උඳුවප් අව අටවක පෝ දා 2024-01-04
ජීවිතයට රැකවරණය
ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා යන ලෝ දහමට පිටුපාන්නට කිසිවකුට නොහැකි ය.
එහෙත් බොහෝ දෙනා බලාපොරොත්තු වන්නේ ලාභය ම පමණි. ඔවුහු නො ලැබීම් පැමිණි වහාම
දුකින්, කනගාටුවෙන් කල් ගෙවති. පීඩාවට පත්වෙති. යසස ද එසේම ය.
නින්දා නො ලබන කෙනෙක් නොවන බව බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කොට වදාළහ.
ලාභාපේක්ෂාවෙන් ඉහවහා ගියා සිත් ඇති දුදනන්ගේ පෙළඹවීමෙන් චිංචිමානවිකාව නම් අඥාන
ස්ත්‍රියක් බුදුරදුන්ට පවා නින්දා කිරීමට උත්සාහ කළා ය. අප තථාගතයන් වහන්සේට පවා
එවැනි අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදු වූවා නම් කෙලෙස් භරිත සාමාන්‍ය පුද්ගලයන් ගැන
කවර කතා ද?
නින්දා හමුවේ කළකිරුණු සිතින්, දරාගත නොහැකි සිතින් අතිශයින් පීඩාවට පත්වන සමහරු
ජීවිතයෙන් පවා පලායාමට දරන උත්සාහයන් අපි දකිමු. එහෙත් නිවැරැදි පුද්ගලයකුට කොපමණ
නින්දා අපහාස පැමිණියත් හිරු දුටු පිනි සේ ඒ සියල්ල මැකී යනු ඇත. එතෙක් ඉවසීමෙන්
මුහුණ දිය යුතු ය. අපේ ජීවිතයට ඒ ආදර්ශය සම්බුද්ධ චරිතයෙන් ම ලබාගත හැකි ය.
ජීවිතයේ සැප මිස දුක දැකීමට කිසිවෙක් අකැමැති ය. එහෙත් සදාකල් සැප විඳින්නෝම
නොවෙති. මොහොතින් මොහොත වෙනස් වන මේ ලෝ දහමට ශක්තිමත් සිතින්, උපේක්ෂාවෙන් මුහුණ
දෙන ලෙස අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළහ.
එසේ ජීවිතයේ නැඟීම්, බැසීම් දරා ගැනීමට ශ්‍රී සද්ධර්මය අපට මඟ පෙන්වයි. ධර්මය දැන
ඉගෙන, හොඳින් අවබෝධ කොට, නුවණින් විමසා ජීවිතයට ප්‍රායෝගික කර ගත යුතු ය. ධර්මයෙහි
හැසිරෙන පුද්ගලයා ධර්මය විසින් ම ආරක්ෂා කරන බව සම්බුදු දහම අපට උගන්වයි. දහමට අනුව
ජීවත් වන්නේ නම් බොහෝ අනතුරු, විපත්වලින්, අභාග්‍ය සම්පන්න අවස්ථාවන්ගෙන් බේරී
සිටීමට, රැකවරණය ලැබීමට අවස්ථාව ලැබෙනු ඇත.
මේ ලොව අපමණ සත්වයෝ වෙති. ඒ අතර මනුසතා සුවිශේෂ ය. ඒ හොඳ නරක පිළිබඳ අවබෝධ කොටගෙන
බුද්ධියෙන් තීරණ ගැනීමට ඇති හැකියාව නිසා ය.
දුකක දී, කරදරයක දී බොහෝ දෙනෙක් දෙවියන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කරති. ජීවිතයේ
සුවිශේෂී අවස්ථාවන් සපල කර දෙන ලෙස දෙවියන්ට පූජෝපහාර දක්වති. එහෙත් දෙවි රැකවරණය
ලද හැකි මඟ එය නොවේ. ඒ සඳහා නිසැක මඟක් ඇත.
එක් අවස්ථාවක සක් දෙවිඳු මිනිස් ලොව දෙසට හැරී නමස්කාර කරනු දුටු මාතලී දෙව් පුත් ඒ
ගැන සක් දෙවිඳුගෙන් විමසී ය. එවිට සක් දෙවිඳු පෙන්වා දුන්නේ පන්සිල් සුරකින මිනිස්
ලොව සිල්වතුන්ට තමන් නමස්කාර කරන බව ය. හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී යන
කියමන් ජන වහරට එක් වන්නේ ද බෞද්ධ සාහිත්‍යයේ එන මේ සිදුවීම් ඇසුරිනි.
ජීවිතයට රැකවරණය ලබන මඟ සිල්වත් වීම ය. කිරලිය බිජුවට රකින්නා සේ, සෙමෙරා වල්ගය රැක
ගන්නා සේ, මවුපියන් තම එකම පුතු රැක ගන්නා සේ, එකැස් ඇත්තා ඒ ඇස රකින්නා සේ සිල්
ආරක්ෂා කර ගත යුතු ය. බුද්ධාදී උතුමන් වහන්සේට ගෞරව ඇතිව, පි‍්‍රයශීලීව ජීවත් වන්නෝ
එවැන්නෝ ය. සොබා දහම පවා ඔවුහු රැක ගනු ඇත. |