[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ශාසනමාමක ධර්ම විනයධර අතිපූජ්‍ය මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණෝ

ශාසනමාමක ධර්ම විනයධර අතිපූජ්‍ය මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණෝ

මාවරගල ආරණ්‍ය සේනාසනාධිපති ව වැඩ විසූ අතිපූජ්‍ය ඥානාභිවංශ සද්ධර්ම කීර්ති ශ්‍රී, කම්මට්ඨානාචාර්ය, සද්ධර්ම වාගීශ්වර, ධර්මවිශාරද, විචිත්‍රභාණී, සාමවිනිසුරු, නැඟෙනහිර පළාතේ ප්‍රධාන සංඝ නායක, බ/ශ්‍රී ඥානප්‍රදීප පරිවේණාධ්‍යක්‍ෂ මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේගේ සංක්‍ෂිප්ත අපදානය යි මේ.

මීගහකිවුලේ සුගතවංස නාහිමිපාණන් වහන්සේ බින්තැන්න පළාතේ විහාරස්ථාන ගණනාවක් ඉදිකරමින්, දහම්පාසල් ඇති කරමින්, බින්තැන්නේ පිරිවෙන් අධ්‍යාපන ආයතනයක් පළමු වරට ආරම්භ කර ශාසනමාමක - විනයධර - ධර්මධර උගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ 276ක් සම්බුද්ධ ශාසනයට දායාද කළ, ගිහි දරුවන් විශාල ප්‍රමාණයකට පිරිවෙන් අධ්‍යාපනය ලබා දෙමින් ජාතික, ආගමික, සංස්කෘතික, ශාසනික හා අධ්‍යාපනික වශයෙන් මහත් යුග මෙහෙයක් ඉටු කළ මහ තෙරනමකි. වෛද්‍යාචාර්ය දිසානායක මුදියන්සේලාගේ තිසාහාමි සහ දිසානායක මුදියන්සේලාගේ උක්කුමැණිකා යන දෙපළගේ හයවැනි දරුවා ලෙස ක්‍රි.ව. 1940 ඔක්තෝබර් 20 වැනි දින මීගහකිවුල කන්දකැටිය ප්‍රදේශයේ දී උපත ලැබූ මීගහකිවුලේ සුගතවංශ නාහිමිපාණන් වහන්සේ මූලික හා ද්විතීයික අධ්‍යාපනය ලබා ඇත්තේ මීගහකිවුල රජයේ පාසලෙනි.

ක්‍රි.ව. 1967 ඔක්තෝබර් මස විසිවැනි (20) දින වැලිමඩ ඥානවංශ මහතෙරුන් වහන්සේගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් කන්දකැටිය ගංගාරාමයේ දී උතුම් ප්‍රවෘජ්‍යාවට පත් විය. 1968 වර්ෂයේ ජුලි මස පළමු දින අම්බලම්ගොඩ, මාදම්පාගොඩ, උදකුක්ඛේප සීමාමාලකයේ දී කළුතර පුලිනතලාරාම මහාවිහාරාධීශ්වර අග්ගමහා පණ්ඩිත බේරුවල ශ්‍රී සුමංගල සිරිනිවාසාභිධාන අමරපුර නිකායේ මහානායක ස්වාමිපාදයාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා අම්බලම්ගොඩ ශාස්ත්‍රෝදය පිරිවෙණේ පරිවේනාධිපති අම්බලම්ගොඩ ධම්මකුසල අධිකරණ සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත්, පණ්ඩිත අම්බලම්ගොඩ පඤ්ඤාවංස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත්, මොරකැටිආරේ ශාසනධජ මහ තෙරුන් වහන්සේගේත් කර්මාචාර්යත්වය ලබමින් අධිශීල සංඛ්‍යාත උතුම් පැවිදි උපසම්පදා සීලය ලබා තිබේ.

ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් ආයුර්වේද ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් මාවරගල ආරණ්‍ය සේනාසනයේ පිහිටුවා පවත්වා ගෙන ගිය සුගතවංශ නාහිමිපාණෝ ප්‍රදේශයේ පැවැති උග්‍ර ජල හිඟය විසඳීමට ස්ථිර විසඳුමක් ලබා දුන්හ. තව ද මාවරගල ආරණ්‍ය සේනාසනයටත්, දේශවාසීන්ටත් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කළහ. දුප්පත් පවුල් සඳහා නිවාස ඉදිකර දුන්හ. රාජ්‍ය හා රාජ්‍ය නොවන සමිති සමාගම්වල ප්‍රධාන අනුශාසක ධුරය දරමින් ධර්මානුශාසනා පැවැත්වූහ. මාවරගල ආරණ්‍ය සේනාසනයේ දායක සභාවේ සභාපති ආදිවාසී නායක විශ්වකීර්ති වනස්පති ඌරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධාන දායකත්වයෙන් ආදිවාසි ජනඋරුම බෞද්ධ මධ්‍යස්ථානය ඇතුළු බින්තැන්න පළාතේ විහාරස්ථාන දහහතක් (17) බිහි කළහ.

ඒ හැම විහාරස්ථානයක සංඝාවාස-ධර්මශාලා-ළිං-වැසිකිලි-කැසිකිලි ආදී විහාරාංග ඉදිකිරීමට පූර්ණ අනුශාසකත්වය හා දායකත්වය ලබා දෙමින්, දහම් පාසල් ආරම්භ කරමින් ධර්ම ශාස්ත්‍රයෙන් සුපෝෂිත, ගුණගරුක දැහැමි සමාජයක් බිහි කිරීමට දිවා රාත්‍රි වෙහෙස වී කටයුතු කළහ. හැම වසරකම කඨින පින්කම් සාර්ථක කර දීමට එම විහාරස්ථානවලට වැඩම කළහ. ගමනාගමන පහසුකම් දුෂ්කර සමයේ වුව සැතැපුම් ගණන් පා ගමනින් වැඩම කරමින් සියගණන් ධර්ම දේශනා, පාංශුකූල ධර්ම දේශනා, මහ පිරිත්- සෙත් පිරිත් දේශනා සිදු කළහ. රෝගීන්ගේ සුව දුක් විමසමින් නිරතුරු ව පිහිට වූහ. කුසට පිණ්ඩපාතය නොමැති ව, කරකොළ-කරවිල, ගැට-කැලෑ බිම්මල් ආදිය වළඳමින්, අලි-කොටි-වළසුන් සහ විෂකුරු සර්පයන්ගෙන් පීඩා විඳිමින් දේශීය හා විදේශීය වශයෙන් කීර්තියට පත්, දහස් ගණන් සැදැහැවතුන්ගේ සිත් සතන් නිවා සනහාලන මාවරගල පුද බිම අවුරුදු පන්දහසක් පවතින සේ සංවර්ධනය කර අවශ්‍ය කටයුතු සූදානම් කළහ. කැලෑවට-ගහ වැලට-සතා සිව්පාවාට-ඇළ දොළට දැඩි ඇල්මක් දැක්වූ නාහිමිපාණන් වහන්සේ මාවරගල භූමිය වන රක්ෂිතයක් බවට පත් කරමින් අනාගත ලෝකයට ස්වභාවික පරිසරය දායාද කළහ. අවංක හා අව්‍යාජ, මිත්‍රශීලි බවක් ප්‍රදර්ශනය කළ, හොඳ මතක ශක්තියක් උරුම වූ, වෙදකමට හා ඡ්‍යොතිෂ්‍යයට උපන් හපන් දස්කම් ප්‍රකට කළ, මැහුම් ගෙතුම් පිළිබඳ සහජ හැකියාවකින් පිරිපුන්, සිල්වත් ව, ගුණවත් ව, අල්පේච්ඡ හා සැහැල්ලු ගති පැවතුම්වලින් යුක්ත, තියුණු බුද්ධියකින් කටයුතු කළ මීගහකිවුලේ සුගතවංශ අප ගුරුදේවෝත්තමයන් වහන්සේ භාවනානුයෝගී ජීවිතයක් ගත කරමින් වර්ෂ අසූ තුනක් ආයු වළඳා (83) ලොව සියලු සංස්කාර ධර්ම අනිත්‍ය බව පසක් කරමින් ව්‍යවහාර වර්ෂ දෙදහස් විසිතුනක් වූ (2023) නොවැම්බර් මස 15 වැනි දින අපරභාග හයට (ප.ව.6.00) පමණ මනා සිහි නුවණින් යුක්ත ව අපවත් වී වදාළෙන් උතුම් නිර්වාණ සම්පත්තිය හා පරලොව සුගතිය වෙනුවෙන් කෘත ගුණ හඳුනන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ හා දායක පින්වතුන් විසින් බොහෝ පුණ්‍ය කටයුතු සංවිධානය කර ක්‍රියාත්මක කරනු ලැබේ. අප ගුරුදේවෝත්තමයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් ලබා ගැනීමට අප කරන පින් දිවා-රෑ අනුමෝදන් වේවා!

ඉල් අව අටවක

 නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06.14 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 ගෙවේ. 23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]