[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

ප්‍රශ්නයට පිළිතුර ධර්මයට අනුව ම සොයන්න

ප්‍රශ්නයට පිළිතුර ධර්මයට අනුව ම සොයන්න

එක්තරා තරුණ භික්ෂූන් වහන්සේ නමක් පැවිදි වී අවුරුදු හත අටක් ගත වූවාට පසු ජීවත්වීම ඵලක් නැහැ ඊට වඩා මරණය සැපක් යැයි තීරණය කොට ඒ සඳහා උපක්‍රමයක් කල්පනා කළා. පසුව බෙල්ලෙ වැළලාගෙන මැරෙනවා යැයි සිතා ලණුවක් ද රැගෙන කැලයට ගොස් ලණුව ගසේ අත්තක බැඳ එහි එල්ලෙන්නට හදන කල්හි මව්පියෝ, සහොදරයෝ, ඥාතියෝ සිහිපත් වුණා.

“මා බෙල්ලෙ වැළ ලා ගෙන මැරෙන එක ඒ අයට නින්දාවක්” යැයි සිතා එදින මරණයෙන් වැළකුණා. නැවතත් පසු දිනක මැරෙන්න ඕනෑ යැයි සිතා ගඟක් ළඟට ගොස් ගඟට පැන එහි ගිලී මැරෙන්නට සිතුවා. එසේ සිතා ගඟට පනින්න හදන විට ම කල්පනා වුණා “මා ගඟේ පැන මැරුණොත් සංඝයා කතා වෙයි භික්ෂුවක් ගඟේ පැන මැරිලා එය මහ නින්දාවක්” යැයි සිතා එදින ද මරණයෙන් වැළකුණා.

මෙසේ මරණයෙන් දෙ වතාවක් ම ගැලවුන එම භික්ෂුව මැරෙන්නට ඕනෑ කියන සිතිවිල්ල ඉවත් කර ගත්තෙ නැහැ. ආයෙමත් දිනක මැරෙන්නට උපක්‍රමයක් ගැන සිතන කල්හි වස පානය කොට මැරෙනවා යැයි අධිෂ්ඨාන කර ගත්තා. එසේ අධිෂ්ඨාන කර ගෙන කැළයට ගොස් වස කුප්පියක් පානය කිරීමට සැරසෙන විටම සිතුනා මම වසා පානය කර මැරුණොත් එය බුදුරජාණන් වහන්සේට කරන නින්දාවක්. මිනිසුන් කතා කියයි. අන්න බුද්ධ ශ්‍රාවකයෙක් වස පානය කොට අපවත් වෙලා යැයි සිතා එදින ද මරණයෙන් වැළකුනා.

මේ ආකාරයෙන් දැන් එම භික්ෂුව අවස්ථා තුනක දී ම මරණයෙන් වැළකුනා. නමුදු තව තවත් කාටවත් ප්‍රශ්නයක් නො වන අයුරින් මැරෙන්නේ කෙසේ දැයි කල්පනා කරමින් සිටින එම භික්ෂුවට දක්නට ලැබුණේ අමුතුම සිද්ධියක්. තරමක් දුර තිබූ ආවාසයක කෝලාහලයක් වාගේ සිද්ධියක්. ඒ ගැන ටිකක් විපරම් කර බලන කල්හි දුටුවේ භික්ෂුන් වහන්සේ කීපදෙනෙක් කොසු ඉදල් රැගෙන එහාට මෙහාට කලබලයෙන් දුවන ආකාරයේ සිද්ධියක්. තව ටිකක් විපරම් කර බලන විට එම භික්ෂුවට වැටහුනා එම සිද්ධි මාලාව. එනම් නයෙක් කැලයක් ඇතුළට දා ගැනීමට කරන උත්සාහයක්. පසුව උන්වහන්සේට සිතුනා මරණයට පත්විය යුතු උපක්‍රමයක් සොයන මට මෙය වැදගත් බවත්, මේ නයා ලවා හෝ දෂ්ඨ කරවා ගෙන මරණයට පත්වන්නට ඕනෑ යැයි තීරණය කළා. එහෙම තීරණය කොට එතැනට සමීප වී ඒ අයට සඳහන් කළා

“ඔය නාගයා මම කැළයට ගෙන යන්නම්.” යෝජනා කොට නාගයා කැලයට රැගෙන ගොස් පළමුව කළේ කළය හොඳට සෙලවීම යි. එහෙම කළේ නයාට කේන්ති ගන්්වන්න යි. පසුව කළයේ කට විවර කොට දැන් මට මේ නයා දෂ්ඨ කරයි කියා සිතුවා. නමුත් දෂ්ඨ කළේ නෑ. ඊටපසු නයාගේ වලිගය ටිකක් මිරිකුවා. ඒත් නයා දෂ්ඨ කළේ නෑ. පසුව නයාගේ කට ඇරලා ඇඟිලි දෙකක් කට ඇතුළට දැම්මා. ඒත් එම නයා දෂ්ඨ කළේ නෑ.

ඒ වන විට අර ආරාමෙ භික්ෂූන් වහන්සේත් එතැනට පැමිණ සිටියා. එම භික්ෂුවට ලජ්ජාවකුත් ඇති වුණා. කෙසේ හෝ මැරෙන්න ගිය එම භික්ෂුව එම අවස්ථාවෙනුත් මිදුනා. දැන් ඉතින් මැරෙන ක්‍රම සියල්ල කළා. නමුත් ජීවිතය ගැන කළකිරිල සිටින නිසා ජීවත්වීමේ ආශාවක් ද නැහැ. මෙලෙස කල් ගෙවන අතර දවසක් කුමක් ද සිදුවුණේ.?

ඒ දිනවල විහාරස්ථානයේ භික්ෂූන් වහන්සේගේ හිස බෑම සඳහා කරණවෑමියෙක් ඇවිත් සිටියා. ජේතවන පොකුණ ළඟ භික්ෂූන් වහන්සේගේ හිස බෑම සිදු කළේ. ඒ කටයුතු අවසන් වී ආපසු යන කල්හි කරණවෑමියාට දැලිපිහිය ගෙන යෑමට අමතක වුණා. ඊටපසු අර භික්ෂුව එතැනට පැමිණුන අතර, භික්ෂුව දැලි පිහිය දැක එයින් බෙල්ල කපා ගන්නන සිතුවා. නැවත උප්පත්තියක් තිබෙන බැවින් හොඳ තැනක ඉපදෙන්නටත් අවශ්‍ය බව සිතා ජීවිතය ගැන ත්‍රිලක්ෂණානුකූල ව මෙනෙහි කරන්න පටන් ගත්තා. එහෙම ජීවිතය ගැන මෙනෙහි කරමින් සිටියදී අරහත්වයට පත්වුණා.

පොකුණ ළඟ සිට ආපසු එන විට දැලි පිහියත් රැගෙන ආවා. අන් භික්ෂූන් ඇහුවා ඇයි දැලි පිහියක් කියල. එම භික්ෂුව වදාළේ බෙල්ල කපා ගැනීමට ගොස් කෙලෙස් කපා ගත්ත කියල යි.

අන් භික්ෂූන් එම භික්ෂුව රහත් වූ බව පිළිගත්තේ නෑ. බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව රහත් වූ බව අන් භික්ෂූන්ට දැනුම් දුන්නා.

එම භික්ෂුවට නයා දෂ්ඨ නොකළේ එම භික්ෂුව ආත්ම ගණනකට පෙර ධනවතෙක් ව සිටි කල්හි ඔහුගේ දේපළ රැක බලා ගත් පුද්ගලයා වූයේ මේ නයා වීම නිසයි.

එම කතා පුවතින් අපට පැහැදිලි වන්නේ ඕනෑම කෙනකුට ජීවිතය ගැන කලකිරී සියදිවි නසා ගැනීමට සිතුණොත් කළ යුත්තේ ධර්මානුකූලව සිතා එයින් මිදීම ය. එලෙසම ජීවිතයේ ස්වභාවය තව තවත් සිතා එය භාවනාවකට යොමු කොට සසරින් මිදීමට ද එය ඉවහල් කර ගත හැකි ය.

මැදින් අමාවක

අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03.23 අමාවක ලබා එදිනම අ.භා. 11.53 ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]