[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලබති

පන්නිල ශ්‍රී ආනන්ද නාහිමියෝ අග්ගමහාපණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලබති

මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ සීනාදී සිවු කෝරලයේ ප්‍රධාන සංඝනායක අත්තනගල්ල අරහත්ත රාජමහා විහාරාධිපති, මහනුවර මල්වතු මහා විහාරයේ උපාධ්‍යාය ධුරන්ධර, , අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ ආරම්භක විහාරාධිපති, තායිවානයේ ථේරවාදී බෞද්ධ විහාරයේ අධිපති, අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් බෞද්ධ විහාරයේ ලේඛකාධිකාරී, විද්‍යාලංකාර සභාවේ උප සභාපති “ශ්‍රී සද්ධර්ම ශිරෝමණී ධර්මකීර්ති ශ්‍රී ප්‍රඥාරාම” “ප්‍රවචන කීර්ති ශ්‍රී ලෝකත්ථචාරී සමාජ සේවා ශිරෝමණී” අතිගෞරවාර්හ ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත බුරුම රජය විසින් පිරිනමනු ලබන අතිශය සම්භාවනීය වූ “අග්ගමහා පණ්ඩිත” ගෞරව සම්මානෝපාධිය ශ්‍රී බුද්ධ වර්ෂ 2567ක් වූ මැදින් මස පුර පසළොස්වක පොහෝ දින එනම් වර්ෂ 2024ක් වූ මාර්තු මස 24 වන ඉරුදින මියන්මාරයේ Nay Pyi Taw නුවර උප්පාතසන්ති චෛත්‍ය පරිශ්‍රයේ පිහිටි සාසන විමාන ශාලාවේ දී රාජ්‍ය ගෞරව සහිත ව පුද කරන ලදි.

බුරුම (මියන්මාර්) රජය විසින් ථේරවාදී භික්ෂූන් වහන්සේ උදෙසා පිරිනමනු ලබන ගෞරව සම්මාන නාමයක් ලෙස අග්ගමහාපණ්ඩිත උපාධි නාමය හඳුන්වාදිය හැකි වේ. අග්ගමහාපණ්ඩිත යන නාමයෙන් ඔවුන් අර්ථවත් කරන්නේ “අති ගෞරවනීය හා බහුශ්‍රැත” යන්නයි. මෙම ගෞරව නාමය පුද කරනු ලබන්නේ බුද්ධ ධර්මය පිළිබඳ අතිබහුශ්‍රැත බවක් හා නුවණකින් හෙබි හෝ මහ ථෙර තත්ත්වයට පත් වූ මහා ස්වාමීන් වහන්සේට පමණි. මෙම නාමය සෑම වසරක ම ජනවාරි මාසයේ දී බුරුම රජයේ ප්‍රධානියා විසින් පුදකරනු ලබන අතර, ඒ සඳහා එම ස්වාමීන් වහන්සේට ඇති සුදුසුකම් එරට රාජ්‍ය සංඝ මහ නායක කමිටුව විසින් පරීක්ෂා කරනු ලබති. එහිදී අග්ගමහා ග්‍රන්ථවාචක පණ්ඩිත උපාධි නාමය හිමිකරගෙන තිබීම, ශාසනය තුළ වස් සතළිහක් වැඩ වසා තිබීම, සුපේෂල ශික්ෂාකාමී බව, බුරුම රජයෙන් පවත්වනු ලබන ධර්මාචරිය විභාගය සමත්වීම, පාලි භාෂා ඉගැන්වීමේ විශාරද වීම, සංඝනායක ධුරයකට සුදුස්සකු වීම හා මහා සංඝයා අතර පිළිගැනීමකට ලක්වීම, විනය චෝදනාවලින් දුරුවීම යන සුදුසුකම් සැලකිල්ලට භාජනය කරනු ලබයි.

පොල්වත්තේ බුද්ධදත්ත මහනාහිමි, බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි, වල්පොල රාහුල මහනාහිමි, කොටුගොඩ ධම්මාවාස මහනාහිමි, මඩිහේ පඤ්ඤාසීහ මහ නාහිමි, නාපාන පේමසිරි මහ නාහිමි, දවුල්දෙන ඤාණිස්සර මහ නාහිමි ආදී සුපේෂල ශික්ෂාකාමි මහා පඬිවරුන් ද මෙම සුවිශේෂී ගෞරව නාමයට පාත්‍ර වූහ.

ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ බුරුම රජය විසින් අතිශය සම්භාවනීය වූ අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අත්තනගල්ල සිරිසඟබෝ සමාජ සේවා පදනමේ මෙහෙයවීමෙන් පසුගියදා උපහාර උත්සවයක් අති උත්කර්ෂවත් ලෙස (18) පැවැත්විණි. එම අවස්ථාවට ආරාධිත මහානායක ස්වාමීන් වහන්සේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු දෙස් විදෙස් ගිහි පැවිදි සම්භාවනීය පිරිසක් ද සහභාගි වූහ.

බුරුම (මියන්මාර්) රජය විසින් ප්‍රදානය කළ එම ගෞරව නාමය බුරුම නියෝජිතයෙක් විසින් ආචාර්ය පන්නිල ආනන්ද නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමීය. එහිදී විජිනිපත පිළිගැන්වීම සිදු කෙරිණි.

“පරත්ථං පටිපජ්ජථ” යන උතුම් සම්බුද්ධෝපදේශය මත පිහිටා පරාර්ථචර්යාව සිය ජීවන දර්ශනය කර ගනිමින් ශාසන බ්‍රහ්මචර්යාවෙහි උතුම් පරමාර්ථයන් පිළිබඳ මනා අවබෝධයෙන් යුක්තව කටයුතු සිදුකරන ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත් සංඝනේතෘවරයාණන් වහන්සේ නමකි.

උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය, අභිවෘද්ධිය වෙනුවෙන් කැපවූවා මෙන් ම සමාජ ප්‍රගමනය උදෙසා අමිල මෙහෙවරක් ඉටුකරන ආදර්ශවත් මහතෙරනමකි. ගුණ නැණ දෙකින් පිරිපුන් සිසු පරපුරක් බිහි කිරීම උදෙසා සුවිසල් පාසල් ගොඩනැඟිලි 40ක්, ඉදිකිරීම, පුස්තකාල ඉදිකිරීම සහ වාර්ෂික ව ශිෂ්‍යත්ව ලබාදීම, වතුපිටිවල රෝහලේ දියුණුව සඳහා භික්ෂු වාට්ටුවක්, සිල්මාතා වාට්ටුවක්, ඇඳන් 68කින් යුත් ළදරු වාට්ටුවක්, ලක්ෂ 160ක වියදමින් ඇඳන් 20කින් සමන්විත කොවිඩ් වාට්ටුව හා ඔක්සිජන් ටැංකි ලබාදීම, රුපියල් කෝටි හය හමාරක වියදමින් CT SCAN යන්ත්‍රයක්, ECG යන්ත්‍ර  ECHO යන්ත්‍ර VENTILATOR යන්ත්‍ර පිරිනැමීමට කටයුතු කළ උන්වහන්සේ එය අංග සම්පූර්ණ රෝහලක් බවට පත් කිරීම සඳහා ක්‍රියා කළහ.

එපමණකින් නොනැවතුණු උන්වහන්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දියුණුව සඳහා ජංගම ශල්‍යාගාරයකින් සමන්විත අති නවීන ගිලන් රථයක් අත්තනගල්ල සමුපකාර රෝහලට පරිත්‍යාග කළහ. කොළඹ මහ රෝහලට ගිලන් රථ දෙකක් ද, මෑතක දී මහනුවර මහ රෝහලට VENTILATOR යන්ත්‍රයක් ද පරිත්‍යාග කළහ. පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් ලක්ෂ 24ක මුදලක් අමෙරිකාවේ හියුස්ටන් බෞද්ධ විහාරයේ සහභාගිත්වයෙන් ප්‍රදානය කළහ. ජාතික, ආගමික, ශාසනික උන්නතිය වෙනුවෙන් මහත් කැපකිරීමක් සිදුකරන අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධියෙන් පිදුම් ලැබූ ආචාර්ය පන්නිල ශ්‍රී ආනන්ද නාහිමිපාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් ලෝසසුන් වැඩ වඩන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවායි ප්‍රාර්ථනා කරමු.

වෙසක් අව අටවක

මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 ගෙවේ.
30 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 30

Full Moonඅමාවක

ජුනි 06

First Quarterපුර අටවක

ජුනි 14

Full Moonපසළොස්වක

ජුනි 21

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]