වෙසක් අව අටවක පෝ දා
2024-05-30
සිල්වත්බව ම උතුම් වේ
ගත සරසවන්නට, බබළවන්නට බොහෝ අය විවිධ ආභරණ පළඳිති. ඒ අතර ඇතැම් ඒවා බොහෝ මිල අධික
ය. ඒවා උපයා සපයා ගන්නට අධික ව වෙහෙසෙති. කැපකිරීම් කරති. ඒ ලස්සනට ඉන්නට,
අන්‍යයන්ගේ ආකර්ෂණය දිනා ගන්නට විය හැකි ය. ගත සරසන්නට එසේ උත්සාහ කළ ද, ඉඩහසර වෙන්
කළ ද සිත සරසවන්නට නම් ඇතැම් අයගේ උනන්දුව හීන ය. කිසිදු මුදලක් වැය නොකර, ශ්‍රමය
කැප නොකර තමන් විසින් ම යහපත් ගුණධර්ම ප්‍රගුණ කිරීම තුළ ජීවිතයට ලැබෙන ලස්සන බව
ගැන බොහෝ දෙනකුට අවබෝධයක් නැති තරම් ය. සමාජයේ විටින් විට දුර්ගුණ ඉස්මතු වන්නේ
එහෙයිනි.
සිත සරැසවීමට උනන්දුව හීන වූ කල තමන් සේ ම අනුන් ද විපතේ වැටෙන බව, තමන්ගේ සැබෑ
ප්‍රතිරූපය ලෝකයට, සමාජයට පමණක් නොව තමන්ට ද අවලස්සන වන බව ඇතැමකුට අනවබෝධ ය.
කිසිදු ආභරණයක් නොපැළඳුව ද සමාජය ලස්සන කරන, පි‍්‍රයශීලි පුද්ගලයකු වීමට ඕනෑම
කෙනකුට පුළුවන. ඒ සිල්වත් වීමෙනි. සිල්වත් පුද්ගලයාට සොර සතුරන් නොමැත. විපත් නො
පැමිණෙන්නේ ය. හැසිරීම් ලස්සන වූ ඔහු පිළිබඳ කීර්තිය මිස අපකීර්තිය නො පැතිරෙන්නේ
ය. යම් හෙයකින් කර්ම ශක්තිය නිසා එවැනි අවස්ථා එළඹිය හැකි වුව ද එය තාවකාලික ය.
සත්‍යය ම ජය ලබන්නේ ය.
තථාගතයන් වහන්සේ ගිහියාට අනුදැන වදාළ පංචශීල ප්‍රතිපදාව ම වුව ජීවිතය සරසවන්නට
ප්‍රමාණවත් ය. පන්සිල් රකින පුද්ගලයාට කායික, වාචසික සංවරවීම තුළ සිතෙන් සිදුවන
අකුසල් ද ක්‍රමයෙන් බැහැර කිරීම පහසු වන බැවිනි.
කෙනෙක් ප්‍රාණියකුගේ ජීවිතය නසන්නට පෙළඹෙන්නේ ඇතැම් විට තමන්ගේ ජීවිතයට අභියෝගයක්
විය හැකි නිසා ය. එසේ නැතිනම් කිසියම් දෙයක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් විය හැකි ය.
එහෙත් ‘අත්තානං උපමං කත්වා’ තමන් උපමා කොට බලා අනුන්ගේ ජීවිත නොනැසීම තුළ ක්‍රෝධය,
වෛරය, පළිගැනීම, අධික තණ්හාව ආදි අකුසල සිතිවිලි ද ක්‍රමයෙන් මඟහැරෙනු ඇත. යම්
ප්‍රාණියකුට අභය දීම තුළ ම තමන්ගේ ජීවිතයෙන් ද අනුන් නිසා වන මරණ බිය පහව යනු ඇත.
එය ම මොන තරම් මානසික සුවයක් ද?
අද සමාජයේ විවිධ පරමාර්ථ මුදුන් පමුණුවා ගන්නට අනුන්ගේ ජීවිත රුපියල් ශතවලට ප්‍රමාණ
කරන පුද්ගලයන් ඒ මොහොතේ තමන් කළ ක්‍රියාව පිළිබඳ තෘප්තියට පැමිණෙනවා විය හැකි ය.
එහෙත් තමන්ට ද කවර මොහොතක හෝ ඒ ඉරණම අත්වෙනු ඇතැයි කොපමණ බියකින් ජීවත්වීමට
සිදුවන්නේ ද? කුසට අහරක්, නෙතට නින්දක් ලබන මොහොතේ පවා ඔවුන්ගේ සිත සසල ය. බියජනක
හැඟීම්වලින්, අවිනිශ්චිත බවින් පිරී ගොසිනි. තමන් මොනතරම් සැප සම්පත් භුක්ති වින්ඳ
ද, සිතට සැනසීමක් නොවේ නම්, ඉන් ලැබෙන සැනසීමක් නැත. බැබළීමක් නැත. සමාජයේ ද
අපකීර්තිය හිමි ය.
තමන් කළ පාපයක් වේ නම් ඊට ප්‍රතිවිපාක ද නිශ්චිත ය. කරත්තය බැඳි ගොනා පසුපස එන රෝදය
සේ විපාක පසුපසින් ම පැමිණෙනු ඇත. පන්සිල් හි එන අනෙක් සතර ශික්ෂාපද ඛණ්ඩනය තුළ ද
සිදු වන්නේ පව් රැස්වීම ම ය. ජීවිතයේ සතුට අහිමි වීම ම ය.
මේ වෙසක් සමයේ හෝ “සිල්වත් ජීවිතයක් ගතකරමි” යි යන පරමාර්ථය සිතට ගෙන එය මුදුන්
පමුණුවා ගන්නට උත්සාහ කරන්නේ නම්, ඒ ජීවිතය ම බැබළෙනු ඇත. දෙලොව ම ලස්සන වනු ඇත.
|