[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක පෝ දා 2024-11-23

තමන් හඳුනාගැනීම

තථාගත ශ්‍රී සද්ධර්මය ඥානවන්තයින් සඳහා මිස අඥානයින්ට නොවේ. ඥානවන්තයෝ ධර්මය දැන ඉගෙන, එය උගත්කමට පමණක් සීමා නොකොට, තමන්ගේ ජීවිතයට ග්‍රහණය කර ගන්නෝ ය. එවැනි පුද්ගලයාගේ ඒකායන අරමුණ තමන් තුළ වන කෙලෙස් ක්‍රමයෙන් ප්‍රහීණ කරමින් බෞද්ධයාගේ පරම අභිලාෂය වන උතුම් නිවන් මඟට පැමිණීම ය.

අප තථාගතයන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින සමයෙක ශාරිපුත්‍රයන් වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා දේශනා කළ සූත්‍රයකි මජ්ක්‍ධිම නිකායේ අනඞගණ සූත්‍රය. අනඞගණ නම් කාම වශයෙන් සිතෙහි හට ගන්නා පාප ධර්ම නොමැති බවයි. එහිදී උන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙම සූත්‍රය දේශනා කළ ද ගිහියන්ට ද තමන් කවරාකාරයේ පුද්ගලයෙක් දැයි දැන විමසා බලමින් නිවැරැදි මාර්ගයට ප්‍රවිශ්ටවීමට එය මා හැඟි සදූපදේශයකි. උන්වහන්සේ මෙම සූත්‍ර දේශනාවේ දී පුද්ගලයන් සතර දෙනෙක් පිළිබඳ දේශනා කොට වදාළහ. ඉන් පළමුවැන්නා, තමන් තුළ දැඩි කෙලෙස් සහිත වූයේ වුව ද තමන් තුළ එසේ දැඩි කෙලෙස් ඇතැයි තතු සේ නොදන්නා පුද්ගලයා ය.

මොන තරම් දානමානාදී පින්කම් කළ ද තමන් මෙවැනි කෙනෙක් නම් ඔහුට හෝ ඇයට හෝ සසර ගැලවීමක් නැත. නිවන යනු නිවීම ය. එනම් කෙලෙසුන්ගෙන් නිවීම ය. රාග, ද්වේෂ, මෝහ ගින්නේ දැවෙනතාක් සත්ත්වයාට නිවීමක් නැත. යම් කෙනෙක් තමන් කෙරෙහි දැඩි කෙලෙස් ඇතැයි නොදන්නේ නම් ඒ පුද්ගලයාට එම දැඩි කෙලෙස් නැති කිරීම පිණිස කැමැත්තක් ඇති වන්නේ නැත. ඔහු මරණයට පත් වන්නේ ද එම කිලිටි සිතින් ම ය. ඉදින් මේ ජීවිතය ද පව් කඳු රැස් කළ ඔහුගේ මරණින් මතු ජීවිතය මොන තරම් දුක්ඛිත විය හැකි ද? මේ පිළිබඳ මෙම සූත්‍රයේ අපූර්ව උපමාවක් ද වේ. දූවිල්ලෙන් හා මලකඩින් බැඳුණු රන්තලියක් වේ. එය යම් කෙනෙක් පරිහරණය නොකරන්නේ නම්, පිරිසුදු නොකරන්නේ නම්, එය දූවිලි සහිත තැන්හි ම දමන්නේ නම් කල්ගතවෙත් ම ඒ බඳුන ඉතා අපිරිසුදු වන්නේ ය. දැඩි ව මල බඳින්නේ ය. තමා තුළ දැඩි කෙලෙස් ඇති බව නොදන්නා, එම කෙලෙස් නැති කිරීමට කැමැත්ත නූපදවන්නා ද එපරිදි ය.

දෙවැනි පුද්ගලයා නම් තමන් තුළ දැඩි කෙලෙස් ඇති බව දැන, ඒ අයහපත් ධර්ම නැති කිරීම පිණිස කැමැත්ත ඇති, ඒ සඳහා වෑයම් කරන කෙනා ය. හෙතෙම රාග, ද්වේෂ, මෝහ රහිත වූයේ නොකිලිටි සිත් ඇතිව ම මරණයට පත් වන්නේ ය. මෙහිදී කෙලෙස් අවම කිරීමට හේ ගන්නා උත්සාහය සසර මග කෙලෙස් ප්‍රහීණ කිරීමට උපකාරී වේ.

තෙවැනි පුද්ගලයා තමා තුළ දැඩි කෙලෙස් නැතැයි තතු සේ නො දන්නා පුද්ගලයා ය. ඔහුගේ සිත ද අනාගතයේ කෙලෙස්වලින් අපිරිසුදු විය හැකිය.

සිව්වැන්නා තමන් තුළ දැඩි කෙලෙස් නැතැයි තතු සේ දනී. එවිට ඔහු සුබ නිමිති මෙනෙහි නොකරයි. ඒ තුළ රාගය ඔහු සිත නොපෙළයි. ද්වේෂය, මෝහය ආදී ගින්නෙන් නොදැවෙයි. පුද්ගලයන් සිව් දෙනෙක් පිළිබඳ කරන මේ විස්තරය අවබෝධ කොට තමන් පිළිබඳ හොඳ විමර්ශනයක යෙදෙමින් කෙලෙස් ප්‍රහීණ කිරීම සඳහා උත්සාහගත යුතු ය. දැවීම්, තැවීම් අඩු සොම්නස් ජීවිතයක සුවය විඳින්නට එවිට හැකි වනු ඇත.

ඉල් අව අටවක

 නොවැම්බර් 22 සිකුරාදා අ.භා. 06.14 අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 ගෙවේ. 23 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

Full Moonපසළොස්වක

දෙසැම්බර් 14

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]