[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

මාදෝවිට වජිරබුද්ධි නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

මාදෝවිට වජිරබුද්ධි නා හිමිපාණන් වහන්සේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබති

වසර 1968 ක් වූ ඔක්තෝබර් මස 11 වන දින ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මාදෝවිට නම් සොඳුරු ගම්පියසෙහි විසූ සාමවිනිසුරු එන්.එම්. ගුණසේකර සහ ටී.ඇම්.ලීලාවති නම් දම්පතීන්ට දාව පින්වත් කුමරකු ලෙසින් එළිය දුටු අප කතානායකයාණෝ 1983.01.13 වන දින, වැලිමඩ බිබිළගමුව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී, “මාදෝවිට වජිරබුද්ධි” නමින් සසුන් ගත වූයේ, මාදෝවිට විද්‍යාලයෙන් හා බෝගහකුඹුර විද්‍යාලයෙන් මෙන්ම මාදෝවිට විජයාරාම විහාරස්ථානයෙන් උගත් බණ දහමින් හා ශික්ෂණයෙන් ද හෙබිව පහළොස් වැනි වියේ දී ය. වසර 1986 අගභාගයේ දී හෝමාගම පුරාණ විහාරස්ථානයට වැඩම කළ මාදෝවිට වජිරබුද්ධි හිමියන්, බෙල්ලන ධර්මපාල පිරිවෙණ, ගංගොඩවිල සුභද්‍රාරාම පිරිවෙණ යන විද්‍යස්ථානයන්ගෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට දැනුමින්, කුසලතාවන්ගෙන් ද පිරිපුන් පඬිරුවනක් බවට පත් වූහ.

1990 වර්ෂයේ දී උගත් බණ දහමින් යුතුව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර සංඝ සභාවේ රාජමහා විහාරස්ථ සීමා මාලකයේ දී අධිශීල ශික්ෂා සංඛ්‍යාත උතුම් උපසම්පදාව ලබන්නට භාග්‍ය සම්පන්න වූහ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියෙන් ද, කැලණිය විශ්වවිද්‍යාලය හා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල මඟින් ශාස්ත්‍රපති උපාධි ද, කොළඹ විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ද මැනවින් සමත් වන්නට වූයේ තව තවත් ස්වකීය පැවිදි දිවිය අර්ථවත් කර ගනිමිනි.

පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙනෙහි උපගුරුවරයකු ලෙස වර්ෂ 1998 දී එක්වන උන්වහන්සේ එහි ම නියෝජ්‍ය පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් පත්වන අතර, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුරට හා පසුව නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්)තනතුරට පත් ව ලක්දිව සෑම පළාතක් ම ආවරණය වන පරිදි සේවය කරමින් කා අතරත් “අපේ මාදෝවිට හාමුදුරුවෝ” යන ගෞරවාන්විත ජනාදරයට පත්වීමට සමත් වූහ.

උතුම් සඟ සෝභන ගුණයෙන්, ශාසනික වශයෙන් මෙන් ම සාමාජීය වශයෙන් ද විවිධ තනතුරු දරමින්, දෙස් විදෙස් ධර්ම ප්‍රචාරණ කටයුතු සිදු කරමින්, ලේඛනයෙන් මෙන් ම භාෂණයෙන් ස්වකීය ප්‍රතිභාව සමාජානුසරණය කරමින් සසුනඹරෙහි දිලෙන පඬිරුවනක් විලස, සියල්ලන්ගේ ම ජනප්‍රසාදයෙන්, වැඩ වෙසෙන නාහිමියන් වහන්සේ, මහාවිහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර සංඝ සභාවේ මහානායක සානුනායක කාරක පාලක විධායක සභාවන්හී ඒකච්ඡන්දයෙන්, හේවාගම් කෝරලයේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම හරහා තව තවත් සසුනඹරෙහි සුදිලෙන සුපුන් සඳක් වනු දැකීම අපගේ අභිදාශයයි.

හෝමාගම පුරාණ විහාරාධිපති, ලෝක තරුණ බෞද්ධ සංඝ සභාවේ ජාතික මණ්ඩල සභික, හෝමාගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර සංඝ සභාවේ කාරක සංඝ සභික, හේවාගම් කෝරළයේ ප්‍රධාන සංඝනායක, ශාස්ත්‍රපති පණ්ඩිත මාදෝවිට නායක ස්වාමීන් වහන්සේ ලෝ සසුන් වැඩ පිණිස නොනිමි මෙහෙවරක යෙදේ. උන්වහන්සේට උතුම් දළදා සමිඳුන්ගේ සුභාශීර්වාදය තිසරණාධාර පෙරටුව ප්‍රාර්ථනා කරමි.

ඉල් පුර පසළොස්වක

 නොවැම්බර් 15 සිකුරාදා පූ.භා. 06.21 පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 ගෙවේ. 15 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 15

Second Quarterඅව අටවක

නොවැම්බර් 23

Full Moonඅමාවක

නොවැම්බර් 30

First Quarterපුර අටවක

දෙසැම්බර් 08

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]