මනු ලොව පින් කරදෙව් ලොව ලද සැප
ශාස්ත්‍රපති
දෑරංගල මංගල හිමි
විමානවත්ථු පාලියෙහි දිව්‍ය විමානවල සැප විඳින දෙවි දේවතාවරු සිටින බව සඳහන් වේ.
ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක වූ මුගලන් මහරහතන් වහන්සේ ද දෙව්ලොව ගොස් එම
සැප සම්පත් දැක ඊට හේතු වූ කුසල විපාක පිළිබඳ විමසන ලදී. දිව්‍ය විමානයන්හි සැප
විඳින ආකාරය මෙසේ පැහැදිලි කර දේශනා කරන ලදහ.
එක්තරා දෙවිදුවකගේ විමානය මිහිරි අඹඵල තිබෙන වනයකි. එය අම්බ විමානය නම් විය. එය ඉතා
රමණීය ය. එහි දිව්‍ය අප්සරාවන් සිටිනා මඟ විශාල ප්‍රසාදයක් තිබේ. එසේම නිතරම රන්
පහනක් දැල්වෙයි. ශරීර සම්පත්තිය රන් පැහැයෙන් දිලිසෙයි. එවැනි දිව්‍ය සම්පත්තියක්
ලැබීමට කරන ලද කුසලය නම්, අඹ ගසින් පිරුණු විහාරයක් කරවා මහා සංඝරත්නයට සඟ සතු කොට
දන් දී, පහන් දල්වා පූජා කිරීම වේ.
රන්වන් ශරීරයක් තිබෙන රන්වන් කොඩියෙන් දිලිසෙන, රන්වන් ආභරණයෙන් සැරසුණු, රන් සඳුන්
තවරන ලද සිරුරක් ඇති දෙවිඳුවක් සිටියේ ය. රන් අසුන්, රන් යහන්වලින් යුතු රන් මහල්
ප්‍රාසාදයකි.
එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව
මිනිස් දුවක් ව සිට, මඟ පිපුණු වැටකොළු මල් හතරක් බුදුරදුන්ගේ ධාතු නිධන් කළ
චෛත්‍යයකට පූජා කිරීමට රැගෙන ගිය ද චෛත්‍යය වෙතට යෑමට නොහැකි විය. එහෙත් සිතේ පූජා
සිතිවිල්ල තිබුණි. පසුව මියගොස් දෙව්ලොව උපත ලැබුවා ය.
දොළොස් යොදුන් උස කුළුණු ඇති නෙළුමින් ගැවසී ගත් ප්‍රාසාදයකි. එහි වෙසෙන දිව්‍ය
පුත්‍රයෙක් සිටියේ ය. මිණි කැටයෙන් කරන ලද සත් සියයක් ගෙවල් ද ඇත. ඒවායේ හිඳ කමින්
බොමින්, වීණා නද අසමින්, රනින් සැරසුණු දිව්‍යාංගනාවන් සමඟ ගැවසී සිටින්නේ ය.
එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, මිනිස් ලොවදී අඹ වනයකට දිය ඉසින
පුරුෂයෙක් වී සිටියදී, මහා සැඩ හිරු රැස් ඇති දිනක එක් ස්වාමීන් වහන්සේ නමක්
විඩාවෙන් පිපාසයෙන් දිය සොයමින් මඟ වඩිනු දැක අඹ වනයට වඩින ලෙස ආරාධනා කොට
උන්වහන්සේට ස්නානයට පහසුකම් සලසා සතුටු කළේ ය. එය ඔහු කළ පිනයි.
චන්ද්‍රයා මෙන් බබළන, මනා රූපශ්‍රීයෙන් පිරි උසස් වූ විමානයක, ආභරණයෙන් සැරසී සිටින
දිව්‍ය පුත්‍රයෙකි. දිව්‍ය විමානයෙහි සතුටු වන නාටිකාංගනාවන් සූසැටකි. නටති, ගයති,
වයති, සතුටු වෙති. එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, මිනිස් ආත්ම
භාවයෙහි සිටිය දී අනුන්ගේ ගවයන් බලා ගන්නකු වී සිටී. ඔහු ගවයෝ කෙතට හැර දමා සිටිය
දී එක් ස්වාමීන් වහන්සේ නමක් දැක ධර්මය අසා පැහැදී කැවුම් පූජා කළේ ය. එසේ කොට නැවත
ගවයන් බලන්නට යන විට සර්පයෙක් දෂ්ඨ කිරීම හේතුවෙන් දුක්විඳ මරණයට පත්විය. පැවිදි
උතුමන් කැවුම වළඳා පින් අනුමෝදන් කළ බැවින් ඒ මොහොතෙහි දිව්‍ය ලෝකයෙහි උපත ලැබීය.
තාරකාවන්ට අධිපති, ශක්‍ර ලකුණු ඇති, දෙවියන්ට සමාන චන්ද්‍රයා මෙන් බබළන දිව්‍ය
විමානය ද උදා හිරුමෙන් බබළන දිව්‍ය පුත්‍රයෙකි. රන්, රිදී, පළිඟු මැණික්වලින්
සෑදුණු ප්‍රාසාදයකි. දිව්‍ය මසුන් ඇති ජලය පිරි පොකුණු ද නෙළුම්මලින් ගැවසුණු මනරම්
සුවඳ පොකුණු ද මිහිරි ඵල ඇති වනයන් ඇති දිව්‍ය සළු පැළඳි අප්සරාවෝ දිව්‍යාංගනාවෝ
සැරසීගෙන එහි වාසය කරති.
එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම් සිදුහත් කුමරුගේ කන්ථක අශ්වයා වීමයි.
එම දිව්‍ය පුත්‍රයා ඒ සිද්ධිය මෙසේ පවසයි. “සසරින් එතෙර වීමේ ධර්මය සොයා යන ගමනේ දී
සිදුහත් කුමරුන් උසුලාගෙන ගියෙමි. එය මා ඉතා සතුටු සිතින් කළෙමි. නේරංජනා ගඟෙන් එතර
වී සිදුහත් කුමරු අප හැර දමා ගිය මොහොතේ ඉතාමත් දුක් මුසුව බලා සිටියෙමි. එහිදී ඇති
වූ ශෝකය දරාගත නොහැකිව, හෘදයාබාධයක් ඇති වී මා මිය ගොස් තව්තිසාවේ උපත ලැබීය.
නොයෙක් පැහැ ඇති මහානුභාව සම්පන්න, සුනිර්මිත දිව්‍ය ජනයා මෙන් දිලෙන, චන්ද්‍රයන්
මෙන් බබළන, දිව්‍ය අප්සරාවන්ගෙන් ගැවසීගත් දිව්‍ය පුත්‍රයෙකි. යසසින්, පිනෙන්
ශ්‍රේෂ්ඨ උත්තමයෙකි. නිතර වැඳුම් පිඳුම් ලබන දිව්‍ය පුත්‍රයෙකි. එවැනි දිව්‍ය
සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, සුමේධ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීමයි.
පෘථග්ජන පුද්ගලයෙක් වී සිට දහම් අසා පැවිදිව සත් වසක් දහම්හි හැසිරුණු අයෙකි. සුමේධ
බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ පසු ධාතු චෛත්‍යයට වැඳ නමස්කාර කොට සිත පැහැදවිය.
පුදන්නට දානයක් නොමැතිව සිටියදීත් බුදුන් වහන්සේට වැඳ නමස්කාර කළ බැවින් දිව්‍ය
සම්පත් ලැබීය.
මනා කොට වූ සිරුර, තාරකාවක් සේ බබළන දිව්‍යාංගනාවකි.
එවන් දිව්‍ය සම්පත් ලැබීමට කළ කුසලය නම්, එක්තරා ජීවිතයකදී ස්ත්‍රියක්ව ඉපිද
භික්ෂූන් වහන්සේ නමකට පිඬුසිඟා වඩින වේලේ ඇසළ මල් කළඹක් පූජා කිරීම ය.
මනාකොට දිළිසෙන සිරුරක් ඇති තාරකාවක් සේ බබළන, නටනවිට දිව්‍ය ශබ්දයක් ඇසෙන සහ අඟ
පසඟින් දිව්‍ය, සුවඳ විහිදෙන, කෙස්වල පැළඳි මනරම් ආභරණ හඬ ඇසෙන, හිසෙහි සියලු දිග
පැතිරෙන සුවඳ ඇති, විසිතුරු මල් දමකි. මේ එක්තරා දිව්‍යාංගනාවකි. එවැනි දිව්‍ය
සම්පත් ලැබීමට කළ කුසලය නම්, පෙර ආත්ම භාවයෙහි තමන්ගේ යෙහෙළිය පූජා කළ ආරාමය දැක
සිත පහදවා ගෙන සිටීම යි. ඒ මහා දානය දැක සිත පහදවා ගෙන පින් අනුමෝදන් කර ගැනීමෙන්
මෙසේ දිව්‍ය සම්පත් ලබා ඇත. එවිට එසේ දන් දුන්නා වූ යෙහෙළිය මරණින් මත්තෙහි
නිම්මානරතී දෙව්ලොවෙහි වාසය කරන බවත්, සුනිම්මිත දිව්‍ය රාජයාගේ බිරිඳ වී උපත ලබා
ඇති බවත් එම දෙව්දුව විසින් සඳහන් කරයි. එසේ නම් එතුමිය කළ කුසලය කෙතරම් බලවත් දැයි
සිතිය හැකි ය.
එක්තරා දෙව්දුවක් ඉතාමත් රූපශ්‍රීයෙන් තාරකාවක් මෙන් බබළමින් දෙව්ලොව වාසය කරන විට
මුගලන් මහරහතන් වහන්සේ එයට කළ කුසලය විමසා සිටියේ ය. එවැනි දිව්‍ය සම්පත්තියක්
ලැබීමට කළ කුසලය නම්,
මිනිස් ආත්මභාවයක් ලැබ තමන්ගේ මාමාට ලේලිය වී ජීවත් වූවා ය. එහිදී දිනක් පිඬුසිඟා
වඩින, ඉතා අල්පේච්ඡ, රාගාදිය හැර දැමූ පැවිදි භික්ෂුවක් දැක සිත පහදවා ගෙන උයන ලද
කැවුමක් පූජා කරන ලදී. ඒ පිනෙන් සිරුර පැහැපත් වී දිව්‍ය සැප ලබන්නී ය.
එක්තරා දෙව්දුවක් ඉතා ආනුභාව සම්පන්න දිව්‍ය විමානයක දිව්‍ය අප්සරාවන් සමඟ ඉතා
සතුටින් වෙසෙන්නී ය. විසිතුරු ප්‍රාසාදයෙහි කති. බොති. නටති. අතිශයින් බබළන මහල්
ප්‍රාසාදයකින් යුක්ත ය. මෙසේවීමට හේතුව මුගලන් මහරහතන් වහන්සේ විමස යි.
එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, මිනිස් දුවක් වී සිටින විට
බුදුරජාණන් වහන්සේගෙන් දහම් අසා උපාසිකාවක් වීමයි. පන්සිල්හි පිහිටා කිසිවකුගේ
දෙයක් නො ගෙන, තමන්ගේ ස්වාමියාගෙන් පමණක් සතුටු වී, මත්පැන් පානය නොකොට, බොරු
නොකීමෙන් දිවි ගෙවීය. පහන් සිතින් දානය පූජා කරන්නට විය. එසේ කළ පිනෙන් දිව්‍ය
සම්පත් ලැබීය.
අලංකාර දිව්‍ය සළු පැළඳගත්, දිව්‍ය මල්වලින් ගැවසුණු, දිව්‍ය ආභරණින් සැරසුණු
දිව්‍යමය රන් සිරුරක් ඇති දිව්‍යංගනාවකි. රනින් කරන ලද වේදිකාවකි. එය සැන්ඳෑ වලාවක්
මෙන් ය. බබළන විදුලියක් සේ ය. මෙසේ වීමට හේතු කුමක්දැයි මුගලන් මහරහතන් වහන්සේ
විමසයි.
එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, මිනිස් ආත්මභාවයෙහි මිනිසෙක් වී
සිටියදී ආගන්තුක පැවිදි උතුමකුට අසුනක් පූජා කරනු ලැබීම යි. ශක්ති පමණින් දන් දී
ඇඟිලි බැඳ නමස්කාර කිරීමයි. ඒ පිනෙන් වර්ණ සම්පත් ලැබ මහා රනින් කරන ලද වේදිකාවක්
ලැබුණි. සතුටු වීමට විමානයක් ලැබුණි.
අලංකාර දිව්‍ය සළු හැදගත් දිව්‍යාංගනාවකි. එමෙන්ම මිණිකැට ඔබ්බ වූ උදාර පීටයකි.
සිරුර රනින් දිලිසෙයි. විදුලියක් මෙන් බබළයි.
එවැනි දිව්‍ය සම්පත් ලැබීමට කළ කුසල කර්මය නම්, මිනිස් ආත්මභාවයෙහි මිනිස් දුවක් වී
ඉපදී ආගන්තුක භික්ෂූන් වහන්සේ නමකට අසුන් පිරිනමා, දන් දී ඇඟිලි බැඳ නමස්කාර
කිරීමයි.
අලංකාර දිව්‍ය සළු හැඳගත් දිව්‍යාංගනාවකි. එමෙන්ම රනින් කරන ලද උදාර පීඨයකි. සිරුර
රනින් දිලිසෙයි. විදුලියක් මෙන් බබළයි. සැන්ඳෑ වළාකුලක් මෙන් බබළයි.
එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසල කර්මය නම්, මිනිස් ආත්මභාවයේ දී මිනිස්
දුවක්ව සිටියදී රාග, කෙලෙස් නැති භික්ෂුවකට නො කැළඹුණු සිතින් සියතින් ම පුටුවක්
පූජා කිරීමයි.
නෙළුම් පෙති වැනි ඇස් ඇති දිව්‍යාංගනාවකි. නොයෙක් රන්වලින් කරන ලද සන්නද්ධ ආභරණින්
සැරසුණු ශක්තිමත්, මනරම්, නිල් මානෙල් මලින් ගැවසුණු රනින් කළ මල්දම් දරන්නා වූ මේ
දෙව්දුව ඇත් වාහනයකින් ඇත් පිට නැගී නො සෙල්වෙමින් යයි. එම ඇත් වාහනය මැනවින් පා
තබමින් ගියද නො සෙල්වෙයි. ඉතා සැහැල්ලුවෙන් ගමන් කරයි. එහි නෙළුම් මල් ගවසා ඇත. ඉතා
මිහිරි ඝන්ඨා දෙකක් දෙපසින් වැයෙයි. ඒවායේ ශබ්දය පංචසිඛ වීණා මෙන් ඇසෙයි. දිව්‍ය
කන්‍යාවන් සමූහයක් මේ ඇත් යානය පිරිවරාගෙන ගමන් කරයි. මෙසේ වීමට කළ කුසලය කුමක්
දැයි මුගලන් මහරහතන් වහන්සේ විමසයි. එවැනි දිව්‍ය සම්පත් ලැබීමට කළ කුසලය නම්,
ශ්‍රමණ ගුණයෙන් යුක්ත, ධ්‍යාන ආදියට සම වැදුණු, සත් පුරුෂ, දැහැන්ගත වූ උතුම්
භික්ෂූන් වහන්සේ නමකට වැඩහිදීම පිණිස අලුතින් මල් අතුරන ලද, රෙදි අතුරන ලද අසුනක්
පූජා කිරීමයි. එහි හාත්පස බිම භාගයක් පමණ නෙළුම් මල් අතුරා මගේ අතින්ම මල්පෙති
විසුරුවන ලදී. එම කුසල කර්මයන්ගේ විපාක වශයෙන් මෙසේ උතුම් සැප සම්පත් ආනුභාවයෙන්
ලැබුණි.
එසේම යමෙක් කෙළෙස් තුනී කළ, දැහැමිව විදර්ශනා මඟ වඩින බ්‍රහ්මචාරී පැවිද්දකුට යම්
අසුනක් පූජා කරයි ද එසේ දිව්‍ය සම්පත් ලබන්නේ ය.
දිව්‍ය මලින් සැරසුණු, රනින් කළ පියැසි ඇති නැවකට නැඟුණු දිව්‍යාංගනාවකි. ඇය පොකුණට
බැස දිව මල් නෙළන්නී ය. මෙසේ වීමට හේතුව විමසන මුගලන් මහරහතන් වහන්සේට පිළිතුරු
දුන්නේ මෙසේ ය. එවැනි දිව්‍ය සම්පත්තියක් ලැබීමට කළ කුසලය නම්, මා මිනිසත් බව ලබා
මිනිස් දුවක්ව සිටින කල්හී, පිපාසිතව ක්ලාන්ත වී සිටි භික්ෂූන් වහන්සේ නමකට පැන්
බිඳක් පූජා කිරීමයි.
යමෙක් පිපාසයෙන් සිටින අයකුට බීමට ජල බිඳක් දෙන්නේ නම් දිව්‍ය සම්පත් ලැබ සිහිල්
දිය පිරුණු ගංගා පොකුණු ලබති. පිපුණු මලින් වැලි තලයෙන් යුක්ත ගංගා පහළ වෙති.
එමෙන්ම මා හට දිව්‍ය සම්පත් ද ලැබී සිරුර ද පැහැයෙන් බබළන්නට විය. සුදු පැහැයෙන්
බබළන, දිව්‍යමය ඇත් වාහනයකින් පැමිණෙන දිව්‍ය පුත්‍රයෙකි. අහසින් තූර්ය වාදනයෙන්
පිදුම් ලබන මේ උත්තමයා කවරෙක් දැයි විමසීය. දෙවියෙක් ද? ගාන්ධර්වරයෙක් ද? පුරන්ද
නම් ශක්‍රයා ද? එවිට දිව්‍ය පුත්‍රයා මෙසේ පිළිතුරු දුන්නේ ය.
දෙවි, ගාන්ධර්ව නොවෙමි. පුරන්ද නම් ශක්‍රයා ද නොවෙමි. සුධර්ම නම් දෙවිවරු සිටිති. ඒ
සුධර්ම නම් දෙවියන් අතර කෙනෙක්මියි පැවසීය. කෙසේ නම් සුධර්ම නම් දෙවියන් අතර
උපදින්නෙහි ද යන්න විමසූ කල්හී මෙසේ පිළිතුරු දුන්හ.
යමෙක් උක්දඬුවලින් තැනුව ගෙයක් පිදුරුවලින් තැනූ ගෙයක් හෝ පිළිගෙයක් (රෙදිවලින් තනන
ලද) පූජා කරන්නේ ද එයින් එකක් හෝ පූජා කරන්නෝ සුධර්ම නම් දෙවියන් අතර උපදින්නේ ය.
මේ ආකාරයට දිව්‍ය විමානයන්හී දෙවියන් හා දිව්‍යාංගනාවන් විඳින සැප සම්පත් විමාන
වත්ථු පාලියෙහි සඳහන් වෙයි. ඔවුනොවුන් පෙර කළ සැදැහැවත් කුසල් බල මහිමයෙන් මෙසේ උපත
ලබා ඇත. |