කෙලෙස් සිඳලන
ප්‍රතිපදාව භාවනාවයි
දඩල්ල,
වාලුකාරාම වෙහෙර වාසී ශාස්ත්‍රපති
රත්ගම සුනීත හිමි
මානසික සුවය සඳහා මෙන්ම නිරෝගී මනසක් ලැබීම සඳහාත් අපිරිසුදු වූ සිත පිරිසුදු කරගත
යුතු ය. නිතර අපවිත්‍ර වන ශරීරය හා ඇඳුම් පැලඳුම් අප පිරිසුදු කර ගන්නේ නෑමෙන් හා
සේදීමෙන් ය. එමෙන්ම ශාරිරික දුර්වලතා හා ලෙඩරෝග සුවකර ගැනීමට ව්‍යායාම, ක්‍රීඩා හා
වෛද්‍ය ප්‍රතිකාර උදව් වේ.
ඇඳුම් පැලඳුම් ආදිය මෙන් සිත ද නොයෙකුත් හේතු නිසා අපිරිසුදු වෙයි. සිත අපිරිසුදු
වන්නේ වෛරය ක්‍රෝධය හා පළිගැනීම වැනි අකුසල් සිතිවිලි නිසා ය. අපිරිසිදු සිතිවිලි
ඇති වූ විට හොඳ වැඩ කිසිවක් කළ නොහැකි ය. අපිරිසිදු සිතින් කරන හා කියන සෑම
දෙයක්මත් අපිරිසුදු ය.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්ම පදයේ චිත්ත වග්ගයේ ගාථාවන්ගෙන් මිනිස් සිතේ
ස්වභාවය හා සිත දමනය කර ගැනීමෙන් සිදුවන යහපත වටහා ගත හැකි වේ.
“දුර ගමන් කරන, තනිව හැසිරෙන, ශරීරයක් නැති, ගුහාවක වෙසෙන, සිත දමනය කර ගන්නා
තැනැත්තා මාරයාගේ බැම්මෙන් මිදෙත්,
පුද්ගලයාගේ සිත බොහෝ දුර ගමන් ගන්නා එකකි. දුර බැහැර සිට පැමිණි කෙනෙකුට කවර
ස්ථානයක සිටියද හදිසියේ ම පෙර සිටි ස්ථානයට සිතින් යා හැකිය. එසේම සිත ගමන් කරන්නේ
තනිව ම ය. ඒ ගමනට කිසිවකුට එක්විය නොහැකි ය. ශරීරය නැමැති ගුහාවක වාසය කරන සිතට ඔබ
මොබ ගමන් කිරීම සඳහා ශරීරයේ ආධාරය අවශ්‍ය නොවේ. සියල්ල මෙහෙයවන්නේ සිත බැවින් එය
දමනය කර ගැනීමෙන් මාරයාගේ ග්‍රහණයෙන් මිදීමට හෙවත් සසර දුකින් මිදීමට හැකි යැයි
බුදුරජාණන් වහන්සේ වදාළ සේක.
සිත කිළිටි කරන අකුසල් සිතිවිලි පහළ වීම මිනිස් සිතේ ස්වභාවයයි. ලෝභ, ද්වේශ, මෝහ යන
අකුසල් සිතිවිලි සත්වයා දුකට හෙළන, සංසාර ගමන දිගු කරන කෙලෙස් ය. මෙම කෙලෙස්
සිතිවිලි මැඬ පවත්වා කුසල් සිතිවිලි උපදවා ගැනීමට සිත පුරුදු පුහුණූ කිරීම
භාවනාවයි. මෙම කෙලෙස් සිතේ පවත්නා අවස්ථා තුනක් තිබේ.
තුඹසක නිදා සිටින නාගයකු මෙන් සිත තුළ කෙලෙස් නිදා සිටින අවස්ථාව අනුසය අවස්ථාවයි.
එය ලෝභය, කෝපය වැනි අකුසල් සිතිවිලි සිත තුළ ඇති බවක් පුද්ගලයාට නොදැනෙන අවස්ථාවකි.
නිදා සිටි නාගයා තුඹසින් මතුවන්නාක් මෙන් සිත තුළ පවත්නා කෙලෙස් මතුපිටට පැමිණෙන
අවස්ථාව පරියුට්ඨාන නම් වේ. මෙහිදී අකුසල් සිතිවිලි සිතට නැඟෙන අන්දම දැක ගත හැකිය.
පහරදීම, බැන වැදීම, සොරකම් කිරීම ආදී වැරැදි කිරීමට සිතෙන්නේ එවිට ය.
නාගයා පෙනය පුප්පා දෂ්ට කරන්නාක් මෙන් සිත තුළ පවත්නා කෙලෙස් ක්‍රියාත්මක වන
අවස්ථාව වීතික්කම නම් වේ. කෙලෙස් සිතිවිලි අනුව අකුසල් කෙරෙන්නේ මෙම අවස්ථාවේ දී ය.
සෑම බෞද්ධයකුගේ ම අවසාන අපේක්ෂාව නිවන් අවබෝධයයි. ඒ සඳහා ශික්ෂණ මාර්ගයක් තිබේ.
සීල, සමාධි, ප්‍රඥා යන තෙවදෑරුම් ප්‍රතිපත්ති අනුගමනය කිරීමයි. සීලයෙන් කය වචනය යන
දෙකෙහි සංවරය ඇතිවේ. සමාධියෙන් සිත එකඟතාවට පත්කර ගැනීම සිදු වේ. ප්‍රඥාවෙන්
සත්‍යාවබෝධය වේ. මෙසේ සිත එකඟ කර ගැනීමටත් නුවණ දියුණුූ කර ගැනීමටත්, ප්‍රගුණ
කළයුතු වන්නේ භාවනාවයි. භාවනාව මඟින් ඇති කර ගන්නා සමාධිය නිවනට මුල් වෙයි.
පන්සිල්, අටසිල් ආදී සීලයන්ගෙන් කෙරෙන්නේ කය, වචනය, සංවරවීමෙන් තාවකාලිකව කෙලෙස්
යටපත් කිරීමයි. කෙලෙස් සම්පූර්ණ ලෙස ඉවත් කිරීමට නම් භාවනාවෙන් සමාධිය හා ප්‍රඥාව
දියුණු කළ යුතුයි. සිත හික්මවා ගැනීම මෙන්ම නුවණ දියුණු කර ගැනීම සඳහා කළ යුතු
භාවනා දෙකක් තිබේ.
සමථ භාවනාව හා විදර්ශනා භාවනාව යි.
සමථ භාවනාව යනු සිත යහපත් අරමුණක පිහිටුවා ගෙන ඒ අනුව හික්මීමයි. ඒ සඳහා
බුද්ධානුස්සති, ආනාපානසති, මෛත්‍රී ආදි කමටහන් හතළිහක් තිබේ. චිත්ත භාවනාව, සමාධි
භාවනාව යනුවෙන් ද සමථ භාවනාව හඳුන්වයි. නිවන් මඟ අහුරන, නිවනට බාධා ගෙන දෙන කෙලෙස්
පහක් පුද්ගල මනසෙහි තිබේ. ඒවා පංච නීවරණ නම් වේ. සමථ භාවනාවෙන් එම කෙලෙස් තාවකාලිකව
යටපත් කළ හැකි ය.
1. කාමච්ඡන්ද – කම් සැප විඳීමේ කැමැත්ත
2. ව්‍යාපාද – කෝපය හෙවත් තරහව
3. ථීනමිද්ධ – උදාසීන බව හා අලසකම
4. උද්ධච්ච, කුක්කුච්ච – සිතේ නොසන්සුන් බව හා පසුතැවිලි වීම
5. විචිකිච්චාව – තෙරුවන් පිළිබඳ සැකය
සමථයෙන් සිත ධ්‍යාන නමින් හැඳින්වෙන මනසේ දියුණු අවස්ථාවට පත් කළ හැකි ය. ධ්‍යාන
ශක්තිය හීන වී යාමෙන් නැවත කෙලෙස් ඉස්මතු වීමට ඉඩකඩ වැඩි ය. සමථය සමාධියට මඟ සාදයි.
විදර්ශනා භාවනාව, ප්‍රඥා භාවනාව නමින් ද හඳුන්වයි. නුවණ දියුණු කරන භාවනාවකි.
පංචස්කන්ධය දෙස ගැඹුරින් බැලීම විදර්ශනා භාවනාවයි. ලොව අන් කිසිම ආගමක දක්නට නැති
මෙම භාවනාව සංසාර දුකින් මිදීමට මාර්ගය වෙයි. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් ලෝකයේ
යථා ස්වභාවය තේරුම් ගැනීමයි. එනිසා මෙය ත්‍රිලක්ෂණ භාවනාව යනුවෙන් හඳුන්වයි. පුද්ගල
සිතෙහි පවත්නා සියලුම කෙලෙස් සම්පූර්ණයෙන් ම සිඳලන භාවනාව මෙයයි. පුද්ගලයා හා ලෝකය
දෙස යථා තත්ත්වයෙන් බැලීම මෙම භාවනාවෙන් සිදුවේ. නුවණ දියුණුූ කරන අතර සිත කිළිටි
කෙරෙන හා සත්වයා සසරට බැඳ තබන කෙලෙස් සම්පූර්ණයෙන් ම නැති කොට සෝවාන් ආදී මගඵල
නිවන්සුව අත්කර දෙයි.
භාවනාව ලෝකෝත්තර සැප සඳහා පමණක් ඉවහල් වන්නක් නොවේ. මිනිසාගේ දෛනික ජීවිතය යහපත්
අතට යොමුකර ගැනීමට ද ඉවහල් කර ගත හැකි ය. භාවනාවෙහි ආනිසංස රාශියක් ඇත. ආශාව,
කෝපය,රාගය වැනි කෙලෙස් නිසා ඇති වන මානසික අසහනය නැතිවෙයි. ධාරණ ශක්තිය දියුණුූ
වෙයි. එදිනෙදා ඇතිවන විවිධ ගැටලු පිළිබඳ නිරවුල් අවබෝධයක් ඇති වෙයි. නිවැරැදි තීරණ
ගැනීමේ හැකියාව ද මේ නිසා වැඩි වෙයි.
සුව සේ නිදා ගැනීමට මෙන්ම අවදි වීමට ද නපුරු සිහින නො පෙනීමට ද භාවනාව හේතු වේ.
භාවනා කරන තැනැත්තා සුහදශීලි කරුණාභරිත හදවතක් ඇත්තකු වන බැවින් මිනිසුන්ට
පි‍්‍රයමනාප වේ. දෙවියන්ගේ පවා ආරක්ෂාව ලබන්නෙක් වෙයි. ගින්නෙන්, වස විසවලින්,
ආයුධවලින්, පවා හානිවීම වළකයි. සිහි මුළාවෙන් තොරව මිය යාමට ද භාවනාව හේතුවෙයි.
සුගතියෙහි ඉපදීමේ හැකියාව ද උදාවන අතර, කෙලෙස් දුරු වීමෙන් සසර දුකින් මිදීමටත්,
නිවන් අවබෝධ කර ගැනීමටත් භාවනාව ප්‍රයෝජනවත් වේ. |