මැදින් අමාවක පෝ දා
2024-04-08
නිවැරැදි මාවතක් ඕනෑ
අතීතයේ බරණැස් නුවර මචල නම් ගමක මඝ නම් තරුණයෙක් සිටියේ ය. හේ සමාජ සේවකයෙකි. මෙකල
සමාජ සේවකයන් යැයි නම් දරන බොහෝ අයට වඩා ඔහු වෙනස් ය. නාමයට ම ගැළපෙන ක්‍රියාවෙන්
යුතු ය. සත්පුරුෂ ය. කල්‍යාණ මිත්‍ර ය. සත්පුරුෂ ඇසුරෙහි අගය දත් තවත් තරුණයෝ තිස්
දෙදෙනෙක් ඔහුට එක් වූහ. ඔවුහු සියලු දෙනා එක්ව ඇළ දොළ, ළිං පොකුණු තැනූහ. වැව්, ඒ
දඬු ඉදිකළහ. මල්, පලතුරු, එළවළු වැවූහ. ඖෂධ වැවූහ. වන උයන් තැනවූහ. නව මං පෙත්
ඉදිකළහ. තිබූ මාර්ග පිළිසකර කළහ. එතැනින් නොනැවතුණහ. අම්බලම්, පාසල්, විහාරාරාම,
ආරෝග්‍යශාලා, රැස්වීම් ශාලා ඉදිකළහ. පරිසරයේ පිරිසුදුකම රකින්නට වැසිකිළි, කැසිකිළි
ඉදිකළහ. මං මාවත් පිරිසුදු කළහ. ඒ, ගමට, රටට, සේවය කිරීමේ පරාර්ථකාමී චේතනාවෙනි.
මේ සත්පුරුෂකම් නිසා ම මඝ ඇතුළු පිරිස එදා සමාජයේ ශ්‍රේෂ්ඨත්වයට පත්වූහ. රටේ
ප්‍රසිද්ධිය ලැබුවේ කාගේත් විශ්වාසය, ආදරය, ගෞරවය දිනා ගනිමිනි.
මේ තරුණයන්ගේ කතා බහට නිරන්තරයෙන් මාතෘකා වූයේ ද අනුන්ගේ යහපත පිණිස කළ යුතු සද්
ක්‍රියාවන් ගැන ම ය. ඔවුහු ශ්‍රමය දන් දෙමින් මහත් පුණ්‍යකර්මයක් රැස් කළ අතර ම
තවත් ගුණධර්ම හතක් පුරමින් තමන්ගේ ජීවිත ආලෝකවත් කර ගත්හ.
මව්පිය උපස්ථානය මංගල කරුණකි. දෙලොව ම සුව සදන මහාර්ඝ පින්කමකි. මඝ ඇතුළු තරුණයෝ
ජීවිතය පුරා ම මව්පියන්ට උපස්ථාන කිරීමේ ගුණධර්මය පිරූහ. වැඩිහිටියන්ට ගරු සැලකුම්
දක්වමින් පිදිය යුතු අය පිදූහ.
නිරන්තරයෙන් අනුන්ගේ සිත් සනසන මිහිරි වචන ම කතා කළහ. කේළාම් නොකීවා සේ ම ඔවුනොවුන්
අතර අසමගිය ඇතිවන, සැකය ඇතිවන, විශ්වාසය බිඳවන කතාවෙන් ද වැළකුණහ. ත්‍යාගී ගුණයෙන්
යුතු වූහ. කිසිවිටෙක බොරු නොකීහ. සත්‍ය වචන ම කතා කළහ.
කිසිම හේතුවකට කේන්ති නොගත්හ. ක්‍රෝධ නොකළහ. මෛත්‍රියෙන් ම ක්‍රියා කළහ. සප්තවත පද
යනුවෙන් හැඳින්වෙන්නේ මේ ගුණධර්මයන් ය.
ජීවන ප්‍රාතිපදාවක් ලෙස මේ ගුණ ධර්ම පුරුදු පුහුණු කළ නිසා මඝ ඇතුළු මේ සත්පුරුෂයන්
මනුලොවින් චුත වී දිව්‍යලෝකයේ පහළ වූහ. පොත පතේ සඳහන් ලෙස සක්‍ර දේවේන්ද්‍රයා බවට
පත් වූයේ ද සසර ගමනේ එක් අත් භවයෙක මඝ නම් වූ මේ තරුණයා ය.
මේ චරිතයන්ගේ ආදර්ශය ඉතාම කාලෝචිත වන්නේ අද අපේ තරුණ පරපුර අතර බොහෝ දෙනෙක් යන එන
මං නොහැඳින මං මුළා වූවන් සේ තමන්ගේ ජීවිත අනර්ථයට යොමු කොට සිටින බැවිනි. පිරිසක්
මත්ද්‍රව්‍ය භාවිතයට යොමුව විනාශ වනවා පමණක් නොව සොරකම ඇතුළු දුරාචාරයන්ට ඇබ්බැහි
වී සිටී. ජංගම දුරකථන අව භාවිතය තුළ ජීවිත විනාශ කර ගනිමින් සිටී. මේ සංසිද්ධීන්
කිහිපයක් පමණි.
අපේ තරුණ පරපුර ශක්තිමත් දැක්මක් ඇති පිරිසක් බවට පත් කරන්නට ඇප කැප වීමේ අවශ්‍යතාව
මෙකල ඉතා දැඩිව පෙනේ. ජීවිතයට ඉලක්කයක්, යහපත් අරමුණක් තිබිය යුතු ය. ඒ සඳහා
ආදර්ශයට ගතහැකි චරිත බෞද්ධ සාහිත්‍යයේ අපමණ ය. දැනුමැත්තෝ සහ වගකිව යුත්තෝ කළ යුතු
අපේ බාල, තරුණ පරපුරට ඒ ආදර්ශයන් අනුව යන්නට නිවැරැදි මඟ පෙන්වීම ය. |