UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ලාභ මදය

ශාස්ත‍්‍රපති මීගස්තැන්නේ රතනජෝති හිමි

“අහං ලභී, අවසේසා, සත්තා අප්පලාභා මයිහං පත ලාභස්ස පමාණං නත්ථිති උපපත්නො මාතො”

හොඳට ලැබෙන්නේ මට පමණ ය. අන් අය අල්පලාභීය. මගේ ලැබීමේ ප‍්‍රමාණයක් - සීමාවක් නැතැයි ඇති කර ගන්නා මානය, ලාභ මදයයි.

“ ලැබීම විවිධාකාරය, කොතෙක් උත්සාහ කළත් කිසිත් නොලැබෙන්නේ මෙන්ම ඉතා මඳ උත්සාහයකින් මහත් සේ ලැබෙන්නෝද සිටිති. භාර හාර වී බලිතොවිල් නටා, බිලි පූජාදී, බෝධී පූජා තබා, නැකැත් බලා සුර පලදා මැණික් ගරන්නට යන අයට වඩා , ඒ කිසිත් නොකොට යන අයට, ඉක්මනින් මෙන්ම විශාල වශයෙන් ලැබේ. සමහර විට එසේ ලැබෙන දේවල් ඉක්මනින් විනාශ කර ගන්නා අවස්ථාද තිබේ. එසේ වන්නේ සම්පත් වලින් උදම්වීම නිසාය. ලැබීමේ හැටි එහෙමයි.

සමහර කෙනකුට පූර්වකෘත කුසල කර්ම බලයෙන් යම් යම් දේ ලැබේ. තවත් අය අලසකම දුරුකොට උට්ඨාන වීය¸ය උපදවා කටයුතු කිරීමෙන් ධන ධාන්‍යාදී සම්පත් ලබා ගනිති. පෙර පිනකට ලැබෙන සම්පත් සමහරු අවිචාරවත් කටයුතු කිරීමෙන් විනාශ කර ගනිති.

කුහක පිළිවෙත් තුළින් මිනිසුන් රවටා සම්පත් භුක්ති විඳින්නෝ ගිහි පැවිදි දෙපාර්ශ්වයෙහිම සිටිති. පෙර පිනෙන් ලැබෙන දේ සහ උට්ඨාන වීර්යයෙන් දැහැමිව ලැබෙන සම්පත් පමණකි. බුදුදහම අනුමත කරන්නේ , එවැනි සම්පත් වලින් කොටසක් දුගී මගී යාචක ශ‍්‍රමණ බ‍්‍රාහ්මණාදීන්ට නොදී මවුපියන් පෝෂණයද නොකොට තවතවත් මත් වේ නම් කුමන අභාග්‍යයක්ද? තමන් අල්පලාභීන් හා සසඳා අහංකාර නොවී මෙයින් කොටසක් පිනට දහමට යෙදූ විට ලබන ආත්ම වලදී මීට වඩා ලැබෙන බව සිතීමට බුද්ධිය පහළ නොවන විට, වන්නේ, මේ ආත්මයත් අවාසනාවන්ත වී ඊළඟ ආත්මයේ අල්පලාභී වීමයි.

ලැබීමත් පියවරෙන් පියවර සිදු නොවී එකපාරටම විශාල ධනයක් හිමිවීමත්, එම සම්පත් පාලනයක් සහිතව භුක්ති විඳීමට අවශ්‍ය මූලික දැනුම නැතිවීමත් දැනුම ඇත්තන්ගෙන් උපදෙස් නොවීමසීමත් නිසාත් එම උපදසේ පිළිනොපැදීම නිසාත් විනාශ වූ අවස්ථා කොතෙකුත් ඇත. සම්පත් ඉපැයීමේ දුක, වෙහෙස නොදැනෙන විට එම ධනය අරපිරිමැස්මෙන් යුතුව පාලනය කරගත හැකි නොවේ. මවුපිය , මීමුතු පරපුරෙන් ලැබෙන ධනය ඊළඟ පරපුර ඉතා ඉක්මනින් විනාශ කොට සිඟමනට වැටෙන්නේ එම සම්පත් ඉපයීමේ දුක නොතේරීම නිසා ය. දෑතේ වීර්යයෙන් දහදිය හෙළීමෙන් දැහැමින් ලබන ධනය බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනා කරන ලද්දේ ඒ නිසාය.

ලැබීම යනු මිල මුදල් යන වාහන ඉඩ කඩම් ආදී භෞතික සම්පත් පමණක් නොවේ. තනතුරු නම්බුනාම කීර්ති ප‍්‍රශංසා ආදිය ලැබෙන විටද අහංකාර වී තමා මුලින් සිටි තත්ත්වය ඉතා ඉක්මනින් පමණක් නොව ජීවිතයට ඉතාම සමීප මවුපිය සහෝදරාදීන් පවා නොසලකා හරින තරමට මත් බව උග‍්‍ර වෙයි.

තමන්ගේ තනතුරට , තමන් ඇසුරු කරන සමාජයට නොගැලපෙතැයි සිතා මවුපියන් මහලු මඩම් වලට යවන්නට පෙළඹෙන්නේද මේ මත් බව නිසා ය. ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණවලින් යුත් පිරිසුදු උගත් අය පසුපස තනතුරු කීර්ති ප‍්‍රශංසා ගලා එන අතර, තවත් පිරිසක් ඒවා ලබා ගැනීමට අධික මිල ගණන් වැය කරති.

ලැබීම කාටත් අවශ්‍යය. භික්ෂූන්ද ප‍්‍රත්‍යලාභී විය යුතු ය. ඒ භාවනාදී ප‍්‍රතිපත්ති පිරීම සඳහා ශරීරය පවත්වා ගැනීමට ය. පිණ්ඩපාතය වැළඳීමේදී ශරීර මදය, අලංකාරය වැඩීම පිණිස එය නොවළැදීමයි.

ප‍්‍රත්‍යවේක්‍ෂ කරන්නට අනුදැන වදාළේ එහෙයිනි. බුදුරජාණන් වහන්සේටත් වඩා සිව්පසය ලැබුණු කෙනෙකි, සීවලී රහතන් වහන්සේ. තුන් ලොවටම අසහාය අද්විතීය ශාස්තෘවරයාණන් වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේටත් වඩා තමන්ට ලැබෙන විට මත්නොවන්නට තරම් ප‍්‍රාඥ වූ නිසා සත් හැවිරිදි වියේදීම රහත් වන්නටද හැකි විය. දුර්භික්ෂ කාලයකදී මහා වන මැදදී සීවලී රහතන් වහන්සේ නිසා දෙවියන් පැමිණ කළ පුද සත්කාර හේතුවෙන් ප‍්‍රත්‍යලාභීන් අතුරෙන් අග තනතුරද බුදුරජාණන් වහන්නේ වෙතින් ලබා ගත්හ. (ඒතදග්ගං භික්ඛවෙ මම සාවකානං භික්ඛූනං ලාභීනං යදිදං සීවලී )

දසුත්තර සූත‍්‍රයට අනුව තණ්හාව මූලික කොට ඇතිවන ප‍්‍රතිඵල වැලක, ලාභයද එකකි. එහි අවසානය, බොරුකීම , කේලාම්කීම ආදිය හා දුක් කම්කටොලු වළින් යුක්තය. (තණ්හං පටිච්ච පරියෙසං පටියෙසනං පටිච්ච ලාභො “ දී. නි. දසුත්තර සුත්ත) මෙය පටිච්ච සමුප්පාද ධර්මය විස්තර කරන තැනක් වුවත්, මත් නොවූවත් ලැබීම යනු අවසානයේ දුකටම හේතුවන්නාක් බව තේරුම් ගත යුතුය. ධර්මාවබෝධය නැති තැන ලැබීම වැඩිවන තරමට අණසක විධිවිධාන සැලසීම් සේවක සේවකාදීන් යෙදවීම් තුළින් දුකද, වගකීම් ද, අසහනයද හිතේ බරද වැඩිවන අතර ලැබීම අඩුවන විට ඇතිවන මානසික සැහැල්ලුවද වැඩිය.

බිනර පුර අටවක

බිනර පුර අටවක පෝය
සැප්තැම්බර් 19 වන දා බදාදා පුර්වභාග 09.29 ට ලබයි. 20 වන දා බ‍්‍රහස්පතින්දා  පූර්වභාග 10.55 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 19 වන දා බදාදා ය.

මී ළඟ පෝය සැප්තැම්බර්
26 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 19

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 26

Second Quarterඅව අටවක

ඔක්තෝම්බර් 03

New Moonඅමාවක

ඔක්තෝම්බර් 10

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]