[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුද්ධ චරිතයෙහි උතුම් ගුණාංග ජීවිතයට ආදර්ශයක් කර ගනිමු

සම්බුද්ධ චරිතයෙහි උතුම් ගුණාංග ජීවිතයට ආදර්ශයක් කර ගනිමු

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයාණන් වන්නේ අප මහා ගෞතම බුදු රජාණන් වහන්සේ ය. මේ උන්වහන්සේගේ තෙමඟුල සිහි කරන වෙසක් සමය යි.

සතර පෙර නිමිති දැකීමෙන් ජීවිතය පිළිබඳ කලකිරුණු සිදුහත් කුමරු විසි නව වැනි වියේ දී ගිහි ගෙයින් නික්මිණ.

වසර හයක කාලයක් දුෂ්කරක්‍රියා කරමින් ගෙවූ අත්තකිලමථානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය අතහැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් බුද්ධගයාවේ ඇසතු බෝරුක මුල දී බුද්ධත්වයට පත් වූ හ. උන් වහන්සේ හතළිස් පස් වසරක් ලෝ වැසි ජනතාවට ධර්මය දේශනා කරමින් යහමඟට ගැනීමට කටයුතු කළ සේක .

සුඛො බුද්ධානං උප්පාදො
සුඛා සද්ධම්ම දේශනා
සුඛාසංඝස්ස සාමග්ගී
සමග්ගානං සමො සුඛො

බුදුවරු මෙලොව පහළ වීම මහා සැපතකි, සද්ධර්මය දේශනා කිරීම සැපතකි, මහා සංඝ රත්නයේ සමඟිය මහා සැපතකි, සමඟියෙන් වෙසෙන පුද්ගලයාට තපස මහා සැපතකි. මේ බව ධම්මපදයේ බුද්ධ වග්ගයේ සදහන් වෙයි .

අප මහ බෝසතාණන් වහන්සේ දස පාරමි, දස උප පාරමි, දස පරමත්ථ පාරමී සම්පූර්ණ කර අනාදිමත් කාලයක් මේ සංසාරයේ ඉපදී ඉපදී මිය යමින්, ඇස්, හිස්, මස්, ලේ දන් දෙමින් දාන පාරමී පුරමින්, නිර්වාණය අවබෝධ කර ගෙන උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත් වුහ. උන්වහන්සේ ඉපදුණ අවස්ථාවේ සොබාදහම පවා ආශිර්වාද කළේ ය. සතර අපායවල ගිනි නිවී සිසිල් විය. මහ පොළොව ප්‍රීතියෙන් කම්පනයට පත් විය , දෙව් බඹුන් සාධුකාර දුන්හ. ජීවී අජීවී සියලු දෙනා නිවී සැනසී සතුටට පත් වන්නට වුහ.

උන්වහන්සේ බුද්ධත්වයට පත්විමෙන් පසුව දේශනා කළ පළමු ප්‍රීති වාක්‍යය වූයේ,

බොහෝ කාලයක් මේ සංසාරේ ඉපද ඉපිද ඇවිද්දෙමි. ඒ ඇවිද්දේ වෙන කිසිවක් නිසා නොව මේ පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුවා සොයා ගැනීමට ය. එය සොයා ගත්තෙමි. ඒ තෘෂ්ණාවයි, සියලු කැණිමඬල විනාශ කළෙමි . නැවත මගේ ඉපදීමක් නැත. යන්නෙන් උන්වහන්සේ දේශනා කළහ.

උන්වහන්සේ හතළිස් පස් වසරක් ශ්‍රී ධර්මස්කන්ධය දේශනා කරමින් සමාජයේ ජනතාව යහමඟට ගැනීමට කටයුතු කළහ . කුසල් අකුසල් පිළිබඳ දේශනා කළහ. කුසල් කිරීමේ ආනිශංසත්, අකුසල් කිරීමෙන් සිදුවන විපාක පිළිබඳවත් අවබෝධ කර දෙමින් ජනතාව යහපතෙහි යෙදවිමට උන්වහන්සේ ධර්මය දේශනා කළ සේක .

බරණැස් නුවර ඉසිපතනයේ දී බුදුන් වහන්සේ විසින් පස්වග මහණුන් උදෙසා පවත්වන ලද පළමු වැනි දේශනාව වූයේ චතුරාර්‍ය සත්‍යයි. බුදු දහමේ මූලික අරමුණ වන නිර්වාණය අවබෝධ කර ගැනීම යනු චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ කර ගැනිමයි.

“මහණෙනි , මෙම චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ නොකිරීමේ හේතුවෙන් මටත්, ඔබටත් බොහෝ කලක් සසර සැරිසරන්නට සිදු විය. බෞද්ධ දර්ශනයට අනුව මෙම සත්‍යය මෙලොව දී ම ප්‍රත්‍ය‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ක්‍ෂ කළ හැකි බව උන්වහන්සේ දේශනා කළහ. චතුරාර්ය සත්‍ය නම් ,

දුක්ඛ ආර්ය සත්‍යය

(දුක පිළිබඳ උතුම් සත්‍යය)

දුක්ඛ සමුදය ආර්ය සත්‍යය

(දුකට හේතුව පිළිබඳ උතුම් සත්‍යයය)

දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය

(දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යයය )

දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ආර්ය සත්‍යය

( දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳ උතුම් සත්‍යයය)

උන්වහන්සේ බුද්ධත්වයට පත් අවධියේ භාරතය දෙසටැක් මිත්‍යා දෘෂ්ටික ආගම් පැවතිණ ,මිත්‍යාව මත පැවති මෙම ආගම් තුළින් ජනතාවට සැනසිල්ලක්, නිවන කරා යන මාර්ගයක් නොපැවතිණ .ඔවුන් මව්පියන් නැත, පින් නැත, පව් නැත, කුසල් නැත. අකුසල් නැත, පරලොවක් නැත යන ආදී වශයෙන් නොයෙක් මත දැරීය. ඒ සියලු මත බුදුන් වහන්සේ ඛණ්ඩනය කළහ.

එදා භාරතීය සමාජය ග්‍රහණය කර ගෙන තිබුණේ බ්‍රාහ්මණයන් විසිනි. රජුන්ට, ඇමතිවරුන්ට, මිනිසුන්ට, අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කළේ බ්‍රාහ්මණයන් ය, එදා සමාජයේ ඔවුන් උසස් ම කුලය ලෙස සැලකිණ.

බ‍‍්‍රාහ්මණොස්‍ය මුඛමාසිද් -

බාහූ රාජාන්‍ය කෘතඞ

ඌරු තදස්‍යය යද් වෛශ්‍යං - පද්භ්‍යාම් ශුද්‍රො අජායත

බ‍‍්‍රාහ්මණ - මහා බ‍‍්‍රහ්මගේ මුවෙන් උපන්

ක්‍ෂත‍ී‍්‍රය - මහා බ‍‍්‍රහ්මගේ බාහුවලින් උපන්

වෛශ්‍ය - මහා බ‍‍්‍රහ්මගේ කලවාවලින් උපන්

ශුද්‍ර - මහා බ‍‍්‍රහ්මගේ යටි පතුලෙන් උපන්

බව බ‍‍්‍රහ්මණයින් විසින් හදුන්වා දෙනු ලැබිය.

මෙහිදී බ්‍රාහ්මණ, කෂ්ත්‍රිය, වෛශ්‍ය යන වර්ණ තුන ආර්යයන් වේ .ඔවුන්ට කිසියම් ප්‍රමාණයක අයිතිවාසිකම් ප්‍රමාණයක් හිමි ව පැවැතිණ.

එලෙස නොයෙක් කුලයන්ට බෙදී තිබූ එවකට සමාජය පිළිබඳ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. සියලු දෙනාට ම සමානාත්මතාවයෙන් සැලකු උන්වහන්සේ කිසිවකුත් උත්පත්තියෙන් උසස් හෝ පහත් හෝ නොවන බවත්, තමන් කරන ක්‍රියාව අනුව උසස්, පහත් වන බවත් දේශනා කළහ .

එසේ ම එවකට සමාජයේ කාන්තාවට නිසි තැනක් හිමි වූයේ නැත. කොසොල් රජු පවා තමාට දියණියක් උපන් බවට සැලවීමෙන් නොසතුටට පත් වුණි .එහිදි බුදුරජාණන් වහන්සේ,

මහ රජ, ඔබ කළ කිරීමට පත්වෙන්න එපා. ඔබට ලැබී සිටින්නේ වාසනාවන්ත, පින්වන්ත දියණියක්. රටක්, ලොවක් වුණත් පාලනය කරන්න පුළුවන් දක්ෂ දියණියක්, ඒ නිසා ඒ දියණිය ආරක්ෂා කර ගන්නැයි දේශනා කළ සේක .

ගැහැණු දරුවෙක් ඉපදීම අභාග්‍ය සම්පන්න ය යන හැඟීම එකල සමාජය තුළ පැවතිණ. බුදුරජාණන් වහන්සේ කාන්තාවට ද නිසි තැන ලබා දීමට කටයුතු කළහ. සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේට පමණක් නොව ඛේමා, උත්පලවන්නාට පවා සුදුසු තනතුරු පිරිනැමීමට කටයුතු කළහ.

කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟයි. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වල ස්වාධීනත්වය සම්පූර්ණයෙන් ම නැති විණ.

කුල සතරෙන් පහත් ම කුලය වූ ශුද්‍රයින්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි.මේ යුගයේ පුරුෂාධිපත්‍ය වැඩි දියුණු ව පැවතිණ . මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණෙකින් ස්වර්ග සම්පත් ලබා ගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන් ව තිබේ .

එලෙස පැවති සමාජයේ බුදුන් වහන්සේ ජනතාවට සිතීමේ, ජීවත්වීමේ නිදහස ලබා දුන්හ. මාගේ දේශනා පරම්පරාවෙන් පරම්පරාවට එනවා කීවට, පොත්පත්වල සඳහන් වනවා කීවාට පිළිගන්න එපා. දක්ෂ රන්කරුවෙක් රත්රන් උරගා බලනවා වගේ පිළිගත හැකි නම් පිළිගන්න, පිළිගත නොහැකි නම් නොපිළිගන්නා ලෙස දේශනා කළහ .

දේවානම්පියතිස්ස රජතුමාගේ දෙවැනි වරට අභිෂේක මංගල්‍යය සිදු වූයේ ද වෙසක් පුන් පොහෝ දිනක ය .මෙලෙසින් වෙසක් පොහෝදා දේවානම් පියතිස්ස රජතුමා අභිෂේක ලැබීමට පෙර රාජ්‍යත්වයට පත්ව සිටි නමුත් භාරතයේ රජකම් කළ අශෝක අධිරාජ්‍යය දේවානම්පියතිස්ස රජුට දෙවැනි වර අභිෂේක මංගල්‍යයක් සිදු කෙරිණ .

දුටුගැමුණු රජතුමා විසින් අනුරාධපුරයේ ඉදි කරන ලද රුවන් වැලි මහා සෑ චෛත්‍යය ඉදිකිරීමට මූලික අදහස බිහි වූවා යැයි සැලකෙන්නේ ද වෙසක් පුන් පෝ දිනක ය. එමෙන් ම රුවන්වැලි මහා සෑ රදුන් ඉදිකිරීමේ නැකත යෙදි තිබුණේ ද මෙවැනි උතුම් පොහෝ දිනක ය .

බුදුන් වහන්සේගේ තෙමඟුල සිහිකරමින් ශ්‍රී ලංකා වාසි බෞද්ධ ජනතාව වෙසක් සතිය සමරනු ලබයි. එම සතිය පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කර ගනිමින් දාන සීල භාවනා සහ වෙසක් සදහම් ගී, වෙසක් පහන් කුඩු දැල්වීම, වෙසක් සැරසිලි,වෙසක් තොරණ ඇතුළු ප්‍රතිපත්ති හා ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් ආගමික වැඩ සටහන් රැසක් සිදු කරනු ලබයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කළ උතුම් දහම අපගේ ජීවිතවලට සම්බන්ධ කර ගමින් නැණ ගුණ පිරි යහපත් අනාගතයක් නිර්මාණය කර ගැනීමට සියලු දෙනා අධිෂ්ඨාන කර ගත යුතු ව තිබේ. වර්තමානයේ තරගකාරී සමාජයක ජීවත් වන ජනතාව බුදුන් වහන්සේගේ උතුම් චරිතයෙහි ගුණාංග ජීවිතයට ළඟා කර ගනිමින් තම ජීවිතය සාර්ථක කර ගැනීමට කටයුතු කළ යුතු ව තිබේ .

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]