නිකිණි පෝදා වරුණ
අප මහ ශ්‍රමණ දැන් නැත වළපෙනු කුමට
යන බහ පෙරට ගෙන වග විමසන ලෙසට
සඟ යහ පළමු සංගායනයකි ලොවට
විය දහමෙන් බැඳුණු නිකිණිය දා හැඩට
බුදු හිමි ළඟින් සිට සුව දුක් සොයන ලද
මුදු ගති වෙතින් ලත් පෙරමුණ සඟුන මැද
සුදු හදවතින් පත් මග ඵල පොහොය අද
කුදු මහ බොදුහු, “හිමි අනඳ” ය පුදති වැඳ
රැඳුනි සඟුන් පෙර වස් වැස ඇසළ දින
නිකිණි වෙතින් අවපෑලේ ඉඩකි දෙන
පිරුණි ගුණෙන් එන දහමේ සුවඳ මැන
රැකුනි මෙතින් ගිහි පැවිදී යුතුව දැන
කුදු මහ බලේ සිහිකර වැඩි යහ ගමන
සිදුවුණි හෙළේ මහ පූජාවක ලෙසින
පිදුවග සේරුවිල මංගල සෑ රජුන
බුදු මඟ මතේ නිකිණිය පෝ වෙයි දිලෙන
අධ්‍යාපනවේදී, විශ්‍රාමලත් පරිවේණාචාර්ය,
පී.බී. ගුණරත්න
මලක වෙනස
රුවෙන් දිලෙනමුත් කිසි සුවඳක් නොමැති
පිපි මල් වැනි මිනිසුන් ඇත ලෝකයෙහි
රුවන් ලස්සනයි ගේ දොර සැප සම්පත්
ඇතත් එවන් සත ළඟ නැත සිල් සුවඳක්
ලස්සන සුවඳ දෙකමත් නැති පිපි මල් ය
ඒ මල් වගේ ලොව වෙසෙනා මිනිසුන් ය
ජීවත් වෙන්න කිසි හව්හරණක් නැතිව
සිතින් කිළුටු මේ දන ලොවට ම බර ය
රුව සුවඳින් පිරි පිරිපුන් පිපි මල් ය
ලොව සුදිලෙන්නෙ මෙලෙසින් පිපි මලෙන් ම ය
මේ මල් ලෙසින් තුම් සිල් දම් නිති රකින
යුතුකම් ඉටුකරන සත තිලොව ම දිනන
මාලඹේ
කේ.ඩබ්ලිව්. සිරිසේන
මං දන්නවා
ඊයෙ රුවට උන්
මම නැහැ දැක ගන්නට දැන්
දර ලීයක් මෙන්
දවසක දිරල යනව මං
ගස් ගල් කඩමින්
පෑ සවි බල නැතුවා දැන්
නිමි නැති රෝගෙන
දෙනු ඇත මට හෙට රිදුමන්
මරණයෙ හැඟුමන්
නොම දැන උන්නත් පෙර නම්
දවසක නිසැකින්
මියෙනා බව දන්නෙමි මම්
පා හිතවත්කම්
උන් අය මී මැස්සන් මෙන්
අහිමිව මේ මං
දවසක හිඳීව් තනියෙන්
පෙර කරුමයකින්
මෙලොවට ඇත්තේ ඇවිදින්
මතුවත් මෙලෙසින්
කරුමෙ ඒවි ලුහු බඳිමින්
චන්ද්‍ර වාකිස්ට
මව් ගුණ
අදර සිතින් පුතේ කියා මා සැනසූ අම්මා
නැති බැරිකම් දකින විටදී නෙතින් හැඬුව අම්මා
කුසට අහර නොගෙන සිතින් කුස පිරවූ අම්මා
ගතේ වෙහෙස නිවා ගන්ට සිනහ පෑව අම්මා
කුඩා කලදි තුරුලට ගෙන මා නැළවූ අම්මා
ලෙඩ වූ කල කඳුළු සලා මා සැනසූ අම්මා
ගතින් සිතින් දුරස් නොවී මා ළඟ සිටි අම්මා
මුව මඬලින් සිනහ පපා මා රැකගත් අම්මා
මා පාසල් යන දවසේ සතුටු වුණේ අම්මා
දෑසේ කඳුළැලි පෙරාන දුක් වූයෙත් අම්මා
දෑත මගේ අල්ලා ගෙන පාසල් ගිය අම්මා
හොඳ මිනිසකු වෙන්න ඉගෙන ගන්න කීවෙ අම්මා
සරත් හෙට්ටිආරච්චි
දහම හා පැවැත්ම
මුනි පිරිනිව් කල
ධර්මය වේ බල
එය අනුගමනය කළ
යුතුවේ ගත කළ
රහතුන්ගේ මන
වීතරාගී වින
ධර්මය දෙනු දන
එය වෙයි තුම් පින
මුනිදු දෙසූ බණ
මරුවාට හෙණ
නමා සිරස දරා
වඳිමු සඟ ගණ
අජිත් වික්රමනන්ද වීරසූරිය,
මොරගොල්ල
සිහියෙන් දකිමු
අපේ යථාර්තය මේ දැන්ද?
හෙටද? අනිද්දාද?
ඒ මොහොත
කොයි මොහොතේ ද?
මියැදෙන්නේ අනතුරකදී ද?
හදිසි
රෝගී විමකදී ද?
කිව හැකි ද කාටවත්ම
හටගතහොත් රාගය
මෝහයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන්
අධි පීඩනය වී
රෝගීතරය අප
රුධිරයෙන් හැම
පුහුණු කළහොත් අපි
මෛත්‍රීය, දයාව, කරුණාව
ඉවසීමෙන්
නිරෝගී වූ කයට
දැකිය හැක
ඒ
සත්‍යයේ ධර්මය
සූරියසේන ගමගේ |