ජාතික ආගමික ප්‍රබෝධයේ පුරෝගාමී
සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා
කලාභූෂණ, ආචාර්ය
සිරිපාල මාදුවගේ
ලක්දිව බෞද්ධ ප්‍රබෝධයේ පුරෝගාමියෙකු වූ අමෙරිකානු ජාතික සෙන්පති
හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා මෙරට පමණක් නොව ඉන්දියාව, ජපානය, මහා
බ්‍රිතාන්‍යය අමෙරිකාව ආදි රටවල් ගණනාවක මහත් ගරු සැලකිල්ලෙන්
අනුස්මරණයට පාත්‍ර වන්නෙකි.
මෙම පෙබරවාරි 17 දිනට එතුමාගේ අභාවයෙන් එක්සිය එක් වසරක් සපිරෙන්නේය.
1822 අගෝස්තු 02 දා අමෙරිකාවේ නිව් ජර්සියේ උපත ලද එතුමා කෘෂිකර්මයෙහි
අති දක්ෂයෙකි. නීතිඥයෙකු ලෙසත් සේවය කළ මෙතුමා පරාර්ථ සේවය සඳහා සියල්ල
අත්හැර සත්‍යය සෙවීමට, මනුෂ්‍ය වර්ගයාට සේවය කිරීමට සිය දිවියම කැප
කරන්නට විය. 1875 නොවැම්බර් 17 දින නිව්යෝර්ක් හි පරම විඥාානාර්ථ
ව්‍යාපාරය ඇරඹු එතුමා පසුව පෙරදිග රටවලද සාමකාමි සහෝදරත්වය හා සත්‍යය
පදනම් කරගත් පරම විඥාානාර්ථ ධර්මය පතුරුවාලීමට ඉන්දියාවටද ලංකාවටද
ආවේය.
වෙසක් පොහොය ආණ්ඩුවේ නිවාඩු දිනයක් කිරීම, බෞද්ධ පෙරහැරවල් පැවැත්වීමට
රජයෙන් අවසර ලැබීම, බෞද්ධ විවාහ පල්ලියේ ලියාපදිංචි කිරීම අත්හිටුවා ඒ
සඳහා බෞද්ධ ලෝකම්වරු පත් කිරීම, ආදි බොහෝ කරුණු ඉටු වූයේ ඕල්කොට්
තුමාගේ ඉමහත් පරිශ්‍රමය මතය.
මිෂනාරීන්ගේ බෞද්ධ විරෝධි ක්‍රියාකලාපයට ප්‍රතිප්‍රහාර ලෙස එතුමා
විසින් ඇරැඹු දහම් පාසල් අධ්‍යාපන සේවාව ජාතික සංස්කෘතික හර පද්ධතීන්
ආරක්ෂා කිරීමේ ප්‍රබල සේවාවක් විය. 1895 අගෝස්තු 03 දා ලක්දිව ප්‍රථම
දහම් පාසල ගාල්ලේ විජයානන්ද විහාරස්ථානයේ ඇරඹුණු අතර අද රට පුරාම දහම්
පාසල් සේවාව විහිදී ඇත්තේය. සැබවින්ම එහි අගය අති මහත්ය. බෞද්ධ
පුනරුදයට එතුමාගෙන් වූයේ සුවිසල් මෙහෙයකි.
ඕල්කට් තුමා හා ආණ්ඩුකාර සර් ආතර් ගෝඩන් මහතා සමග පැවති පෞද්ගලික සබඳතා
මත ලන්ඩන්හි යටත් විජිතභාර මහ ලේකම්වරයා හමුවීමට අවස්ථාව ලද ඕල්කට්
තුමා බෞද්ධ අයිතිවාසිකම් දිනා ගැනීමෙහි සෑම ප්‍රයත්නයක්ම දැරීය.
විශේෂයෙන්ම බෞද්ධ අධ්‍යාපන අයිතිවාසිකම් දිනා දීම මෙතුමාගේ සේවා අතර
කැපී පෙනෙයි. බෞද්ධ අධ්‍යාපන පිබිදීම සමග ජාතික සංස්කෘතියේ
පුනර්ජීවනයක්ද හටගත්තේය. දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පුනර්ජීවනයක් ද
හට ගත්තේය. ජාත්‍යානුරාගය වැඩූ එඩිතර දේශප්‍රේමී නායකයින් බිහි කළ
එතුමා අපේ දේශපාලන නිදහසේ පවා ආදි කර්තෘවරයෙකැයි හැඳින්වීම නිවරදය.
වාදිභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන්ගේ පානදුරවාදයේ වාර්තාව
කියවන්නට ලැබීම බුදුදහම හා සිරිලක ගැන එතුමන්ගේ පැහැදීමට හේතු විය.
ඕල්කොට්තුමා ලක්දිවට පා තැබූයේ 1880 දී ගාලු වරායෙනි. ගාල්ලට පැමිණි
පසු විජයානන්ද විහාරවාසී අහංගම ධම්මාරාම හිමියන් වෙතින් පන්සිල් සමාදන්
විය. එතුමා මහත් උනන්දුවෙන් බෞද්ධයින් විසින් පිළිගනු ලැබූබව ඕල්කොට්
දිනපොත දක්වයි.
‘මුහුදු වෙරළෙහිත්, ජැටියෙහිත්, රොක් වී සිටියහ. ඔවුන්ගේ සාදු නදින්
මුළු ප්‍රදේශයම ඒක නාද විය. ජැටියේ පඩි පෙළෙහි සිට අප කැඳවාගෙන යන්නට
පිළියෙළ කළ රථය දක්වාම පාවාඩ එළා තිබිණි. දහස් ගණන් ජනයා කොඩි ඔසවා
තිබුණු අතර ඇතැම්හු කොඩි වනමින් පිළිගත්හ’
බුදුසමය අන්ධ විශ්වාසයට ඉඩ නොදෙන්නක් හෙයින්ම ඒ පිළිබඳ සිත් යොමු විය.
‘විශ්වාසයක් වශයෙන් භාරගත යුතුම වූ එකම ධර්මයක් වත් බුදු සමයෙහි තිබිණි
නම් අප පන්සිල් නොගන්නවා පමණක් නොව ඉතා සුළු කලක් වත් බෞද්ධයින්ව
නොරැදෙන බව කිව හැකියි. අපගේ බුද්ධාගම ගෞතම බුදුන්ගේ බුදුසමය වෙයි’
(ඕල්කොට් දිනපොත 2 කාණ්ඩය)
බුද්ධාගම පිළිබඳව පැහැදිලි දැනීමක් ලබාදීම සඳහා එතුමා බෞද්ධ කතිකාවතක්
මහජනයා අතර ඇති කළේය. සිංහල බෞද්ධයින් වෙනුවෙන් එතුමාගෙන් වූයේ අනුපම
සේවාවකි. බෞද්ධ කොඩියක් නිර්මාණය කිරීම ගැන එතුමා දැක්වූ උනන්දුව මත
වර්තමාන බෞද්ධ කොඩිය බිහි විය.
ලංකාවේ පරම විඥානාර්ථ සමාගම පිහිටුවා බෞද්ධ අධ්‍යාපනය නංවාලීමට නොගත්
තැතක් නැත. 1880 - 1900 අතර බෞද්ධ පාසල් 142 ක් පිහිටුවීම සැළකිය
යුත්තකි. බෞද්ධ අධ්‍යාපනයට නව පණක් ළැබිණි. ක්‍රිස්තියානි ව්‍යාපාරය
අසාර්ථක විය. බෞද්ධයෝ සිය වගකීම් තේරුම් ගෙන දිවයින පුරා බෞද්ධ පාසල්
බිහි කරන්නට වූහ. ‘සරසවි සඳරැස’ ජනප්‍රිය බෞද්ධ පුවත් පත බවට පත්විය.
බෞද්ධ කාන්තාවනට අධ්‍යාපනයක් නොදී බෞද්ධ නිවාස හා සමාජය නගාලිය නොහැකි
බැව් තේරුම් ගත් ඕල්කට් තුමා 1899 මාර්තු 24 දා ‘නාර ශික්ෂාදාන සමිතිය’
නමින් බ්ලැව්ටිස්කි මැතිණිය හා පිකට් මැතිණියගේද සහායෙන් සමිතියක්
ඇරඹීය. පරම විඥානාර්ථ කටයුතු ගැන පැහැදුණු පිකට් මැතිණිය මරදානේ
ටිච්බෝන් මන්දිරයෙහි පිහිටවූ සංඝමිත්තා විද්‍යාලය නම් ප්‍රථම බෞද්ධ
කාන්තා විද්‍යාලයෙහි අධිපතිනිය වූවාය.
බෞද්ධ පාඨශාලා පිහිටුවීම සඳහා සිංහල ජාතියට අයිති බෞද්ධ අරමුදලක්
ඕල්කට් තුමා විසින් අරඹන ලදී. (Sinhalese National
Fund) බෞද්ධ පාසල්
හි පොත පත ගැන දැඩි සැලකිල්ල දැක්වූ එතුමා විසින් ග්‍රන්ථ 30 ක් පමණ
ලියා ඇත.
ජීවිතයේ විවිධ අවස්ථාවන්හිදි විවිධ අත්දැකීම් ලබමින් අදහස් හා ධෛර්ය
සම්පන්න භාවය ගැබ්ව තිබුණු පුවත්පත් කලාවේදියෙකු, යුද්ධ සේනාධිපතියෙකු,
නීතිඥයෙකු, අධ්‍යාත්මික නායකයෙකු ආදි විවිධ කාර්යයන්හිදී දක්ෂතා
පෙන්වමින් යෙදී සිටි ඕල්කට් තුමාගේ ජීවිතය ආදර්ශවත් කරුණු වලින්
පරිපූර්ණ වූයේය.
උපතින් අමෙරිකානු ජාතිකයෙකු වුවත් එක රටකට පමණක් සීමා කළ නොහැකි ලෝක
පුරවැසියෙකි.
වර්ෂ 1906 සැප්තැම්බර් 25 දා එක්සත් ජනපදයෙන් ඉවත්ව ලංකාවට එද්දී නැවේ
තරප්පුවකින් වැටී රෝගී බවට පත්ව නොවැම්බර් 24 දා ලංකාවට පැමිණි නමුත්
රෝගී බව නිසා මදුරාසියේ අඩයාර් වෙත කැඳවා ගනු ලැබීය. 1907 පෙබරවාරි 17
හා මේ ශ්‍රේෂ්ඨ වීරයා බෞද්ධ ධර්මයේ අනිත්‍යතාවය පසක් කරමින් අවසන්
හුස්ම හෙළීය.
මෙරට ජාතික, ආගමික, අධ්‍යාපනික ප්‍රබෝධයේ කිසිවිටෙකත් අමතක නොවන මේ
ශ්‍රේෂ්ඨ ජාතික වීරයා ලාංකික ජනතාවගේ හදවත්හි සදානුස්මරණය වන්නේය. |