[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අව අටවක පෝ දා 2023-09-06

යහපත් සිතිවිලි යහපත සදයි

රජගහනුවර පුණ්ණ නම් දුගියෙක් විසීය. දිළිඳු වුව ද ඔහු කුලයෙන් උසස් ය. බුද්ධ, ධම්ම, සංඝ යන තුණුරුවන් විෂයයෙහි බොහෝ සැදැහැවත් ය. ඔහුගේ දියණිය උත්තරා නම් විය. ඇය ද මව්පියන් සේ ම සැදැහැති ය.

දිනක් සැරියුත් මහ රහතන් වහන්සේ මේ පුණ්ණගේ සැදැහැවත් බව දැක ඔහුට අනුග්‍රහ පිණිස ඔවුන් පිදූ දන් පිළිගත්හ. එහි අනුසස් බොහෝ විය. පුණ්ණ බොහෝ සම්පත් ලැබූයෙන් බහු ධන සිටුවර යැයි නම් ලැබීය.

දිනක් සිටුවරයා බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට මහා දන් පිළිගැන් වූහ. ඒ සිටු සේසත් මංගල්ලය නිමිත්තෙනි. එම අවස්ථාවේ තථාගතයන් වහන්සේ දෙසූ දහම් ඇසූ සිටුවරයාත්, සිටු බිරිඳත්, ඔවුන්ගේ දියණිය උත්තරාත් සෝවාන් වූහ.

මෙකල රජගහ නුවර ම සුමන නම් සිටුවරයෙක් විය. ඔහුට පුතකු විය. ඔහු සැදැහැ නැත්තෙකි. එහෙත් සුමන සිටුවරයා සිතන්නේ තම පුතුට උත්තරාව සරණපාවා දීමට ය. තද මසුරු සිත් ඇති, සැදැහැයෙන් තොර ඔහුට තම දියණිය විවාහ කර දෙන්නට පුණ්ණ සිටුවරයා අකැමැති ය. උත්තරා ද ඔහුව පි‍්‍රය නොකළා ය. එහෙත් පුණ්ණ දිළිඳු කල සුමන සිටුවරයා කළ උපකාර සලකා ඒ මංගල්ලය කිරීමට සිදු විය.

විවාහයෙන් පසු උත්තරාවට සිදු වූයේ සිරකාරියක සේ ජීවත් වන්නට ය. පින්, කුසල් කර ගන්නට පවා නොහැකි විය. එහෙත් ඒ සඳහා ඇය උපායක් සිතුවා ය. සිරිමා නම් රුවැති ස්ත්‍රිය ගෙන්වා මාලිගයේ නවතා ඇය දන් පිදීමෙහි නිරත වූවාය. එහෙත් සිරිමා ඊර්ෂ්‍යා සහගත සිත් ඇත්තීය. ඇය උත්තරාවට දරුණුූ ලෙස පීඩා කළා ය. එහෙත් උත්තරාවගේ මෙත් සිත ඊට වඩා ප්‍රබල විය. ඇය සියලු පීඩා ඉවසමින් කුසල් දහම් හි නිරත වූවා ය. කලක් ගත වන විට සිරිමාට වරද වැටහිණි. උත්තරාවගේ ගුණ යහපත්කම් ඉදිරියේ සිරිමා සමාව ඇය ද සිටියා ය. උත්තරාගේ ද සහායෙන් සිරිමා ද බුදුපාමොක් මහා සංඝයා වහන්සේට දානයක් පූජා කර ගත්තා ය. තමාට වෛරී සිතින් අපමණ පීඩා ගෙන දුන්නත් තමන්ට මෙත් සිතින් කළ උපකාර ගැන සිරිමාව උත්තරාට ප්‍රශංසා කළාය.

මේ කතා පුවත ධම්ම පදයේ කෝධ වග්ගයේ එන්නකි. මේ සිදුවීම නිමිති කොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ක්‍රෝධ කරන තැනැත්තා ක්‍රෝධ නො කිරීමෙන් ද, නපුරු තැනැත්තා හොඳ ගතියෙන් ද? තද මසුරු තැනැත්තා දීමෙන් ද, බොරු කියන තැනැත්තා ඇත්ත කීමෙන් ද දිනිය යුතු බව ය.

අක්කොධෙන ජිනෙ කොධං
අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන
සච්චේන අලිකවාදිනං

යන ගාථා ධර්මයෙන් අර්ථවත් කළේ ඒ සදූපදේශය යි.

තමන්ගේ ජීවිතය දිනා, තමන්ට එරෙහි වන පුද්ගලයන් ද දිනා ගන්නට මේ සදූපදේශය මොන තරම් වටිනවා ද? අද බොහෝ දෙනෙක් ප්‍රශ්න ගැටලු තුළ සිර වී ප්‍රබල මානසික පීඩාවන්ට ගොදුරු වන ආකාරය පෙනේ. අන්‍යයන්ගෙන් වන කරදර පීඩා, නොරිස්සුම් සහගත ස්වභාවයන්, පළිගැනීම්, විවේචනය කිරීම් හමුවේ වැඩි දෙනකුගේ ස්වභාවය ඒවාට ඊටත් වඩා දරුණු ලෙස ප්‍රතිචාර දැක්වීමට යාම ය. ඒ තුළ සිදුවන්නේ මෙලොව ජීවිතය ද පිරිහී සසර ගමනට ද අභාග්‍ය ළං වීම ය. මෙත් සිත ඉතා ප්‍රබල ය. ඕනෑම දරුණුූ පුද්ගලයෙක් මෙල්ලකර ගත හැකි ය. ඒ සඳහා මිල මුදල්, ඇවැසි නැත. කාලය ද විශේෂයෙන් වෙන් කළ යුතු නැත. අවශ්‍ය වන්නේ අවංක සිතින් අන්‍යයන්ගේ යහපත ම ප්‍රාර්ථනා කිරීම ය. කවරකු තමන්ට වෛර කළ ද, වධ හිංසා කළ ද ඔවුන්ගේ සැපත සුවයම ප්‍රාර්ථනා කළ හැකි තැනට සිතිවිලි දියුණු කර ගන්නේ නම්, ඒ පුද්ගලයාට වන විපත් පහසුවෙන් මඟ හරවා ගත හැකි ය. බෞද්ධයන් ලෙස අප වෑයම් කළ යුතු ඒ තැනට යන්නට ය.

නිකිණි අව අටවක

සැප්තැමිබර් 06 බදාදා
අ.භා. 03.45 න් අව අටවක ලබා
07 බ්‍රහස්පතින්දා
අ.භා. 04.20 න් ගෙවේ.
06 බදාදා සිල්
 

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 06

Full Moonඅමාවක

සැප්තැම්බර් 14

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසළොස්වක

සැප්තැම්බර් 29


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් | ඊ පුවත්පත |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]