UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

අයිතිවාසිකම් හා යුතුකම්

අප රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වැඩ වර්ජන පිළිබඳ ව අමුතුවෙන් කතා කළ යුතු නැති තරම් ය. එය ඒ තරම් ම සාමාන්‍ය තත්ත්වයක් බවට පත් ව තිබේ. එහෙත් පසුගිය 04 හා 05 යන දෙදින පැවැති සෞඛ්‍ය සේවක වර්ජනය ගැන එ සේ කිව නො හැකි ය.

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ තීරණයට එරෙහි ව සෞඛ්‍ය සේවකයන් නිරත වූ එම වැඩ වර්ජනය කරුණු කිහිපයක් නිසා වැදගත් ය. එම වැඩ වර්ජනය රෝගීන්ට බලවත් අසාධාරණයක් යැයි හදවත් රෝගියකු වන හෙට්ටිආරච්චි රුවන් ධම්මික මහතා කොළඹ දිසා අධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කැර තිබිණ. ඒ අනුව එම වැඩ වර්ජනය අහෝසි කැරෙන ලෙස දිසා විනිසුරු සිසිර රත්නායක මහතා දෙසැම්බර් මස 03 වන දා නියෝග කළේ ය. එම අධිකරණ නියෝගය නො සලකා වැඩ වර්ජනය පැවැති අතර, එ සේ වර්ජනයේ නිරත වූ ටී. එම්. සෝමරත්න මයා හා ඩී. අසංක මයා අත්අඩංගුවට ගෙන තිබේ.

වැඩ වර්ජනවලට එරෙහි අධිකරණමය කි‍්‍රයා මාර්ග පිළිබඳ අත්දැකීම් ශ්‍රී ලංකාවට පමණක් සීමා වී නැත. 2005 දෙසැම්බර් මස නිව්යෝර්ක් නුවර පැවැති ප්‍රවාහන වැඩ වර්ජනය එ වැනි එක් සිද්ධියකි. උමං දුම්රිය හා බස් මගී සේවා සම්පූර්ණයෙන් බිඳ වැටුණු එම වැඩ වර්ජනය නිසා හැත්තෑ ලක්ෂයක් පමණ මගී ජනතාව දැඩි අපහසුතාවට පත් වූ හ. එම ගමනාගමන වැඩ වර්ජනය සමථයකට පත් කිරීම සඳහා දින එකොළහක් ගත විය. නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණය එය නීති විරෝධී වැඩ වර්ජනයක් යැයි තීරණය කොට ඊට නායකත්වය දුන් වෘත්තීය සමිතියට දිනකට ඩොලර් දශ ලක්ෂය බැගින් දඩයක් නියම කළේ ය. නීති විරෝධී යැයි ප්‍රකාශ කැර තිබිය දී වැඩ වර්ජනයක නිරතවීම අධිකරණයට කළ අපහාසයක් යැයි තීරණය කිරීම එ සේ දඩ ගැසීමට හේතු විය.

නිව්යෝර්ක් නගරාධිපති මයිකල් මුචිබර්ග් එම වැඩ වර්ජනය හැඳින් වූයේ ආත්මාර්ථකාමී සහ ලජ්ජාසහගත මැර ක්‍රියාවක් ලෙස ය. පසුගිය දා පැවැති සෞඛ්‍ය සේවක වැඩ වර්ජනය ගැන කතා කිරීමට හේතුව එය නීති විරෝධී හා ලජ්ජාසහගත මැර ක්‍රියාවක් බව කීමට නො වේ. අප ගේ අරමුණ ඊට වඩා බොහෝ සෙයින් වෙනස් ය.

සිය ඉල්ලීම් දිනා ගැනීම සඳහා වැඩ වර්ජනය කිරීමට සේවකයන්ට ඇති අයිතියට අපි ගරු කරන්නෙමු. එ පමණක් නො ව මහජන සේවාවන් නිසි පරිදි පවත්වා ගෙනා යෑම සඳහා රජය ගන්නා උත්සාහයට අප ගේ උපරිම සහයෝගය ලබා දෙන බව ද කිව යුතු ය. එහෙත් මෙ ලෙස අයිතිවාසිකම් හා වගකීම් ගැටෙන විට අප කුමක් කළ යුතු ද?

අප මෙහි දී අවධානය යොමු කැරෙනුයේ අයිතිවාසිකම් හා වගකීම් සමඟ සලකා බැලිය යුතු වැදගත් ම කාරණය වන යුතුකම් පිළිබඳ ව ය. සිය අයිතිවාසිකම් දිනා ගැනීමේ දී වූව ද සේවකයන්ට පැවැරී තිබෙන යුතුකම් අමතක කිරීම වරදකි. මහජන සේවා පවත්වා ගෙන යෑමේ වගකීම් සමඟ ම සේවකයන් වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකම් කොටස ගැන ද පාලකයන් සිතා බැලිය යුතු ය.

මේ සියලු පාර්ශ්වයන් හි වගකීම් හා යුතුකම් ගැන කතා කිරීමේ දී අපට වැදගත් වනුයේ නීතිය ම නො වේ. නිව්යෝර්ක් ශ්‍රේෂ්ඨාධිකරණය මෙන් නීතිය උපරිම අයුරින් ක්‍රියාත්මක කැර විශාල දඩ මුදල් හෝ වෙනත් දඬුවම් නියම කළ පමණින් ප්‍රශ්නය නො විසැඳේ. මන්ද යත්, යුතුකම් ඉටු කිරීමේ දී නීතියට වඩා මානව දයාව හා අවංකභාවය වැදගත් වන බැවිනි. නීතියට ළඟා විය නො හැකි ඒ උස් කඳු මුදුන බුදු දහමට ඉතා සමීප ය.

සියලු මනුෂ්‍යයන් ගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම පිණිස නීති රීති හඳුන්වා දිය හැකි ය. එහෙත් නීති රීති මඟින් මිනිස්කම ඇති කළ නො හැකි ය. වැඩ වර්ජන නතර කිරීම පිණිස අධිකරණය වෙත යෑමට මෙන් ම අධිකරණ නියෝග නො සලකා වැඩ වර්ජන සිදු කිරීම ද දක්නට ලැබෙන්නේ එ හෙයිනි.

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]