[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පේෂකාර දියණිය මරණානුස්සති භාවනාව වැඩූ හැටි

පේෂකාර දියණිය මරණානුස්සති භාවනාව වැඩූ හැටි

අන්ධභුතො අයං ලොකො
තනුකෙත්ථ විපස්සති
සකුන්තො ජාලමුත්තෝව
අප්පො සග්ගාය ගච්ඡති

අපහසුවෙන් ලබා ගත් මෙම භාග්‍යවන්ත මිනිස් දිවිය සුඛිතමුදිත කර ගැනීමට, සිල්වත්, ගුණවත් කර ගැනීමට, විවිධ ගැටලුවලින් විඩාබර සිත බාහිර කරදරවලින් මුදා ගැනීමට, මෙලොව සැනසීම, පරලොව සුගති සංඛ්‍යාත සැප ඇති කර ගැනීමට, උතුම් අමා මහ නිවන අවබෝධ කර ගැනීමට ධර්මානුකූලවීම ඉතා වැදගත්.

ඉහත ගාථාව බුදුරජාණන් වහන්සේ විසින් අලවු නුවර දී, පේෂකාර දුව ඇතුළු පිරිසකට දේශනා කරන ලදී. මෙයින් පැහැදිලි වන්නේ මරණානුස්සතිය වැඩීමේ පල විපාක පිළිබඳවයි.

දිනක් අලවු නුවර වාසීහු එනුවර පිහිටි අග්ගාලව නම් රමණීය වෙහෙරට වඩින මෙන් බුදුරදුන්ට ආරාධනා කොට දන් පිළිගැන්වූහ. දන් වළඳා අවසන භුක්තානුමෝදනය පැවැත්වූ බුදුපියාණෝ “අද්ධ්‍රවං ජීවිතං ධ්‍රවං මරණං අවස්සං මයා මරිතබ්බං මරණ පරියෝසානං මේ ජීවිතං, ජීවිතං අනියතං මරණං නියතං” ආදී වශයෙන් ජීවිතය අස්ථිර ය. මරණය ස්ථිර ය. අවශ්‍යයෙන් ම මා මරණයට පත්විය යුතු ය. මගේ ජීවිතය මරණයෙන් කෙළවර වේ. ජීවිතය අනිත්‍ය ය. මරණය නියත ය. එනිසා ජීවිතයේත්, මරණයේත් යථාර්ථය තේරුම් ගෙන මරණානුස්සතිය වඩන්න. යමෙක් එසේ මරණානුස්සතිය නොවඩන්නේ නම්, විෂකුරු සර්පයකු දුටු කල මෙන් බියට, තැති ගැන්මට පත් වන්නේ ය. මරණානුස්සතිය වඩන තැනැත්තා බිය සංකාවලින් තොර ව සුගතිගාමී වන්නේ යැයි වදාළහ.

මෙම දේශනාව ශ්‍රවණය කළ සොළොස් හැවිරිදි පේෂකාර දියණිය නිතර මරණානුස්සතිය වැඩීය. මෙයින් තුන් වසරකට පසු අලුයම ලොව බලා වදාරණ බුදුපියාණෝ පේෂකාර දියණියට සෝවාන් වීමේ වාසනාව ඇති බවත්, පූර්වයෙහි කරන ලද අකුසල කර්ම විපාක වශයෙන් හදිසි මරණයකට පත්වන බවත්, දිවැසින් දුටුවේ ය. මෙ නිසා ම බුදුපියාණන් වහන්සේ අලවු නුවර අග්ගාලව විහාරයට වැඩම කොට නුවරවාසීන්ට දම් දෙසූ සේක.

පේෂකාර දියණිය ද බණ අසනු පිණිස විහාරයට පැමිණියා ය. බුදුරදුන් ඈ අමතා කොහි සිට ආයෙහි ද? කොහි යන්නෙහි ද යනුවෙන් ඇසීය. මෙම ප්‍රශ්න දෙකට ම “නොදනිමි ස්වාමීනි” යනුවෙන් පිළිතුරු සැපයී ය. දන්නෙහි ද නොදන්නෙහි ද යනුවෙන් නැවතත් ඈ වෙත ප්‍රශ්න දෙකක් යොමු කළ සේක් දනිමි ස්වාමීනි, නොදනිමි ස්වාමීනි යනුවෙන් පිළිවදන් දුන්නා ය.

මහජනතාව ඈ සැපයූ පිළිතුරු අසා නොසතුටට පත්වූහ. එම අවස්ථාවේ බුදුපියාණෝ එම පිළිතුරුවල සාර්ථකත්වය පැහැදිලි කරමින් මෙලොවට ආ භවයත්, මියගොස් උපදින භවයත් නොදන්නා බැවින් මුල් ප්‍රශ්නවලට නොදනිමි යනුවෙන් පිළිතුරු දුන් බවත්, මරණය ස්ථිරව ම සිදුවන බැවින් "දනිමි ස්වාමීනි" යනුවෙන් පිළිතුරු දුන් බවත් මියයන වේලාව නොදන්නා බැවින් නොදනිමි යන පිළිතුර සැපයූ බවත් මරණසතිය වැඩීමෙන් ලත් අත්දැකීමෙන් ඈ පොහොසත් බවත් පවසා මාතෘකා කළ ගාථාවෙන් දම් දෙසූ සේක.

පුහුදුන් ලෝ වැස්සන් නුවණැස නොමැති හෙයින් අන්ධ බවත්, ලෝවැසියන් අතරින් සුළුතරයක් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්ඛන්ධය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකින බවත් වටු වැද්දාගේ දැලට, හසුව බේරී යන වටුවන් ටික දෙනකු මෙන් සුගතිගාමී වන්නෝ ටික දෙනකු බවත්, දැලෙහි රැඳෙන බොහෝ වටුවන් මෙන් අපාගත වන්නෝ බහුතරයක් සිටින බවත් වදාළහ. දේශනාවසානයෙහි පේෂකාර දුවණිය සෝවාන් වූවා ය.

බණ අසා නිවසට ගොස් පෙහෙ කම්හලෙහි සේවා නියුක්ත වූ ඇය අත් වැරැද්දකින් ඇති වූ ගැටීමකින් මියගොස් තුසිත දෙව්ලොව දෙව්දුවක ව උපන්නා ය.

පින් - පව් දෙකෙහි පල විපාක ලැබෙන අයුරු මෙයින් මැනවින් පැහැදිලි වෙයි.

මරණානුස්සති භාවනාව වැඩීමෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මැනවින් අවබෝධ කර ගත හැකි ය. මරණාසන්නයේ දී පහළ වන කර්ම, කර්ම නිමිති, ගති, ගති නිමිති හොඳින් අවබෝධ කර ගැනීමටත්" යහපත් කල්‍යාණ මිත්‍ර සම්පත් ලැබීමටත්, යථාභූත ඥානයෙන් යුක්ත ව සෝවාන් ආදී මගඵල ලැබීමටත් අවස්ථාව සැලසේ.

එබැවින් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දේශනා අනුව නිතර මරණානුස්සතිය වැඩීමට අපි සැම උත්සාහ ගනිමු. සැම දෙනාට ම සම්මා සම්බුදු සරණයි.

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]