[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සතුටින් දිවි ගෙවමු නිති පන්සිල් රකිමු

සතුටින් දිවි ගෙවමු නිති පන්සිල් රකිමු

තථාගත බුදුපියාණන් වහන්සේ විසින් අප වෙත කායික ව ද, වාචසික ව ද නොකරන ලෙස වදාළ කාරණා පහකි. ඒවා නම්, ප්‍රාණඝාතය - අදත්ථාදානය - කාම මිථ්‍යාචාරය - මුසාවාදය හා සුරාමේරය යි. මේ කාරණා තනි වචනයකින් පස් පව් ලෙස ද දැක්විය හැකි ය.

මේ දුසිරිත් ක්‍රියාවන්ගෙන් වෙන්වන්නා විසින් වැඩිය යුතු සුසිරිත් ද පහකි. එනම්, සත්ත්ව හිංසනය අතහැර සියලු සතුන්ට හිතානුකම්පිත ව විසීම, නුදුන් දේ ගැනීම අතහැර දුන් දේ ගැනීමට පෙළඹීම, කාමයෙහි වරදවා හැසිරීම් අතහැර ශිෂ්ට සම්පන්න ලෙස ස්ත්‍රී පුරුෂ සබඳතා පැවැත්වීම, අනුන් රැවටීම, බොරු කීම අතහැර ඇදහිය හැකි වචන භාවිතය හා මදයෙන් හා ප්‍රමාදයෙන් තොර මනා සිහි නුවණින් ජීවත් වීම මෙම දිවිය සතුටින් ගෙවීමට අප විසින් ප්‍රගුණ කළ යුතු කරුණු ය.

පංච ශීල ප්‍රතිපදාව යනු බුදුහිමියන් ඉගැන් වූ උතුම් වූ ශීල ශික්ෂාවේ පදනම වේ. අප විසින් සුරකින සෑම ශීලයකට ම මූලික වන්නේ ද, පළමු අඩිතාලම වන්නේ ද පංචශීල ප්‍රතිපදාවයි. පස්කම් සුව විඳිමින් තමන්ගේ දිවිය සතුටින් ගෙවීමට පංචශීල ප්‍රතිපදාව තුළ ගිහියාට අවශ්‍ය ඉඩ හසර ඇත. පන්සිල් සුරැකීම තුළින් ඔවුන්ගේ ගිහි ජීවිතවලට වඩ වඩාත් ආලෝකයක් ලැබෙනවා හැරෙන්නට ඉන් එම ජීවිතවලට අගතියක් සිදු නොවේ.

පංචශීල ප්‍රතිපදාව සුරැකීම තුළින් තමන්ට තමන්ගේ දිවිය සතුටින් ගෙවීමට හැකි වන්නේ මෙම කරුණු කාරණා නිසාවෙනි.

තමන් ලෝකයේ සිටින කිසිම සත්ත්වයකුට කායික ව හෝ වාචසික ව හානියක්, හිංසනයක් නොකරන්නේ ද, එම නිසා තමන්ට ද කිසිම සත්ත්වයකුගෙන් කායික ව හෝ වාචසික ව කිසිදු හානියක් සිදු නොවේ.

තමන් අනුන්ගේ වස්තුවක් සොරකම් කිරීමට, පැහැර ගැනීමට උත්සාහ නොකරන තාක් කල් තමන් සතු වස්තුව ද ආරක්ෂා වේ. මෙම ධර්මතාව අනුව ගත් කල පන්සිල් සුරැකීම ඔබගේ දිවියට අයහපතක් නොවී ආරක්ෂා වීමට බලපාන ප්‍රධාන කරුණකි. තමා තමාට ම උපමා කොට අනුන් දෙස බලන විට තමන්ට ශීලය රැකීම වඩාත් පහසු කරුණකි.

සිල් රැකීමේ ආනිශංස කොපමණ දුරට අපගේ භවාන්තර දිවිය ආලෝකවත් කරනවා ද යන කරුණ මෙම කථා පුවතින් වඩ වඩාත් ඔබට පැහැදිලි වනු ඇත.

සොරකම තමන්ගේ ජීවනෝපාය කරගත් සොර කණ්ඩායමක් එක්තරා රාත්‍රියක එක ගමකට කඩා වැදී එම ගමෙහි ඇති එක නිවසකට පැන එම නිවස සොරකම් කොට නිවසින් පිටව ගියහ. පසුදා උදෑසන මේ සොරුන් කෙසේ හෝ ඇල්ලිය යුතුයි යන තීරණයට පැමිණි එම ගම්වැසියෝ පසුදා රාත්‍රියේ ගමෙන් එළියට පැමිණ රාත්‍රියේ හොරුන් ගමට වැදුණු පසු ගම්වැසියන් නැවත ගමට ඇතුළු වී ගම වටකොට සොරුන් ඇල්ලීමට උත්සාහ කළහ. බියට පත් සොරු අසල වූ කැලයකට රිංගා ගත්හ. කැලය තුළ දිව යන මොවුහු ශාන්ත වූ පැවතුම් ඇති හිමිනමක් දැක ඔවුන්ගේ ජීවිත බේරා දෙන මෙන් හිමියන්ගෙන් අයැද සිටියහ. සියලු සොරුන් පංචශීලයෙහි පිහිටු වූ හිමියන් තමන්ගේ දිවි තොර වුව ද මේ සිල්පද රකින ලෙස ඔවුන්ට අවවාද කොට පිටත් කර හැරීය. කැලයෙන් පැමිණෙන විට ගම්වැසියන්ට හසු වූ සොරුන් සියලු දෙනා ගම්වැසියන් විසින් පහර දී ඝාතනය කළහ.

මුළු ජීවිතය ම තුළ ඔවුන් සොරකම් කළ ද අවසන් මොහොත තුළ පන්සිල් රැකි හෙයින් මරණයට පත් සොරුන් සියලු දෙනා නිදාගෙන සිට පිබිදුණ විලසින් මරණින් මතුª දිව්‍ය ලෝකයෙහි ඉපිද අපරිමිත වූ දිව්‍ය සම්පත් පරිභෝජනය කිරීමට සමත් වූහ. මෙම කථා පුවතින් සීලය ආරක්ෂා කිරීමේ මහත් වූ, විපුල වූ ආනිශංසයන් පිළිබඳ වටහා ගත හැකි ය. එහෙයින් සියලු සත්ත්වයන් මේ අනියත වූ සංස්කාර ධර්මයන්ගෙන් මිදී ශීලාදී ගුණධර්මයන් රකිමින් උතුම් වූ නිවන් මඟ දොරටු විවර කර ගැනීමට වහ වහා උත්සුක වෙමු.

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]