උතුම් දර්ශනයක ඒකායන පරමාර්ථය
ශාස්ත්‍රවේදී
යටදොළවත්තේ ජිනසිරි හිමි
මෙරට ඉතිහාසයේ බුදු දහම ප්‍රතිෂ්ඨාපනය වීමට ප්‍රධානම කරුණ වූයේ මිහිඳු මහරහතන්
වහන්සේගේ වැඩමවීම යි. එය ආගමික, සාමාජික හා ආර්ථික, කලා ශිල්ප හා සාහිත්‍ය ගෘහ
නිර්මාණ, චිත්‍ර හා මූර්ති ආදී සෑම අංශයක් කෙරෙහි ම එක සේ බලපෑමක් කර ඇත. ගසට
පොත්තත්, පොත්තට ගසත් මෙන් බුදු දහම හා සිංහල ජාතිය එකට මුසු ව පවතී. බුද්ධ ශාසනය
ආරක්ෂා කිරීම හා පෝෂණය සිංහල ජනතාවගේ උරුමයක් ලෙස අපට සැලකිය හැකි වන්නේ මෙම සමීප
සබඳතාව නිසාවෙනි.
පන්සිල් සමාදන්වීමේ යම් වෙනසක් ලෙස දැකිය හැක්කේ ලංකාවේ පන්සිල් අගයන සමාජයක්
බිහිවීමයි. එම පරිවර්තනය දෙවන පෑතිස් මහ රජතුමා සිය අත තිබූ දුනු හී බිම තැබීමෙන්
අනතුරු ව දොහොත් මුදුන් තබා තිසරණ සහිත පන්සිල් සමාදන් ව බෞද්ධ උපාසකයකු වීමෙන්
සංකේතවත් වේ.
බුදුසමය තුළ සත්ත්ව කරුණාව, අන් සතු දෑ පැහැර නො ගැනීම, කාමයෙහි වරදවා නො හැසිරීම,
ඇත්ත කතා කිරීම, මද්‍යසාරයෙන් තොරවීම යන මූලික සමාජ ධර්ම පහක් නිර්දේශ කරයි.
පන්සිල් සමාදන් වීමෙන් යහපත් වූ ශිෂ්ටසම්පන්න, පුරවැසියන් බිහි කිරීමට මූලික
ශික්ෂණය ලබා දෙයි. මිහිඳු මාහිමියෝ ශ්‍රී ලාංකික ජනතාවට පංචශීලය හඳුන්වා දුන්හ.
පන්සිල් රැකීම හේතුවෙන් සමස්ත ලාංකික සමාජය ම බැබළුණේ ය.
වැඩි කලක් නො ගොස් ම බුද්ධ ධර්මය පැතිර ගිය බවට සාධක රැසක් ඇත. රෝහණ දේශයේ පාලකයා
වූයේ දෙවනපෑතිස් රජතුමාගේ සොහොයුරු වූ මහානාග යුවරජු ය. අනුරාධපුරයේ මහාවිහාරය මෙන්
ම තිස්සමහාරාමය රෝහණ දේශයේ බෞද්ධ කේන්ද්‍රස්ථානය බවට පත්විය. මේ සමඟ ලංකාවේ භික්ෂු,
භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස ඇතිවන්නට විය.
එසේම පැරැණි ඇදහිලි ක්‍රම යටපත් වී බෞද්ධ සංකල්ප මත නව සමාජ පසුබිමක් ගොඩනඟන්නට
විය. සෑම කටයුත්තක දී ම චාම්, සරල දිවි පෙවතකට ඒ තුළින් අඩිතාලම වැටිණි.
බුදුරජාණන් වහන්සේ සේබියා ධර්ම හඳුන්වා දෙන ලද්දේ උසස් සමාජ චර්යා ධර්මයකින් යුත්
භික්ෂු භික්ෂුණී සමාජයක් ඇති කිරීමට ය. එම උසස් සමාජ චර්යාවන් දුටු ලාංකික බෞද්ධ
ජනතාව එය අනුගමනය කිරීමෙන් ඉතා විනීත හා ශිෂ්ට සම්පන්න ජාතියකට පරිවර්තනය වූවා යැයි
කිව හැකි ය.
බෞද්ධ ජනතාවගේ පරමාධ්‍යාශය වූයේ නිර්වාණාවබෝධය යි. එය බුදු සසුන පැමිණීමෙන් පසු ඇති
වූ වෙනස්කමකි. එකම දර්ශනයක් හා එකම පරමාර්ථයක් ඇති ක්‍රියා කරන්නට ලක්වැසි ජනතාව
පුරුදු ව සිටියහ. දියුණුව ලෙස සලකන ලද්දේ ආර්ථික දියුණුව මෙන් ම ආධ්‍යාත්මික
දියුණුව යි. ආර්ථික දියුණුව ඇතිකර ගත්තේ ආධ්‍යාත්මික දියුණුවට හානි නො වන පරිදිය.
කෘෂිකාර්මික රටක් ලෙසට කෘෂිකර්මය දියුණු කිරීමට විශාල වැව් සිංහල රජවරුන් විසින්
තනන ලදි. ඒ ළඟින් ම විශාල දාගැබ් ඉදිකර ඇත්තේ ආධ්‍යාත්මික දියුණුව පිණිස ය. වැවයි,
දාගැබයි ආර්ථික හා ආධ්‍යාත්මික දියුණුව සංකේතවත් කළේ ය. මේ සියලු කරුණක් ම අපට උදා
වූයේ මහින්දාගමනයත් සමඟ බව එකහෙළා ම කිව හැකි ය.
එපමණක් නොව මහින්දාගමනයත් සමඟ විධිමත් ආගමික චින්තනයක් හා පුද සිරිත්, උත්සව ආදිය
හැඩගැසිණි. බුදු සමය පදනම් කොටගත් ඒ පුද සිරිත් හා ආගමික උත්සව සාමූහික
විනෝදාස්වාදයට ද අවස්ථාව උදා කළේ ය. දානමය පුණ්‍ය ක්‍රියා, ධර්ම දේශනා ආදිය මඟින්
සාමිස පී‍්‍රතියට වඩා නිරාමිස පී‍්‍රතියට ජනතාව හුරු කරනු ලැබිණි. |