UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධර්ම දේශනාව

ප්‍රගතියේ පදනම

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

“න භජෙ පාපකෙ මිත්තේ
නභජෙ පුරිසාධ මේ
භජෙථ මිත්තේ කල්‍යාණේ
භජෙථ පුරිසුත්තමේ “

පින්වත්නි,

ලොව උතුම් ම දානය වනුයේ ධර්ම දානය බව, විටෙක භාග්‍ය වත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සක් දෙවියන් අරභයා දෙසූ සේක. එබැවින් බුදුසරණ පුවත් පත මගින් ඉදිරිපත් කරනු ලබන ධර්ම දේශනා මාලාව සැම දා පින් වැඩෙන මහා පින්කමකි. ඒ මහා පින්කමට ඔබත් එක්වී සිටීම ඔබ ට මෙලොව පරලොව සැනසුමට සසර කෙටි කර ගන්නට එය මොන තරම් සහනයක් දැයි උපකාරයක්දැයි ඔබ මදක් සිතන්න. ධර්මානු ධර්ම ප්‍රතිපත්ති වලට අනුව කටයුතු කරන විට ධර්මයෙන්ම ආරක්‍ෂාව රැකවරණය ගෙන දෙන බව මහා ධම්මපාල ජාතකයේ දී බුදුරජාණන් වහන්සේ ලොවට දේශනා කළ සේක.

ලොව පහළ වූ ශාස්තෘන් අතුරින් පුද්ගලයාගේ අභිවෘද්ධියටත් සමාජයේ සාමූහික පැවැත්මටත් සුවිශේෂ කරුණු රැසක් ඉදිරිපත් කරනු ලැබුවේ තුන් ලොවක් දම් රසයෙන් සනහා වදාළ ගෞතම ශාක්‍ය මුනින්ද්‍රයන් වහන්සේ විසිනි. ඒ අතුරින් මිතු දහමට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකි. ඊට හේතුව සමාජය සාමුහිකත්වයෙන් බැඳුන මිත්‍රත්වය පදනම් වූ සංස්ථාවක් වීමයි.

බුදුසමයෙන් ලැබිය හැකි උසස්ම ප්‍රතිඵල ආශ්‍රය , මිත්‍රත්වය තුළින් ලද හැකි බව පෙන්වා දී ඇත. සමාජ විද්‍යාඥයන්ගේ පිළිගැනීම අනුව ද මිනිසා සමාජශීලි සත්වයෙකි. ඔහුට ඇත්තේ සාමූහික මනසකි. පෞරුෂ වර්ධනයට ද ආශ්‍රය බලපාන අතර, ගිරාපෝතක කථාවෙන් එය කදිමට එළිදරව් වෙයි. අධ්‍යාත්ම සංවර්ධනයට , සමාජ සංවර්ධනයට ආශ්‍රය තුළින් ලැබෙන ප්‍රයෝජනය අති මහත් ය.

මංගල සූත්‍රයේ සඳහන් වන පරිදි මිනිසාගේ ලෞකික දියුණුවේ සිට ලෝකෝත්තර දියුණුව දක්වා ගත යුතු ක්‍රියා මාර්ග විස්තර කරනු ලබයි. මිනිසාගේ අධ්‍යාත්මික ගුණවගාවත් සමාජ පරිසරයත් ක්‍රමයෙන් වර්ධනය වන අයුරු දක්වයි. එහි මුලින්ම දක්වා ඇත්තේ ආශ්‍රයයි. අසෙව නා ච බාලානං ..පණ්ඩිතානංච සෙවනා..යන මංගල කරුණු දෙකින්ම ආශ්‍රය පුද්ගල දියුණුවට හා පරිහානියට බලපාන අයුරු විස්තර කර ඇත. බාලයන් ආශ්‍රය නොකරන ලෙසත් පණ්ඩිතයන් ආශ්‍රය කරන ලෙසත් විස්තර කරයි. සද්ධා ශීල ත්‍යාග ප්‍රඥා යන ගුණ වලින් යුක්ත වූ තැනැත්තා මිත්‍රයෙකු ලෙස දක්වා ඇත. සිඟාලෝවාද සූත්‍රය තුලින් ද මිත්‍රත්වය ආශ්‍රය හොඳින් විස්තර කර ඇත. පාප මිතුරන් සතර දෙනෙකුත් කළ්‍යාණ මිත්‍රයන් සිව් දෙනෙකුත් පිළිබඳ විස්තර කර ඇත. මව්පියන් දූ දරුවන් ඇතිදැඩි කරන විට පළමු ව පවෙන් වළක්වා හොඳ අය ආශ්‍රයට අවස්ථාව ලබා දිය යුතු බව සිඟාලෝවාද සූත්‍රයෙන් පැහැදිලි කර ඇත.

මාතෘකා ගාථාව මගින් විස්තර කරනු ලබන්නේ පවිටු මිතුරන් ඇසුරු නොකරන්න අධම පුරුෂයන් භජනය නොකරන්න. කළන මිතුරන් ඇසුරු කරන්න. උත්තම පුරුෂයන් ආශ්‍රය කරන්න. ආශ්‍රය කළ යුතු නොකළ යුතු පුද්ගලයන් පිළිබඳවද ධම්මපද පාලියේ එලෙස විස්තර කර ඇත.

දුදනයන් හා එක්වීම අත් හරින්න. සත් පුරුෂයන් හා එක්වන්න. තමන්ට ආශ්‍රය නිශ්‍රයට සුදුස්සෙකු නොවන්නේනම් තනිව හුදකලාව විසීම උසස් බව විටෙක බුදුරජාණන් වහන්සේ ධම්මපද පාලියේදී විස්තර කර ඇත.

‘ චරං චේ නාධි ගච්ඡෙය සෙය්‍යං
සදිස මත්තනෝ
එකචරියං දල්හං කයිරා
නÀථි බාලේ සහායතා

....ගුණ දහමින් පහත් අය ඇසුරු කරන්නා පිරිහේ ගුණ දහමින් තමා හා සමානවූවන් අසුරු කරන විට පිරිහීමක් වන්නේ නැත. ගුණ දහමින් උසස් කෙනෙකු අසුරු කරන්නා දියුණුවට පත්වේ. එබැවින් පින්වතුනි තමන්ට වඩා උසස් ගතිගුණ ඇත්තෙකු ඇසුරු කිරීම තම ජයග්‍රහණයට බලපාන බව සැලකිය යුතුයි. නූගත් මිතුරා ට වඩා සතුරා හොද බව ජාතක පාලියේ දැක්වේ.

පුත්‍රයා අවුරුදු පහක් සුරතල් කළ යුතුය , දස වර්ෂයක් දක්වා දඩුවම් කළ යුතුයි. කෙළෙස් බිය පැමිණි කල් හි මිතුරෙකු ලෙස ආශ්‍රය කළ යුතුය. මෙහි දඬුවම් කළයුතු යැයි සදහන් කළේ වරදින් වළකා ගැනීමයි. මෙය ද ආශ්‍රය පිළිබඳව කරනු ලබන ඉගැන්වීමකි. මේ ඉගැන්වීම ඉපැරණි භාරතීය ෂඩ්වරයෙකු වන චාණක්‍ය ෂඩ්වරයාගේ ප්‍රකාශයක් . පරිපූර්ණ මිත්‍ර ධර්ම ඇති විය හැක්කේ යහපත් අය අතරේ පමණක් බව ඇරිස්ටෝටල් වරක් ප්‍රකාශ කළේය. මුළු ලොවම උරුම වුනත් මිතුරෙකු නොමැතිනම් නීරස බව එතුමන් සඳහන් කළා. මිත්‍ර ධර්මය නොමැතිව නිර්භයවත් පී‍්‍රතියෙනුත් වාසය කළ නොහැකි බව එෂිකියුරස් විශ්වාස කළේය. මිත්‍රයාට ද්‍රෝහී නොවී ඇසුරු කිරිමේ අගය මිත්තානිසංස සූත්‍රයේ සඳහන් කරයි. ගිය ගිය තැන සම්මානනයට පත්වන බවත් ආදරය විශ්වාසය දිනා ගන්නා බවත් දෙලොව ජය ගන්නා බවත් එහි විස්තර කර තිබෙනවා. ඒ අනුව ආශ්‍රය තුළ ඇත්තේ මෛත්‍රියයි කරුණාවයි ආදරයයි . එහි ප්‍රතිඵල වශයෙන් සුවසේ නිදයි, සුවසේ අවදිවෙයි, නපුරු සිහින නොදකී. වස විෂ ගිනි විපත් නොම වේ ආදි වශයෙන් ආනිසංස 11 ක් ලැබෙන බව මිත්තානිසංස සූත්‍රයේ දක්වා ඇත. එම නිසා පින්වතුනි ඔබද ඔබේ දූ පුතුන් ද හොඳ ආශ්‍රයක් ලබා ගෙන දෙලොව ශාන්තිය සලසා ගන්නට උත්සුක වන්න.

ඔබ සැමට තෙරුවන් සරණින් සියලු යහපත උදාවේවා !

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]