[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

සම්බුදු දහම දාර්ශනික චින්තනයකි

සම්බුදු දහම දාර්ශනික චින්තනයකි

දෙවන පෑතිස් රජතුමා තෙරුවන් සරණ ගිය බෞද්ධ පාලකයකු බවට පත්වීම ශ්‍රී ලාංකික සමාජයේ විශේෂතා රැසකට මඟ පෑදීමක් විය.

අනුබුදු මිහිඳු මාහිමියන්ගේ වැඩමවීමත් සමඟ ක්‍රමවත්, විධිමත්, හරවත්, අර්ථවත් ආගමක් වන බුදු දහම ලැබීමත් සමඟ ආගමික ඇදහිලි පුද පූජා මෙන්ම විශ්වාසයන්හි විශාල වෙනසක් ඇති වූ බව පැහැදිලි වෙයි. බුදු දහමෙහි ශ්‍රේෂ්ඨත්වයට අභියෝග කළ හැකි කිසිදු දහමක් ප්‍රාග් මහින්ද යුගයේ ද ලක්දිව නොපැවතිණි. මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩම කිරීමෙන් ලක්වැසියන්ට ලැබුණේ හුදෙක් ආගමක් පමණක් නොවේ.

බුදු දහම යනු ආගමක් මෙන්ම ජීවන දර්ශනයකි. දාර්ශනික චින්තනයකි. සර්වකාලීන අගයෙන් යුක්ත ඉගැන්වීමකි. කාලදේශගත ව්‍යාප්තියට අනුව අගය අඩු නොවන දර්ශනයකි. ඕනෑම ජන සමාජයකට ගැළපෙන දහමකි.

මෙබඳු සුවිශේෂී ලක්ෂණ ප්‍රාග් මහින්ද යුගයේ ලක්දිව පැවති කිසිදු දහමකින් දක්නට නො ලැබෙයි. ඒ නිසාත් විශේෂයෙන් ප්‍රධාන පුරවැසියා වූ දෙවන පෑතිස් රජතුමා ඇතුළු රාජකීයයන් තෙරුවන් සරණ ගිය බෞද්ධයන් බවට පත්වීම නිසාත් මහින්දාගමනයෙන් පසු ආගමික ඇදහිලි හා විශ්වාසයන්හි විශාල වෙනසක් ඇති වූ බව පෙනේ.

එතෙක් පැවැති ආගමික ඉගැන්වීම් බුදු දහමට අනුව හැඩගැසීම සිදු වූ විශේෂ කාර්යයකි. ඇතැම් ආගම් එසේ සංශෝධනාත්මක ව සැකසුන අතර ඇතැම් ආගම් මුළුමනින් ම අභාවයට පත්විය. නිර්මාණවාදී ආගමක් වූ බ්‍රාහ්මණ ආගමික ඉගැන්වීම් ක්‍රමයෙන් පිරිහීමට පත්වූයේ බුදුදහමට අනුව විශ්වය හා ප්‍රජාව සර්වබලධාරී දෙවියකුගේ මැවීමක් නොවන බව බුදුදහමට අනුව උගන්වන බැවිනි.

මිහිඳු හිමියන් වැඩම කිරීමට පෙර රජතුමාට අවවාද අනුශාසනා කරන ලද්දේ බ්‍රාහ්මණ පුරෝහිතයන් විසිනි. එහෙත් මහින්දාගමනයෙන් පසු එම සේවාව බෞද්ධ භික්ෂූන්ට පැවරිණි. දෙවන පෑතිස් රජු මිහිඳු හිමිගේ උපදෙස් අනුව රාජ්‍ය පාලන කටයුතු සිදු කළේ ය. මේ අනුව ප්‍රාග් මහින්ද යුගයේ ඉතා ප්‍රබලතම ආගම වූ බ්‍රාහ්මණ ආගම ක්‍රමයෙන් අභාවයට ගියේ ය. මිථ්‍යා දෘෂ්ටිගත ආගම්වලට පැවැත්මක් නැති විය.

ගිනි දෙවියන් පුදන, ජටා මඩලු දරන ජටිල ආගම ද ක්‍රමයෙන් අභාවයට පත් වී ඇත. ජනතාව නවතම දහම වටා ඒකරාශී වීමත් ඒ ඇසුරින් බුද්ධිමත්ව, විචාරශීලිව, කටයුතු කිරීමට පෙළඹීමත් නිසා මිථ්‍යා මතවාද පදනම් කරගත් ආගම්වල පැවැත්ම අහිමි විය.

ඇතැම් ආගම් බෞද්ධ සංකල්පවලට අනුරූපීව සැකසුන ආකාරය දැකිය හැකි තවත් විශේෂ ලක්ෂණයකි. වෘක්ෂ වන්දනාව, නාග වන්දනාව, දේව වන්දනාව, මළවුන් පිදීම වැනි ආගමික සංකල්ප බුදුදහමට අනුරූපී වන ලෙසින් සකස් වී ඇත. සංඝමිත්තා රහත් තෙරණිය ප්‍රධාන අටලොස් කුලවල ජනයා ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කරවීමෙන් පසු බෝධි වන්දනාවට ජනතාව පෙළඹුණහ. බෝධීන් වහන්සේ සම්බන්ධ සංස්කෘතියක් රටතුළ ව්‍යාප්ත විය. ඒ අනුව පුරාණයේ විශාල ගස්වලට වන්දනා කළ ලාංකිකයෝ මහින්දාගමනයෙන් පසු බෝධි වන්දනාවට නැඹුරු වූහ. බුදුරජාණන් වහන්සේට සම්බුදු පදවි ලැබීමේ දී උපකාර වූ මෙම පාරිභෝගික වස්තුව ජනී ජනයාගේ නොමද ගෞරවයට, අභිමානයට පාත්‍ර විය. පසුකාලීනව රාජ්‍යත්වයේ සංකේතය බවට ද බඳුන් වූයේ, ශ්‍රී මහා බෝධියේ ආරක්ෂකයා ලාංකීය රජු විය යුතු බවට ජනගත වීමෙනි.

මළවුන් ඇදහීම පෙර දවස ලක්වැසියන් අතර පැවති ආගමික පිළිවෙතකි. එම සංකල්පය ද මළවුන් ඇදහීම වෙනුවට මළවුන්ට පින් දීමට පෙළඹීම තුළින් බුදු දහමට අනුරූපීව සකස්වූ බව පෙනේ. මියගිය ඤාතීන්ට පින්දීම කළගුණ සැලකීමේ චාරිත්‍රයක් ලෙසින් ද, පින්කමක් වශයෙන් ද බෞද්ධ ජනතාව අගය කළහ. දාන, ශීල භාවනාදී විවිධ පින්කම් කොට ඉන් ජනිත වන පින් මියගිය ඤාතීන්ට අනුමෝදන් කරවීමෙන් දුගතිගාමී ව සිටින ඤාතීන්ට සුගතිගාමී වීමට අනුබලයක් ලෙසින් සැලකූහ.

පෙර දවස නාගයන් වන්දනා කිරීමේ පිළිවෙත වැදගත් කොට සැලකූ අතර බුදු දහම වැලඳ ගැනීමෙන් පසු නාගයන් වෙනුවෙන් කෝවිල් ඉදිකිරීම වෙනුවට නාගයා යනු බුද්ධ චරිතය හා සම්බන්ධ ව සුවිශේෂී සත්වයකු ලෙස සිතා නාගයාට ගරු කිරීමට ලක්වැසියෝ පෙළඹුනණහ. බෞද්ධ සිද්ධස්ථානවල ආරක්ෂකයකු ලෙසින් ද නාගයා පිළිබඳ සංකල්ප ගොඩනැඟී ඇත. පූජනීය ස්ථානවලට පිවිසෙන විට පියගැට පෙළ දෙපස කලාත්මක මුරගල් නාගයාගේ රූපවලින් නිරූපණය කළ අතර බෞද්ධ ආරක්ෂයකු ලෙස පෙණ ගොබ තුනකින්, පහකින්, හතකින් යුත් නාග රූප දැකිය හැකි ය.

පෙර දවස පැවති දේව වන්දනාව වෙනුවට දෙවියන්ට පින්දීමට ලාංකිකයන් පුරුදු විය. දාන, ශීල, භාවනා දී විවිධ පින්කම් කොට රැස්කර ගත් පින් දෙවියන්ට අනුමෝදන් කිරීම තුළින් දේවාශිර්වාදය ලද හැකි බව සමාජගත කළහ. විෂ්ණු, සමන්, කතරගම, දෙවිවරු විශේෂත්වයෙන් ගෞරවයට පත් වූහ. ගස්ගල්, පර්වත වන්දනාවේ යෙදුණු ලාංකිකයන්ට ධාතු නිදහිත මහා චෛත්‍ය වන්දනාව පුරුදු කළහ. රුවන්වැලි මහා සෑය, අභයගිරිය, ජේතවනය, මිරිසවැටිය ආදී මහ දාගැබ් මෙන්ම රටපුරා ගම් නියම්ගම් කරා චෛත්‍ය වන්දනාව විහිදී ගියහ. ධාතු වන්දනාව ප්‍රවර්ධනය විය. සිල් සමාදන් වීම, දන්දීම, භාවනා කිරීම, ධර්ම දේශනා පැවැත්වීම ජීවිතයේ එදිනෙදා කාර්යය බවට පත්විය. වැවයි දාගැබයි සංකල්පය හඳුන්වා දී පොදු ජනතාවගේ ලෞකික ජීවිතයේ දියුණුවත්, ආධ්‍යාත්මික ජීවිතයේ සංවර්ධනයත් ඇති කළහ.

මෙසේ මහින්දාගමනයෙන් පසු ලක්වැසියන් අතර පැවැති මිසදිටු මතවාද සහිත සංකල්ප අභාවයට පත් වූ අතර ඇතැම් ආගමික මතවාද බුදු දහමට අනුව විචාරශීලීව, බුද්ධිමත්ව, ක්‍රියා කරන තත්ත්වයට පත්ව දෙලොව ම යහපත උදාකර ගැනීමට පෙළඹුණ අයුරු දැකිය හැකි ය.

උඳුවප් අව අටවක

ජනවාරි 03 බදාදා අ.භා. 07.48 අව අටවක ලබා 04 බ්‍රහස්පතින්දා අ.භා. 10.03 ගෙවේ. 04 බ්‍රහස්පතින්දා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 04

Full Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසළොස්වක

ජනවාරි 25

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2024 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]