සද්ධාතිස්ස මහරජතුමාගේ දූ කුමරිය රහත් වුණ හැටි
දඹාන මාවරගල ආරණ්‍ය සේනාසනවාසී
ආචාර්ය
පදියතලාවේ අමරවංශ හිමි
අපි හැමෝම වගේ දන්නවා ශ්‍රද්ධාවෙන් අගතැන්පත් ලංකාවේ ප්‍රසිද්ධම රජතුමා සද්ධාතිස්ස
රජතුමා කියලා. ඔහු තමන්ගේ බිරිඳත්, දූ කුමරියත් ශ්‍රද්ධාවන්තියන් බවට පත් කරලයි
තිබුණේ. තෙරුවන් කෙරෙහි මෙතරම් ශ්‍රද්ධාවක් ඇති වුණේ විහාරමහා දේවියත්, කාවන්තිස්ස
රජතුමාත්, තමන්ගේ වැඩිමහලු සහෝදරයා වුණු දුටුගැමුණු රජතුමාත් නිසා තමයි.
භික්ෂූන් වහන්සේගෙන් නිතර ධර්මය අහන රජතුමා උන්වහන්සේ දේශනා කරන ඉතා උතුම් කටයුතු
කොච්චර අපහසු වුණත් ඉටු කරන්න සූදානමින් හිටියේ. තමන්ගේ කය වෙහෙසලා උපයා ගන්නා
ධනයෙන් දානයක් දීම පින් වැඩෙන මහා පින්කමක් කියලා බණට දේශනා කරපු නිසා හොර රහසේ ම
වෙස්වලාගෙන කුඹුරක ගොයම් කපලා, ගොයම් මිටියක් දවසේ පඩිය විදිහට අරගෙන ඇවිත් දේවියගේ
උපකාර ඇතිව දන් දුන්න පුවත් බොහෝමයක් තියනවා.
මෙහෙම වැඩ කර ගෙන යන කොට රජතුමාට ධර්ම දේශකයන් වහන්සේගෙන් නිතරම අහන්න ලැබෙනවා
බුදුහාමුදුරුවෝ දේශනා කළ ධර්මය තමයි සිල් ආරක්ෂා කර ගනිමින් භාවනාවෙන් කාලය ගත කරන
එක. ඒ වගේම නිවන් මාර්ගයේ සෝවාන් ආදි මාර්ග-ඵල අවබෝධ කර ගන්න එක’කියලා නිතරම අහන්න
ලැබුණා.
මේ නිසා රජතුමා හැමවෙලේ ම නිදහස හෙව්වා සිල් රකිමින් භාවනා කරන්න. ඒත් රාජ්‍ය පාලනය
නිසා අවස්ථාවක් හොයා ගන්න ම බැරිව ගියා. අවුරුදු ගණනාවකින් පස්සේ හිතේ තිබුණ ආශාව
ඉටු කර ගන්න අවස්ථාව ලැබුණා. හැබැයි ඒ මාස තුනකට විතරයි. මේ මාස තුනේ ම රටේ
මිනිසුන් ධර්මයට නැඹුරු වෙලා පින්කම් කරමින් කාලය ගත කරන කාලයක්.
අපි කවුරුත් දන්නවා අදටත් තිබෙන කඨින කාලය. එයට කියනවා වස් තුන් මාසය කියලා. රජතුමා
කල්පනා කළා විහාරයට ගිහින් සිල් ආරක්ෂා කරමින් භාවනා කරන්න. මහතෙරුන් වහන්සේ
මුණගැහිලා කාරණය මතක් කරලා අටසිල් සමාදන් වුණා. මහතෙරුන් වහන්සේගේ අවසරය ඇතිව
පිණ්ඩපාතයේ යෙදිලා අවශ්‍ය පිණ්ඩපාතය ලබා ගත්තා. රජතුමාගේ බිසවත් පිණ්ඩපාතයේ වැඩම
කරන සද්ධාතිස්ස රජතුමාට භික්ෂුවකට මෙන් ගෞරව කරමින්, වන්දනා කරමින්, පා දෝවනය
කරමින් සැලකුවා, පිණ්ඩපාතය පිළිගැන්නුවා.වස් තුන් මාසය අවසන් කරලා නැවතත් රාජ
මාලිගයට ඇවිත් නැවතත් රාජ්‍ය පාලනය කළා.
පිය රජතුමාගේ කටයුතුවලට නිතර උදව් වන දූ කුමරියට මේ සසරේ නිසරු බව වැටහුණා. පැවිදි
වෙන්න අදහසක් පහළ වුණා. දිනක් රජතුමා මුණගැහිලා
‘පියාණෙනි, මට පැවිදි වෙන්න ඕන. මට ඒ සඳහා අවසර දෙන්න’ කියලා වැඳලා ඉල්ලා සිටියා.
රජතුමා දෙවතාවක් හිතන්නේ නැතිව ඇගේ උතුම් කටයුත්තට අවසර දුන්නා. දූ කුමරිය ඒ අවසරය
ඉල්ලා සිටියේ තවත් රාජ කුමාරිකාවන් හතර දෙනෙක් එක්ක. මේ අයට අමතරව පැවිදිවීමට
පුරෝහිත බමුණාගේ දුවත්, ඇමැති දුවකුත්, සිටු දුවකුත්, කෙළෙඹි පුත්‍රයකුගේ දුවකුත්
කැමැත්ත ප්‍රකාශ කළා. අසල ආරාමයකට ගිහින් දෙමාපිය අවසරය ඇතිව භික්ෂුණී පැවිද්ද ලබා
ගත්තා.
දූ කුමරිය ඇතුළු නවදෙනා පැවිද්ද ලබාගෙන තිබුණේ වස් කාලයකයි. ඒ නිසා භාවනාවෙන් ම
කටයුතු කරන්න අවස්ථාව උදා වුණා. ආරාමයේ සිටි වැඩිහිටි භික්ෂුණියන්ගෙන් කමටහන් අරගෙන
නව දෙනාම භාවනාව පටන් ගත්තා. තෙරණිවරුන් තීරණය කර ගත්තා දවස් හතක් එක දිගට භාවනා
කරලා සසර නිමා කර ගන්න. මේ සඳහා වීර්ය ලබා ගැනීමටත්, අදහස වෙනස්වීම වළක්වා
ගැනීමටත්, නිවැරැදි ලෙස සිහිය පිහිටුවා ගැනීමටත් උපක්‍රමයක් යෙදුවා. හැම කෙනෙක් ම
නෙල්ලි ගෙඩි පහක් අරගෙන එකක් හිස මත තබා ගත්තා. දෙකක් උරහිස් මත තබා ගත්තා. අනෙක්
නෙල්ලි ගෙඩි දෙක දණහිස් දෙක මත තබා ගත්තා. පළමු රාති‍්‍රය ගත වුණා. කිසිදු ගැටලුවක්
ආවේ නෑ. හැම දෙනාම හොඳින් භාවනා කළා. දෙවැනි රාති‍්‍රයත් ගත කළා. ඒත් ගැටලුවක් ඇති
වුණේ නෑ. තුන්වැනි, හතර වැනි රාත්‍රියත් ගත කරන කොට රජ බිසවට බොහෝම වේදනයි තමන්ගේ
දරුවා වාගේම අනෙක් දරුවන්ගේ ජීවිතය ගැන. නිතරම රජතුමාට මේ ගැන කියන්න පටන් ගත්තා.
රජතුමා තමන්ගේ අගබිසව සනසවමින් කියනවා
‘පින්වත් සොඳුර, ඔබ දුක් වෙන්න එපා. සසර බියෙන් බියපත් වූ මේ අය සීලය විසින් ම
ආරක්ෂා කරනවා. මේ කුමාරිකාවෝ සංසාරය සත් දිනකින් ම නිමා කරනවා කියමින් ඇයව සැනසුවා.
හත්වැනි දින රාති‍්‍රය පහන් වනවාත් සමඟ නව දෙනාම අර්හත් බව ලබා ගන්නවා. බොහෝ
පී‍්‍රතියට පත් වෙනවා. ‘සංඝස්ථවිර තෙරනමක් ඉදිරියේ අපි වස්පවාරණය කරමු’යි එකිනෙකා
ඉන් අනතුරුව කථා කරන්න පටන් ගත්තා. එක් අයෙක් සිතුල්පව්වේ දොළොස් දහසක් භික්ෂූන්
ඉදිරියේ වස් පවාරණය කිරීමටත්, තවත් අයෙක් කාලකන්දර විහාරයේ දොළොස් දහසක් ඉදිරියේ
පවාරණය කිරීමටත් යෝජනා කළා.
තවත් භික්ෂුණියක් මේ මත දෙකට අමතරව කියා සිටිනවා පුවගු දිවයිනේ පිණ්ඩපාතික භික්ෂූන්
වහන්සේ දොළොස් දහසක් ඉදිරියේ පවාරණය වෙමු කියලා. මේ කථා සියල්ල අහගෙන හිටිය
අභිඤ්ඤාලාභී වැඩිහිටි භික්ෂුණියක් භික්ෂුණීන් වහන්සේ පන්සියයක් ද, උපාසිකාවන්
පන්සියයක් හා බාලිකාවන් පන්සියයක් මල්පහන් හා සුවඳ දුම් සහිතව සූදානම් කරගෙන පුවගු
දිවයිනට වැඩම කරනවා.
භික්ෂූන් දොළොස් දහසක් ඉදිරියේ වස් පවාරණය කරන මොහොතේ සක් දෙවියන් එතැනට පැමිණිලා
භික්ෂූන් වහන්සේටත්, භික්ෂූණීන් වහන්සේටත් වන්දනා කිරීමට පෙර උන්වහන්සේ ඉදිරියේ
කියා සිටිනවා
‘ස්වාමිනි, මම ඔබ වහන්සේගෙන් එක් අවසරයක් ඉල්ලා සිටිනවා. බුදුරජාණන් වහන්සේ අනුදැන
වදාළ පිළිවෙළ නම් සඟමහලු පිළිවෙළින් වන්දනා කිරීමයි. එහෙත් අද දින පළමුවෙන් ම වස්
පවාරණයට වැඩම කර සිටින වීර්යවන්තව සසර ගමන නතර කළ අර්හත් තෙරණින් වහන්සේ නව දෙනාට
හැමට පළමුව වන්දනා කිරීමට අවසර දෙන සේක්වායි’ අවසර ඉල්ලා ගෙන නවක තෙරණිවරුන්ට
වන්දනා කරලා සෙසු පිරිස්වලට වන්දනා කරනවා.
අවසානයේ ශක්‍ර දෙවියන් ප්‍රධාන තෙරුන් වහන්සේ වෙත පැමිණිලා
‘ස්වාමිනි, මේ පන්සියයක් පන්සියයක් වූ සියලු දෙනා විසින් ම ඉතා දුෂ්කර දෙයක්මයි
කරලා තියෙන්නේ. මේ හැම කෙනෙක් ම කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ බ්‍රහ්ම චර්යාවේ
යෙදුණ අය’ කියමින් දෙව්ලොවට ගියා'යි කථා පුවතක් සීහළවත්ථුවේ සඳහන් වෙනවා.
වීර්යවන්ත ව සසර නිමා කර ගැනීමට රජකම හෝ, පුරෝහිතකම් හෝ, සිටු තනතුරු හෝ,
ස්ත්‍රීත්වය හෝ බාධාවක් නොවන බව මේ කතා පුවත කියා දෙනවා.
සසර ගමන නිමා කර ගන්න අවශ්‍ය වන එකම දෙය තමයි නොපසුබට උත්සාහය සහිත වීර්යවන්තකම.
දන්දීමට වඩා බුදුරජාණන් වහන්සේ අනුමත කරලා තියෙන්නේ සිල් රකිමින් භාවනාවේ යෙදීමයි.
එහි උතුම් ඵලය වීර්යවන්තයින්ට ඉතාම ටික කලකින් ලබා ගැනීමට හැකි වන බවත් මේ කතා පුවත
අපට කියා දෙනවා. |