[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

වැරැදීම් අතපසුවීම් අවම කරන සතිය

වැරැදීම් අතපසුවීම් අවම කරන සතිය

සතිය, එසේත් නැතිනම් සිහිය සාමාන්‍ය ජීවිතයේ පටන් බුද්ධත්වය දක්වා ම විහිදී යන අයුරු හා ප්‍රගුණ කළ යුතු ආකාරය බුදුදහම තුළින් මනාව පැහැදිලි වේ. බුදු දහමේ ප්‍රධාන ඉගැන්වීමක් සේ ම ගැඹුරු දර්ශනයක් ලෙස සති යන වචනය ප්‍රකට ය.

ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසාත්, ලෝකෝත්තර සුවය ලබා ගැනීම උදෙසාත් සතිය ඉවහල් වන අයුරු ඉතා පැහැදිලි ය. සති යනුවෙන් හඳුන්වන්නේ සිහිය යි. එය විවිධ තැන්හි භාවිත කොට ඇති අයුරු ඉතා ප්‍රකට ය. ඒ අනුව,

සතිපට්ඨාන, සති ඉන්ද්‍රිය, සති බල, සති සම්බොජ්ඣංග, සම්මා සති යනාදී තැන්වලින් සතිය පිළිබඳ විමර්ශනය කර ඇති අයුරු ඉතා පැහැදිලි ය.

සතිය පිළිබඳ වැඩිදුරටත් විස්තර කිරීමේ දී සිතෙහි යෙදෙන සම්පයුක්ත ධර්මයන් සිහි කරවන ස්වභාවය සතිය යනුවෙන් හැඳින්වේ. එය කොටස් දෙකකින් යුක්ත වේ. එනම් අපිලාපන හා උපග්ගණ්හන යනුවෙනි. පළමු කරුණින් සිහි කරවන ස්වභාවයත්, දෙවැනි කරුණින් කුසලාකුසල වෙන් කොට, අකුසල් දුරු කොට කුසල් ළඟා කරන ස්වභාවයත් පෙන්නුම් කර ඇත.

සතිය පිළිබඳ අප වෙනත් අයුරිනුත් වචන භාවිතය එදිනෙදා ජීවිතයේ දී සිදු කරනු ඇත. සිහියේ තබා ගැනීම, මතක තබා ගැනීම, සිහිය තිබෙන බව, සිහිය විකල් බව ආදී වශයෙන් විග්‍රහ වේ. සති යන වචනය කෙසේ භාවිත කළ ද වැදගත් වන්නේ එය කොතෙක් දුරට ජීවිතය හා සමගාමී ව පවතිනවා ද යන්න පිළිබඳව යි.

බුදුරජාණන් වහ්නසේ ගිහි පැවිදි දෙ පක්ෂයට ම සිහිය ඇතිව ජීවත් වන අයුරු මනාව උගන්වා ඇත. ඒ අතර භික්ෂු ජීවිතය ගත් කල්හි භික්ෂුන්ගේ සතර ඉරියව් භාවිතය, සිව්පස පරිහරණය, ශරීරයේ ස්වභාවය ආදී සෑම තැනක දී ම සිහිය භාවිත කර ගන්නා ලෙස දේශනා කොට ඇත. එයට හේතුව සත්වයාගේ මනස ස්වභාවයෙන් ම කෙලෙස්බරිත එකක් වන බැවින් වැරැදීම්, අතපසුවීම්, කරදරවලට මුහුණදීමේ ප්‍රවණතා ආදිය ඉතා වැඩි වන බැවිනි. එය තරමක් හෝ දුරට අවම කර ගැනීමට සිහිය තරම් අපට සමීප දෙයක් තවත් නොමැත.

බුදුන් වහන්සේ බුද්ධත්වය උදෙසා වඩන ලද ආනාපානසති භාවනාව මේ සම්බන්ධ ව ඉතා වැදගත් වේ. ආශ්වාස – ප්‍රශ්වාස අරමුණු කොට ගෙන කරන භාවනාව ආනාපානසති භාවනාවයි. එම භාවනාව පිළිබඳ දේශනා කිරීමේ දි සති යන වචනය ඉතා වැදගත් වේ. හුස්ම ගැනීම, හුස්ම හෙළීම ස්වභාවයෙන් (Auto) සිදුවන්නකි. එයට හේතුව එය සිහියෙන් කරන්න තිබුණේ නම් හුස්ම ගැනීමට අමතක වූ තැන දී ජීවිත හානිය පවා සිදුවන බැවිනි. නමුදු යම් කිසිවෙක් හුස්ම ගැනීම, හෙළීම සතියෙන් නොහොත් සිහියෙන් කරන්නේ නම්, එය භාවනාවක් වන බව කීමට පුළුවන.

ඕනෑම ක්‍රියාවක් කිරීම තුළින් නිරවුල් භාවය ඇති කර ගැනීමට පුළුවන. ඇත්තෙන් ම සතියෙන් වැඩ කරන ඕනෑම කෙනෙක් තුළ සංයමය, සීලාචාරකම ඇතිකර ගැනීමට පුළුවන. සිතේ සන්සුන් බව, ඉවසීම, ධාරණ ශක්තිය වැඩීම ආදි එදිනෙදා ජීවිතයේ යහපතට හේතුවන උසස් ගුණ සමුදායක් වර්ධනය වෙනු ඇත.

සතියෙන් වැඩ කටයුතු කිරීමේ දී කලබලයෙන් තොරව කිරීමටත්, ක්‍රමවත් ව හා පිළිවෙළට කිරීමටත්, එපමණක් නොව සාර්ථක ප්‍රතිඵල ඇතිව නිමාවක් දැකීමටත් එතුළින් ශක්තිය ලැබේ.

භාවනාවට සතියත් සම්බන්ධ වූ තැන මෙලොව වශයෙන් කායික මානසික දෙඅංශයෙන් ම සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකි ය. හෘදයාබාධ, ඇදුම වැනි රෝග පවා භාවනා කිරීමෙන් නැති කර ගත හැකි ය. හදිසි බලාපොරොත්තු කඩවීම්, ඥාති හිතමිතුරන්ගේ ඛේදජනක අවස්ථාවන්හි දී කම්පනයෙන් තොරව සංවේදී ව මුහුණ දීමේ හැකියාවත් සතියෙන් වැඩ කිරීමෙන් ජීවිතයට ලැබෙන ප්‍රතිඵලයන් ය.

යහපත් සිහිය, හොඳ සිහිය, නිවැරැදි සිහිය එදිනෙදා ගත කරන ඕනෑම ජීවිතයකට අත්‍යවශ්‍ය දෙයකි. සමාජ සංස්ථාව යහපත්වීමට නිරවුල් භාවය අත්‍යවශ්‍යය ය. නිරවුල් භාවයට යහපත් සිහිය අවශ්‍ය ය. සමාජ සංස්ථාව ගත් කල්හි

මවුපිය – දූදරු, ගුරු – සිසු, ස්වාමි – භාර්යා, ස්වාමි – සේවක, ගිහි – පැවිදි වශයෙන් ඒ ඒ සමාජ ස්ථරයන් ඔස්සේ විකාශනය වූ වැඩ කටයුතු කොටසක් ද පවරා ඇති අයුරු සිඟාලෝවාද සූත්‍රය තුළින් මනාව පැහැදිලි කොට ඇත. ඒ අනුව ඒවා යුතුකම් හා වගකීම් වශයෙන් දක්වා ඇත. උදාහරණයකට මවුපිය – දූදරු, යන මූලික සමාජ සංස්ථාවේ මව්පියන්ගෙන් දරුවන්ට කරුණු පහකුත්, දරුවන්ගෙන් මව්පියන්ට කරුණු පහකුත් අන්‍යොන්‍ය වශයෙන් ඉටු කළ යුතු ය.

රටක් ලෝකයක් ගොඩනැඟීමේ දී එහි මූලික පියවර වන්නේ පවුල් සංස්ථාව යි. මව්පිය දූදරු යන අත්තිවාරම තුළින් ගොඩනැඟෙන විශාල සංස්ථාවකි. එය ශක්තිමත් ව විකාශනය වීමට නම් නිරවුල්භාවය අත්‍යවශ්‍ය වේ. ඒ සඳහා ප්‍රධාන හා පළමු අංගය වන්නේ සතිය යි. එනම් සිහිය යි.

මවුපියන් තමන් මවුපිය භූමිකාව තුළ සිටින්නවුන් බවට හොඳ සිහි කල්පනාවක් තිබිය යුතු ය. ඒ අනුව බුදු හිමි මවුපියන්ට දුන් පූජනීය ස්ථානය පිළිබඳ සිහියක් තිබිය යුතු ය. එම තත්ත්වය රැක ගැනීම සම්බන්ධව ද සිහියක් තිබිය යුතු ය. දූදරුවන් තුළ ද තමන් දූදරුවන්ගේ භූමිකාව තුළ සිටින්නවුන් බවට හොඳ සිහියක් තිබිය යුතු ය.

ඒ අනුව මුළු සමාජ සංස්ථා සියල්ල පිළිබඳ ම හොඳ සිහි කල්පනාවෙන් ද, ඒ ඒ ස්ථරයන් හා කටයුතු පිළිබඳ සිහි කල්පනාවෙන් ද කටයුතු කිරීම තුළින් නිරවුල් ජීවිතයක් සේ ම නිරවුල් සමාජයක් ගොඩනැඟීමට ඍජුව බලපාන්නක් වන්නේ ය.

උසස් මනසක් ලැබූ අප සියලු දෙනා ම හොඳ සිහිකල්පනාවකින් කටයුතු කොට නිරවුල් ජීවිතයක් ගත කිරීමට උත්සාහවත් විය යුතු ය. සමාජ යුතුකම් හා වගකීම් ද දැන හඳුනාගෙන නිරවුල් ව පිළිවෙළට කටයුතු කරන පිරිසක් වීමට ද උත්සාහවත් විය යුතු ය. එය රටක, සමාජයක පමණක් නොව මුළු ලෝකයට ම සමගිය, සහජීවනය, සදාචාරය කැඳවිමට හේතු වන්නක් බව සිතට ගත යුතු ය.

මැදින් අමාවක

අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03.23 අමාවක ලබා එදිනම අ.භා. 11.53 ගෙවේ.
08 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

අප්‍රේල්  08

First Quarterපුර අටවක

අප්‍රේල්  15

Full Moonපසළොස්වක

අප්‍රේල්  23

Second Quarterඅව අටවක

මැයි 01

 

 

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]