ ගාථාවටද ඇතුළත් කරුණු ඔබටත් බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව අදහසයි.

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වසන අවස්ථාවක නංගලකුල නම් වූ තෙරුන් වහන්සේ නමක් මුල් කරගෙනයි මේ ගාථාවෙන් ධර්ම දේශනා කළේ. බැල මෙහෙවර කම් කරමින් ජීවත් වූ සැවැත් නුවර එක්තරා මිනිසෙක් දැක අනුකම්පා සිතක් පහල වී එක්තරා මහරහතන් වහන්සේ නමක් ඒ මිනිසා මුණ ගැසුණා. නගුලක් කර තබාගෙන බැල මෙහෙයක් හැටියට සී සෑම සඳහා යමින් ඔහු සිටියේ. මේ තෙරුණ් වහන්සේ හා ඔහු අතර කතා බහක් ඇති වුණා. ‘පින්වත, මේ තරම් දුක් විඳින්නේ ඇයි ? ඔබ පැවිදි වීමට කැමති නැද්දැයි’ උන්වහන්සේ විමසා සිටියා. දිළිඳු මිනිසා පැවිද්දට කැමැත්තක් ඇති බැව් දැනගත් උන්වහන්සේ දෙව්රම් වෙහෙර වෙත කැටුව ගොස් පැවිදි ජීවිතයට වුවමනා වතාවත් ආදිය උගන්වා තමන් අතින්ම හිස බූ ගා පැවිදි බවට පත් කළා.

ටික දවසක් පැවිදිකම හොඳින් ආරක්ෂා කරගෙන සිටියා. වරින් වර තමන්ගෙ පුරුදු රස්සාව සිහි වෙනවා. ඒ හැම වෙලාවකම තමන්ගෙ හිතට තමාම අවවාද කරගෙන සිතිවිලි යටපත් කරගෙන, භාවනාවට හිත යෙදුවා. ටික දවසක් යන කොට උන්වහන්සේ කෙලෙස් නැති කොට, නිවන් අවබෝධ කරගත්තා. උන්වහන්සේගේ රහත් බව ලැබීම නිමිති කරගෙන තමයි මුලින් සඳහන් කළ ගාථාව දේශනා කළේ.

මේ ගාථාවෙන් කියවෙන සාමාන්‍ය අදහස නම් ‘තමාට පිහිට තමාමය. පිහිට වෙන අන් කෙනෙක් නැත. උතුම් අශ්වයෙක් ආරක්ෂා කරගෙන රැක බලා ගන්නා වෙළෙන්දෙකු මෙන් තම සිත තමා විසින්ම රැක ගත යුතුය’ යන්නයි.

පින්වත බුදු දහම ලෝකයේ තිබෙන අනෙකුත් ආගම් වලින් වෙනස් වන ලක්‍ෂණ රාශියක් තියෙනවා. ඉන් එකක් තමයි අනෙක් ආගම් වල සත්වයා පාපයෙන් ගලවා ගැනීම සඳහා ගැලවුම් කාරයෙකු සිටින බව උගන්වනවා. එහෙත් බුදුදහම එවැනි දෙයක් උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැලවුම් කාරයකු නොව මග පෙන්වන උතුම් අනුශාසකයන් වහන්සේ නමකි. දුකින් මිදීම සසරින් ගැලවීම තමා විසින්ම කල යුතු දෙයක් මිස වෙනත් කෙනෙකුට එය කල නොහැකි බවයි බුදු දහම උගන්වන්නේ. සසර පැවැත්මක් ගැන බුදු දහම උගන්වයි. අප හැම කෙනකුම සසර ගමනෙහි යෙදී සිටිනවා. මෙහි ආරම්භය කොතැනදැයි කාටවත් කීමට පුළුවන් කමක් නැහැ.

වරක් බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා පුබ්බේ නිවාසානුස්සති ඤාණය (පෙර ආත්ම පිළිබඳව කීමට ඇති නුවණ) උපදවාගත් ප්‍රතිබල සම්පන්න උත්තමයන් දෙදෙනෙකු එක් දවසකට තමන්ගේ පෙර ආත්ම පිළිබඳව කල්පයක තොරතුරු අනාවරණය කළොත් එසේ අවුරුදු සියයක් ගත වුනාට පසුව උන්වහන්සේලා මරණයට පත්වුනත් සසර මුල සොයා ගැනීමට නොහැකි වෙන බව. එක දවසකට කල්පයක උපන් ආත්ම භාව ගැන බලමින් අවුරුදු සියයක් ගත කලත් සසර ගමනේ මුල සොයා ගැනීමට නොහැකි නම් අප මේ යන ගමනේ ආරම්භය කවදාදැයි කාටවත් කීමට පුළුවන් කමක් නැහැ. සත්වයෙකු පිළිසිඳ ගැනීමේදී සම්පූර්ණ විය යුතු කරුණු අතර, එකක් හැටියට දැක්වෙනවා ගන්ධබ්බයාගේ පිවිසීම, නැතිනම් ජීවාත්මයක ප්‍රවේශය. නූතන විද්‍යාඥයින්ට පවා මෙය ගැටලුවක් වෙලා තියෙනවා. සැබවින්ම මේ ප්‍රවේශය බලවේගයක්. ශක්තියක්. මරණයට පත් වෙනකොට සිරුරෙන් ඉවත්ව යන නාමකාය හෙවත් විඤ්ඤාණය, යළිත් මේ විදියට ගැබකට ඇතුල් වෙනවා. මෙසේ ගමන් කරන ශක්තිය ඒ ඒ ජීවිත වලදී ඉන්ද්‍රියන් හා අරමුණු ගැටීම නිසා එකතු කරගන්නා වූ බලය දිගින් දිගටම ගමන් කරනවා. නැති වන්නේ නැහැ. බෝසතාණන් වහන්සේ සසර පිරූ පාරමී ධර්මයන්ගේ ශක්තිය එකතු වූ නිසයි උන්වහන්සේට සම්බුද්ධත්වය අවබෝධ කරගන්ට පුළුවන්කම ලැබුණේ.

ඒ විදියට බැලුවම අප කවුරුත් සසර නමැති ගේ හදාගෙන තියෙන්නේ අප විසින්ම එකතු කරගන්නා ලද කුසලා කුසල ශක්තිය මතයි. වෙනත් අය විසින් නොවෙයි. ධර්මයේ සඳහන් වෙන ආකාරයට පුරුදුතාවයන්, ආදරය, වෛරය, සෙනෙහස, රුචි අරුචිකම්, දැන සිටි දෙය හා අත්දැකීම් හා අනුසය ලෙසින් හැඳින්වෙන නිවන් මගට බාධා පමුණුවන ශක්ති විශේෂයක්ද වෙයි.

බෝසත්වරයෙකු ලෙස සිටින අයෙකු තවත් වරෙක අමනුෂ්‍යයෙකුගේ ස්වභාවයටත් පත් වන්නේ වෙනත් කෙනෙකු නොව ඔහුගේ සිත විසිනි. අමනුෂ්‍යයෙකු ලෙසින් හැසිරෙන ඇතැම් අය බෝසත් වරයෙකු බවට පත්වන්නේද ඔහුගේ් සිත මෙහෙයවන ආකාරය අනුවයි. මිණී මරුවෙකු ලෙසින් ජනතාව බිය ගන්වමින් හැසිරුණු අංගුලිමාල ඒ ජීවිතය තුළදීම දකින්නන්ගේ සිත් පහදවන, සාන්ත ඉඳුරන් ඇති බොහෝ දෙනාගේ වැඳුම් පිදුම් ලැබීමට සුදුසු කෙනෙකු වූයේත්, ඔහු තම සිත යොදවා ගත් ආකාරය මතයි. ‘සුද්ධි අසුද්ධි පච්චත්තං, නාඤ්ඤ මඤ්ඤං විසොධයෙ’ යැයි වදාලේ එබැවිනි. කෙනකු පිරිසුදු අයෙකු කරන්නෙත්, දුර්ගුණ ඇති අයෙකු කරන්නේත් අන් කෙනෙකු නොව තමන් විසින්ම යැයි දැක්වූයේ එනිසායි. අප ජීවත්වෙන සමාජයේ හැම කෙනෙකුගේම සිරුර සැකසීමට බොහෝ දේ තිබේ. බොහෝ ස්ථාන තිබේ. හැම කෙනාම වගේ තම සිරුර ලස්සනට තබා ගැනීමට විශාල වියදමක් කරනවා. එහෙත් හිත පිරිසිදු කරන්ටත්, හිත සකසා ගන්ටත් තිබෙන ස්ථාන අඩුයි. එනිසා ප්‍රශ්න වැඩියි.

මේ බණට හේතු පාදක වූ නංගලකුල තෙරුන්ට තමන්ගේ ජීවිතේ යහමගට ගෙන, කෙලෙස් නැති කර රහත් බව ලබාගන්ට තරම් ශක්තියක් ලැබුණේ තමා විසින් තම සිත නිවැරැදි ලෙස මෙහෙය වූ නිසයි. අපි හැම දෙනාම හිතට මුල් තැන දී සිත නිවැරැදි කරගෙන ජීවිතය යහපත් මගට ගනිමු. ඒ තුළින් සදා සැනසීම ළඟා කරගත හැකි වේවි.

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]