ජීවිතයට
නියත රැකවරණයක් ...
කථිකාචාර්ය ආචාර්ය
හිඳගල ඤාණාධාර නා හිමි
අද ලෝකයේ බොහෝ රට රාජ්‍යවල පරිපාලනමය හා මූල්‍යමය කටයුතු ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි
ආකාර්යක්ෂමතාවන්ට හා බිඳ වැටීම්වලට හේතු වී ඇත්තේ එම ආයතනයන්හි අවංක චේතනාවෙන්
කටයුතු කරන පුද්ගලයින් සීමා සහිත වීමයි.
මෙසේ අවංකභාවය හෙවත් සෘජු ගුණය සමාජයේ කුඩාම ඒකකය වන පවුල් සංස්ථාව ද නිරවුල්ව හා
සාමකාමී ව ගෙන යාමට ප්‍රධාන ආධාරකයක් වන්නේ ය. කරණීය මෙත්ත සූත්‍ර දේශනාව කළේ
පෙරවස් සමාදන් වී භාවනායෝගීව වැඩ සිටි ස්වාමීන් වහන්සේට අමනුෂ්‍යයින්ගෙන් (රුක්
දෙවිවරුන්) ඇති වූ අනේක හිරිහැර - බිය වැද්දවීම් නැති කර ගැනීම සඳහා ආරක්ෂාව ඇති කර
ගැනීම පිණිස ය. මෛත්‍රී භාවනාව වැඩීම පිණිසත්, විදර්ශනාව පදනම් කර ගත් ධ්‍යානයන්
උපදවා ගැනීම පිණිසත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ කරණීය මෙත්ත සූත්‍රයෙහි කායික
මානසික සංවර්ධනයට ශ්‍රේෂ්ඨ පුද්ගලයකු තුළ තිබිය යුතු ගුණාංග 14ක් සඳහන් කරමින්
එයින් උජූච ගුණය මුලටම දැක්වීමට හේතු විමසා බැලීම මෙම ලිපියේ පරමාර්ථයයි.
සක්කෝ උජූ ච සූජූ ච
සුවචෝ චස්ස මුදු අනතිමානී
සන්තුස්සකෝ ච සුභරෝ ච
අප්පකිච්චෝ ච සල්ලහුකවුත්ති
සන්තින්ද්‍රියෝ ච නිපකෝච
අප්පගබ්භෝ කුලේසු අනනුගිද්ධෝ
සක්කෝ ච අස්ස - දක්ෂයෙක් වන්නේ ය.
ගිහි අයකු නම් ඡන්ද, ද්වේෂ, භය, මෝහ යන සතර අගතියට යාමෙන් වැළකී සාධාරණ නිවැරැදි
තීන්දු තීරණ ගැනීමට උත්සාහවන්ත වීමට හැකියාවක් තිබිය යුතුයි. දක්ෂයකු විය යුතුයි.
එසේම අකුසල කිරීමට අවස්ථාව තිබියදීත් ඉන් වැළකීමට දක්ෂ විය යුතුයි. දෙමාපියන්,
වැඩිහිටියන් දොස් කියන විට එකට එක නොකියා නිශ්ශබ්දව සිටීමට ද තමාට හැකියාව
තිබියදීත් පළි නො ගැනීම, අහිංසකයින්ට හිරිහැර නො කිරීම, ඕපා දූප කේලාම් කීමෙන්
වැළකීමේ හැකියාව ද දක්ෂතාවකි.
භික්ෂුවක් නම් තමාගේ පාත්‍රා, සිවුරු ආදිය සකස් කර ගැනීමෙහි ද, එක්ව බඹසර රකින අයගේ
ලොකු කුඩා කටයුතු කිරීමෙහි ද, අලස නොවී දක්ෂයකු විය යුතු ය.
උජූ ච අස්ස - සෘජු කෙනෙක් ද වන්නේ ය.
අද සමාජයේ ඇතැම් දෙනාගේ සටකපටකම් වැඩිවීම නිසා හෙවත් අවංකභාවයෙන් තොර වීම නිසා
ජනතාව පත් ව ඇත්තේ දැඩි අපහසුතාවකට යි. රාජ්‍ය සේවයේ වේවා, පෞද්ගලික ආයතනයක
ප්‍රධානීන් හා සේවකයින් වේවා තම රාජකාරිය අවංකව ඉටු නොකිරීමත් මෙයට හේතුවකි. සාධාරණ
මිලකට ගුණාත්මක බෙහෙත් සපයන්නේ නම්, එය අවංකභාවයේ ලක්ෂණයකි. කල් ඉකුත් නොවූ,
ප්‍රමිතියෙන් යුතුව පිරිසුදුව පාරිභෝගිකයාට ගුණදායක කෑම බීම සැපයීම අවංකභාවයේ
ලක්ෂණයක් වනු ඇත. මුලදක් අය කළත් එය ද පින්කමකි. සමහර වෙළෙන්දෝ කල් ඉකුත් වූ භාණ්ඩ
හෝ කෑම (නරක් වූ එළවළු) විකිණීමෙන් වැළකී සිටින අතර ඒ බව පාරිභෝගිකයාට දැනුම් දෙති.
ඒ අනුව එම ආයතනයට යන එන ජනතාව ද වැඩි වෙයි.
සොබාදහමට ගරු කරමින් රටට ජාතියට කැප වන බව සමහරු නිතර කීවත් තම නිවෙස ඉදිරිපස පාරේ
දැල්වෙන විදුලි පහන නිවීමට තරම් අවංක නොවේ.
උජූ ච ගුණය නම් තමා මොන වෘත්තිය කළත් ගන්න වැටුපට සරිලන සේවාවක් කිරීම යි. තමා ගත්
මුදලක් නියමිත කලට ලබා දීමෙන් ද, නිවසේ වැටී තිබී හමු වූ මුදලක් පවුලේ
සාමාජිකයින්ගෙන් අසා අයිති කෙනාට භාර දීමෙන් ද, අවංක සහෝදරයකු හෝ සහෝදරියක විය හැකි
ය. තමාට යමක් අවශ්‍ය නම් මේ දෙය ගන්න ද කියා ඇසීම හෝ නොදන්වා ගත්තා නම් පසුව එය
දැනුම් දීම අවංකකමේ එක් පැතිකඩකි. එය අවංක බෞද්ධයාගේ පුරුද්දකි.
යහළුවෙක් අවංක නම් මිතුරාගේ අඩුපාඩුවක් නම් කියා දිය යුතු ය.
සතුන් බොහෝ ආවේග, සතුට, අසතුට නොසඟවා ප්‍රකාශ කරයි. අහවලාව ලබන සතියේ සපා කනවා යැයි
නො සිතයි. ආපසු හැරී බලන්න සිතුනොත් එසේ හැරී බලයි.
මිනිසා සමහර විට සිනාසුනාට හදවතේ ඇත්තේ කෝපය යි. තිරිසනුන්ගේ මේ ගතිගුණ නැත. තමා
ළඟනැති ගුණ පෙන්වා අනුන් රවටා යම් යම් දේ ලබා නො ගැනීම අවංක බෞද්ධයකුගේ ලක්ෂණයකි.
අවංකකම පුද්ගලයකුට, ආයතනයකට, ව්‍යාපාරයකට ආශිර්වාදයකි. වංකකම කෙටි කලකින් හෙළි වන
අතර අවංකත්වය සහ අන්‍යයන්ගේ විශ්වාසය තමා වෙත යොමු වීමෙන් සමාජයෙන් තරමක වාසි මෙන්
ම ගෞරවය ද, තනතුර ද නිරායාසයෙන් ම ලැබේ. එසේ නම් අවංකකම විශ්වාසය ලොව උතුම් ම
ඥාතියා වශයෙන් බුදුදහම පිළිගනී.
සූජූ ච අස්ස - වඩාත් ඝෘජු කෙනෙක් ද වන්නේ ය.
වඩු කාර්මිකයින්, විදුලි සහ අනෙකුත් වෘත්තිකයින් තමා වෙත සේවය ලබා ගැනීමට එන අයට
සමහර විට පවසන්නේ තමාට එය කර දීමට හැකි බවයි. එහෙත් එම අලුත්වැඩියාව ඔහුට සාර්ථක
ලෙස නිම කර දීමට බැරි වන්නේ ඔහුට ඒ සම්බන්ධ ව නිසි පුහුණුවක් නොමැති නිසා ය. එහෙත්
තමාට හැකි වැඩේ පමණක් භාර නො ගෙන සියල්ල දන්නවා යැයි පවසමින් අන් අය විශාල වෙහෙසකට
රස්තියාදුවකට පත් කරයි. එම නිසා තමා වෙත පැමිණෙන පාරිභෝගිකයා රස්තියාදු නොකොට ඍජුව
තමාට කළ හැක්කේ මේ කාර්ය පමණි යනුවෙන් දැනුවත් කිරීම ද ඍජු ගුණය යි.
තමා තුළ නැති ගුණ, නැති හැකියාවන් පෙන්වා කෙනකු අමාරුවේ නොදමා හැකි දේ පමණක් කොට
මුදලක් ගැනීමට පුරුදු වීම තම ව්‍යාපාරයට, සමාජයට, දරු පවුලට මහත් ශාන්තියකි.
සුවචෝ ච අස්ස -
නිධීනං ව පවත්තාරං යං පස්සේ
වජ්ජදස්සිනං
නිග්ගය්හවාදී මේධාවි තාදිසං පණ්ඩිතං
භජේ
තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති න
පාපියෝ.......”
යම්කිසි නුවණැති අයෙක් තමාගේ වරදක් අඩුපාඩුවක් දැක දොස් පවරමින් හෝ එයින් මිදීමට
උපදෙස් දෙන්නේ නම්, එය හරියට තමාව ධන නිදානයක් තිබෙන තැනකට ගොස් එය පෙන්වීමකට සමාන
වේ. එබඳු පණ්ඩිතයන් ඇසුරු කරන්නා ශ්‍රේෂ්ඨ පුද්ගලයකු බවට පත් වේ. කිසිදා පාපි
පුද්ගලයකු නොවේ.
අද ලොව රට රාජ්‍ය පමණක් නොව විවිධ ආයතන ප්‍රධානීන් ද පරිහානියට පත් වී ඇත්තේ, යම්
අත්දැකීම් ඇති පුද්ගලයින් දෙන උපදෙස් අවවාද නොපිළිගැනීමෙනි. බොහෝ විට රටක කුමන හෝ
නායකයකු ගුණ නැණ පිරි පුද්ගලයින්ගෙන් උපදෙස් ලබා ගන්නේ නම් ඒ අයට තම පරිහානිය තරමක්
හෝ සම්පූර්ණයෙන් හෝ වළකා ගත හැකි ය. බුදුරජාණන් වහන්සේ පවා අන්‍ය මතයට ඇහුම්කන් දී
විනය නීති වෙනස් කර ගත් අවස්ථා බොහෝ ය. රාහුල පොඩි හාමුදුරුවෝ වැලි අහුරක් අහසට දමා
වැලි ඇට ගණනට අවවාද අපේක්ෂා කළහ. එහෙත් අද බොහෝ ආරවුල් රැසක් නිර්මාණය වී ඇත්තේ අන්
මතය නොඉවසීම, නිවැරැදි උපදෙස් නොපිළිගැනීම නිසා ය.
අපමණ වෙහෙසී දරුවන් උස් මහත් කළ මවුපියන්ගේ අවවාද පිළිගැනීමට දරුවෝ අකැමැති වෙති.
එම නිසා දරුවන්ගෙන් පුතා කොහෙද? ගියේ, කවුද ඒ ළමයා? ඒ ඇමතුම කාගෙන් ද? යන ප්‍රශ්න
ඇසීමට මවුපියෝ යම් බියක් දක්වති. අහල පහල ඥාතීන් අසල්වැසියන් මෙය නොකළ යුතු යැයි
කියූ විට ඔබ කවුද මට අවවාද දීමට? ඔබට ඇති අයිතිය කුමක් ද? ඔබ මට එපා කියන්න ඔබට
තියෙන සුදුසුකම් මොනවා ද? ආදී වශයෙන් විවිධ දේ කියමින් අවවාද උපදෙස් නොපිළිගනී.
ඇතැම් විට ඒ මොහොතේ පිළිගෙන ඒ අනුව ක්‍රියා නොකරයි. ඔහු මාර්ගඵල ලැබීමෙන් ද දුර
සිටින්නෙකි.
යම් වැඩිහිටියකු හෝ සම වයසේ අත්දැකීම් බහුල කෙනකු අවවාදයක් දෙන විට “මගේ වරද පෙන්වා
දුන්නාට බොහොම පින්. නැවත මගේ වරදක් දුටු විට අනුකම්පාවෙන් මට පෙන්වා දෙන්න. මා තරහ
නැහැ ආදී වශයෙන් ගරුසරු ඇතිව එම අවවාද උපදෙස් පිළිගෙන පිළිපදී නම් ඔහු හෝ ඇය සුවච
ය. එබඳු ගිහි පැවිදි කාගේත් ජීවිතය සාර්ථක ය. මෙලොව දී සඵල වේ.
මුදු ච අස්ස -
මොළොක් කෙනෙක් ද වන්නේ ය. ඇතැම් සමහර උසස් නිලතල දරන උදවිය පහර දීමට නොයා ඒ
අහිංසකයා මට වඩා කොපමණ අඩු පඩියකින් අසනීපවලින් පෙළෙමින් ද ජීවත් වෙන්නේ යනාදී
වශයෙන් සිතීම මුදු හෙවත් මොළොක් ගතියයි. වැරැදි වැටහීමකින් හෝ දෙමාපියන් දොස් කියන
විට එක දරුවෙක් එකට එක කියයි. එක දරුවෙක් අපිට උගන්වා දේපළ ද පවරා දුන් අම්මා ඔහේ
දොස් කියපුවාවේ - කියා සිතින් කුසලයක් ද වඩන්නේ ය. තමා මුදු (මොළොක්) කෙනෙක් ද
වන්නේ ය.
වරක් සුද්ධෝදන රජතුමා බුදුරජාණන් වහන්සේට දැඩි සේ දොස් පැවරුවේ ය. තමාගෙන් හෝ
අම්මාගෙන්වත් නො අසා රාහුල කුමරු පැවිදි කිරීම නිසා කෝපයට පත් විය. එහෙත්
බුදුරජාණන් වහන්සේ ඒ සියල්ල මෘදු මොළොක් ලෙස ඉවසා වදාරමින් මවුපියන්ගෙන් නිසි අවසර
නො ලබා දරුවන් පැවිදි කිරීම තහනම් කළ සේක.
යමකු තමා හමුවට පැමිණි විට ඇහි බැම හකුළුවා නොගෙන, බිම බලා නොගෙන මුහුණ බලා “එන්න
වාඩි වෙන්න කෑම කාල ද ආවේ” ආදී වශයෙන් පිළිගෙන පි‍්‍රය වචන කතා කරන කෙනකු වීමෙන් ද
මෘදු මොළොක් කෙනකු විය හැකි ය. තවත් කෙනකුට සංග්‍රහ කොට හොඳින් කතා කළත්, දොස්
කියනා අවස්ථා තිබේ.
එවිට, අපේ බුදුරජාණන් වහන්සේත් විවිධ චෝදනා, නිග්‍රහ, අපහාසවලට මුහුණ දුන්නේ නම් මට
බැරි ඇයි යැයි සිතූ සිත මෘදු මොළොක් කරගෙන ආ පසින් බැණ වැදීමෙන් මිදී සිටිය හැකි ය.
එහෙත් තමා රවටමින්, තමා අකැමැති කෙනෙක් හෝ දෙයක් යෝජනා කරමින් පස්සෙන් ලුහුබඳින විට
මුදු මොළොක් නොවීමට තරයේ සිහි තබා ගත යුතුයි. පස් පව්, දස අකුසල් සඳහා සිත මෘදු නො
කර ගත යුතු ය.
අනතිමානී ච අස්ස - නිහතමානී තැනැත්තෙක් ද වන්නේ ය.
නිහතමානී යනු මානය - නිපාත ඉවත් කර ගැනීමයි. එය සම්පූර්ණයෙන් කළ හැක්කේ රහතන්
වහන්සේ කෙනකුට පමණි. ඔබම කල්පනා කර බලන්න. ඔබට ඔබ ගමේ සිට කිලෝ මීටර් 100ක් දුර
පළාතක දී කෙනෙක් බැන්නොත් ඔබ එකට එක කියන්නේ ද නැත. ඉවසා දරා ගෙන සිටින්නේ ආපසු එන
කොට අපේ ගමේ දී අහු වුණොත් බලාගන්නවා කියා ය. ඔබට ඔබේ ගමේ දී කෙනෙක් බැණ වැදුණොත්
ඔබ දැඩි සේ කෝප වී පහර දීමට ද යන අවස්ථා තිබේ. එසේ සිදු වන්නේ කෙසේද? සමහරු ඔබ
අහවල් පළාතේ කියා අහංකාර වෙති. මා ඔහුට වඩා දක්ෂ ශිල්පියෙක්. මා පමණයි මේ විෂය
පිටරට ගොස් ඉගෙන ගන්නේ යනාදී වශයෙන් වෘත්තීය අහංකාරය ද, කුලයෙන් උසස් අපි යනුවෙන්
සිතීම, රටේ, ගමේ සමාජයේ ජනපි‍්‍රය ම කෙනා මා පමණි. ලස්සනම කෙනා මා පමණි. මාගේ
රැකියාව ඉතා උසස් යනාදී වශයෙන් පැවසීම අතිමානය ඇති කිරීමට ද හේතු විය හැකි ය.
2018 මාර්තු මස ලොව සියලුම මාධ්‍යවල ප්‍රචාරය වූ ප්‍රධාන පුවතක් වූයේ ඉන්දියාවේ
දාලිද් හෙවත් කුලහීන ගෝත්‍රයකට අයත් උපාධිධාරී තරුණයෙක් අශ්වයකු මිල දී ගැනීමේ වරදට
උසස් කුලයකට අයත් මිනිස් සමූහයක් විසින් වෙඩි තබා මරා දැමීම යි.
අතිමානය නිසා බුද්ධ කාලයේ පටන් ඉන්දියාවේ පීඩනයට පත් වන කෝටි සංඛ්‍යාත ජනතාව ගණන්
කළ නොහැකි ය. අදත් ඉන්දියාවේ සමහර ප්‍රාන්තවල උසස් නිලතල හිමි වන්නේ උසස් කුලවල අයට
පමණි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සමහර හීන යැයි සම්මත කුලවල ජනතාවට බ්‍රාහ්මණ වැනි
උසස් කුලවල ප්‍රභූන්ගේ ළිං වලින් ජලය ගැනීම පවා තහනම් ය.
සන්තුස්සකෝ ච අස්ස - ලද දෙයින් සතුටු වන කෙනෙක් ද වන්නේ ය.
භික්ෂූන් වහන්සේ නමක් නම් තමාට පරණ හෝ අලුත් හෝ සිවුරක් ලැබුණොත් එපමණින් සතුටු
වෙයි. තමා වටිනා සිවුරක් ලැබුණහොත් මේ සිවුර මා වැන්නකුට වඩා උගත් සිල්වත්
භික්ෂුවකට සුදුසු යැයි සිතා සුදුස්සකුට දී සාමාන්‍ය සිවුරක් පොරවමින් සතුටු වෙයි.
ගිහි අයට ද මෙසේ තමාට ලැබෙන වටිනා ඇඳුමක් හෝ වෙනත් දෙයක් තමාට වඩා පවුලේ වෙන අයකුට
එය වඩාත් සුදුසු නම් ඒ අවශ්‍යතාව අනුව සලකා බලා එය පරිත්‍යාග කරයි. අසනීප
තත්ත්වයෙන් සිටින තමා මවට, පියාට හෝ පවුලේ අයකුට හෝ ඥාතියකුට, අසල්වැසියකුගෙන්
ලැබුණු ප්‍රණීත ආහාර පරිත්‍යාග කොට තමා සැහැල්ලු ආහාරයකින් සතුටු වීම සත්පුරුෂ
ගුණයකි. අන් අය ගැන නොසිතා වටිනා හොඳ ම ආහාර ඇඳුම්, පැලඳුම් තමාට ම හිමි විය යුතු
යැයි ඉල්ලා කෑගසන දරුවන්ගෙන් මිනිසුන්ගෙන් සමාජය පිරි ඉතිරී යමින් පවතී.
සුභරෝ ච අස්ස - පහසුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් ද වන්නේ ය.
බුදුරජාණන් වහන්සේ පිඬු සිඟා වඩින භික්ෂූන් වහන්සේට දුන් උපදේශය වන්නේ මලක රේණු තලා
මල් පැණි පමණක් බොන මී මැස්සකු මෙන් දායකයාගේ හිත නොරිදෙන පරිදි ලබන පිණ්ඩපාතයේ දී
සතුටු වන ලෙස ය. මිහිරි ද, අමිහිරි ද, වටී ද ,නොවටී ද යනාදිය ගැන නොසිතා දෙමාපියන්
දුක් මහන්සියෙන් ලබා දෙන මෙය අපට ප්‍රමාණවත් යැයි සිතීම සුභර ගුණය හෙවත් තමා
පහසුවෙන් පෝෂණය කළ හැකි අයකු බවට පත් වීම කාට කාටත් සැනසිල්ලකි. අද පෞද්ගලික මෙන්ම
රජයේ සේවය කරන ඉහළම නිලධාරීන් මැති ඇමතිවරුන් ලද දෙයින් සතුටු නොවන අවස්ථා
පුවත්පත්වලින් නිතර ම අපට අසන්නට දකින්නට ලැබේ. අද සමහර දරුවන්ට අවශ්‍ය කරන දේවල්
රැගෙන දීමට මවුපියන්ගේ ආදායම මදි ය. එහෙත් දරුවන් ඒවා ඉල්ලා නිවෙස් තුළ කලබල ඇති
කිරීමේ සිද්ධි අපමණ ය. මෙවන් පරිසරයක අන් අයට මෛත්‍රිය පැතිරවිය හැකි ද?
“අප්ප කිච්චෝ” - කටයුතු අඩු කෙනෙක් ද වන්නේ ය.
තමාගේ පාත්‍රා, සිවුරු, සෝදා ගැනීම, ආහාර ගැනීම, මිදුල් ඇමදීම ආදී වත් පිළිවෙත්
කරමින් ස්වල්ප වූ කටයුතු ඇතිව විසීම මෙහිදී අප්පකිච්චෝ වශයෙන් අර්ථ ගැන්විය හැකි ය.
විහාරස්ථානයක දිවා රාත්‍රී ගොඩනැඟිලි පමණක් ඉදි කිරීම එම කටයුතුවල නියැළීම
කම්මාරාමතාව යි. නිතර අල්ලාප සල්ලාපයෙහි යෙදී සිටීම භස්සාරාමතා නම් වේ. සමහර පාසල්
ශිෂ්‍යයෝ අද පාඩම් වැඩ අතපසු කොට, ස්මාර්ට් ෆෝන් එකේ, මුහුණු පොතේ ජීවත් වෙති. මෙය
ද සිසු දිවියට හානියකි. අද සමහර භික්ෂූන්ට දරුවන්ට රජයේ හෝ පුද්ගලික ආයතනවල සේවය
කරන්නන්ට හුදෙකලාව තම රාජකාරිය අධ්‍යාපන කටයුත්ත කරමින් කාලය ගෙවන්නට නොහැකි ය.
ඔවුන්ට කවරකු හෝ ළඟ සිටිය යුතු ය. මෙසේ සමූහයක් සමඟ සිටිමින් කාලය වැය කිරීම
සංඝණිකාරාමතා නම් වේ.
මේ සියල්ලෙන් ගිහි පැවිදි දෙපක්ෂයට ම සිදු වන්නේ අවශ්‍ය හෝ අනවශ්‍ය කටයුතු බහුල
වීමයි. එම නිසා ම විවිධ අනවශ්‍ය ප්‍රශ්නවලට ද මැදිහත් වීමක් සිදු විය හැකි ය.
“සල් - ලහුක වුත්ති ච අස්ස” - සැහැල්ලු පැවැතුම් ඇත්තෙක් වන්නේ ය.
මාල වළලු ආදී ආභරණ ගලවා තබා පොහොය අටසිල් සමාදන් වන ගිහියාට එය ද සැහැල්ලු
පැවැත්මකි. සමහරු දිනක වන්දනා ගමනක් යන අවස්ථාවේ දී පවා අතින් කරින් අන්‍යයන්ට ද
හිරිහැර වන පරිදි බඩු එල්ලාගෙන යාම සැහැල්ලු පැවැත්මක් නොවේ. නිතර වටිනා ආභරණ පැළඳ
ගෙන, ගමන් යාම නිසා සොර සතුරන්ට පවා වාසිදායක වන අවස්ථා එමට ය.
“සන්තින්ද්‍රියෝ ච අස්ස” - සන්සුන් ඉඳුරන් ඇත්තෙක් ද වන්නේ ය.
එනම් දැමුණු ඉන්ද්‍රියයන් ඇති බව හෙවත් ඉන්ද්‍රිය දමනය යි. සන්සුන් සංයමයට පත් වූ
ඉඳුරන් ඇත්තකු වීම මෙලොව පරලොව ආර්ථික ප්‍රතිලාභ මෙන්ම කීර්තිය ද ගෞරවය ද ලැබීමට
උපකාරී වේ. මෙහි ඉන්ද්‍රියයන් ලෙස හඳුන්වනු ලැබුවේ ඇස, කන, නාසය, දිව, ශරීරය හා
මනසයි. මෙම ඉන්ද්‍රියයන් පටිච්චසමුප්පාද විවරණයේ දී “සළායතන” ලෙස ද හඳුන්වනු ලබයි.
මෙම ඉන්ද්‍රිය හය සංවර කර ගැනීම යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ අරමුණු (ධර්ම)
කිසිවක් මේ ඉන්ද්‍රිය ඇසුරින් ලබා නො ගැනීම ලෙස වටහා නොගත යුතුයි. ඇසෙන් රූප
නොබැලීම ඇසේ සංවරකම ලෙස අර්ථ දැක්වුවහොත් සිදු වන වැරැද්ද වන්නේ උපතින් ම අන්ධ
වූවන් ඇස සංවර කර ගත් පිරිසක් බවට පත් වූ ලෙස සලකන්නට පෙළඹීමයි.
සාමාන්‍ය ලෞකික ජීවිතයක් ගත කරන, පරලොව ගැන නොසිතන කෙනකුට වුව ද ඇසට දකින රූපයට,
කනට ඇසෙන ශබ්දයට වහලෙක් වීමෙන් වළකින්නේ නම් මේ ජීවිතයේ බොහෝ ප්‍රතිලාභ ලබා ගත හැකි
වේ. නිදසුනක් ලෙස ඉගෙන ගන්නා දරුවකු පාඩම් අතපසු කොට රූපවාහිනියට හෝ දුරකතනයට
ඇබ්බැහි වුවහොත් ඔහුගේ දවස නිම වෙනවා ඇතැම් විට ඔහු දන්නේ නැත. පාඩම් මඟහැරීම, මතක
ශක්තිය ගිලිහී යෑම, නූපන් රාගය, ද්වේෂය ආදී මානසික මට්ටම් වර්ධනය වීමට පටන් ගැනීම
වැනි බොහෝ ව්‍යසන ශිෂ්‍ය ජීවිතය තුළ සිදු වෙන්නට පටන් ගනී.
තමන් මානසික වහල් බවින් මිදී නිදහස් ශිෂ්‍යයාගේ සිත සාමකාමී සංහිඳියාවෙන් පිරුණ
එකක් වන අතර, ඔහුගේ අධ්‍යාපනය සාර්ථක වන්නට ප්‍රඥාව උපදවා ගන්නට අවශ්‍ය පදනම සැකසේ.
වස විසෙන් තොර දේශීය ආහාර නොගෙන රසකාරක ඇතුළත් ආහාර පාන පරිභෝජනයෙන් බෝ නොවන රෝගවලට
ගොදුරු වන පිරිස් වැඩි වෙමින් පවතින්නේ අධික ලෙස දිව පිනවීමට යාමෙනි. වායුසමීකරණ,
නිවෙස්වල හා වාහනවල භාවිත කරමින්, තමාගේ වැඩ තමා කර නො ගෙන ශරීරයට අධික සැප දීම
නිසා ද බෝ නොවන රෝගවලට ගොදුරු වන අය අප අතර කොතරම් සිටී ද?
නිපකෝ ච අස්ස - ප්‍රඥාවන්තයෙක් ද වන්නේ ය. ප්‍රඥාවන්තයා නිපක නම් වේ. සීලය රැක
ගැනීමට ප්‍රඥාව තිබිය යුතු යි. තමා අතින් කුසලයක් සිදු වන්නේ ද? යන්න විමසමින් කල්
ගත කිරීමට ප්‍රඥාව තිබිය යුතුයි. සිවුරු, පිණ්ඩපාතය ඇඳුම් ආදිය පිළිවෙළ කර ගැනීම,
කරවා ගැනීම ආදියට ප්‍රඥාව තිබිය යුතුයි.
මුහුණු පොත නිසා යහළුවන් දැඩි සේ සොයා නොබලා විශ්වාස කිරීම නිසා, දුකට පත්ව ජීවිත
කාලකණ්ණිකමට පත්කර ගන්නා පිරිස් වේගයෙන් වැඩි වෙමින් පවතින්නේ ප්‍රඥාව හෙවත් නිපක
ගුණය නොමැති නිසා ය.
“අප්පගබ්භෝ ච අස්ස” - තිදොරින් නිවැරැදි හැසිරීම ඇත්තෙක් ද වන්නේ ය.
සිත, කය, වචනය යන තිදොරින් වැරැදි ලෙස හැසිරීම පගබ්භ (ප්‍රගල්භ) නම් වේ. (පගබ්භ -
අහංකාරය) යහපත් ලෙස හැසිරීම අප්පගබ්බ නම් වේ.
අට්ඨකතාවලට අනුව යම් භික්ෂුවක් වැඩිහිටි භික්ෂුවකගේ අනු දැනුමකින් තොරව තමා ම
ඉදිරියට පැන තමා ම ඉදිරිපත් වී අනුශාසනා කරන්නේ ද, පළමු තමන් දානය පිළිගන්නේ ද? ඒ
ප්‍රගල්භ බවකි. සාහසික බවකි. සදාචාරාත්මක බවින් ඈත් වීමකි.
සමූහයක් හෝ පිරිසක් ඉදිරිපිට පාදයක් පිට පාදයක් දමා වාඩි වී සිටීම, භෝජන ශාලාවෙහි
වැඩිහිටි අයට ආසන නොදීම, කලින් වාඩි වී සිටි බාල අය නැඟිටු වීම, පැමිණි පිළිවෙළට
නොව පසුව පැමිණ කලින් ස්නානය කිරීම, නිවසකට ඇතුළු වීමට පෙර අවසර නොගෙන කඩා පැනීම,
මෙවැනි ගති පැවතුම්වලින් තොරව ගුරු ගෞරවයෙන්, මවුපිය ගෞරවයෙන් සම්ප්‍රදායට ගෞරවයෙන්
යම් කෙනකු නුවණින් යුතුව කටයුතු කරන්නේ නම් එය අප්ප ගබ්භෝ ගුණය ලෙස හැඳින්විය හැකි
ය.
අනුන්ගේ නිවසකට ගිය විට නො විමසා විදුලි උපකරණ භාවිතය, කැළි කසළ දමමින් නිවෙස
පරිසරය, වාහන අපවිත්‍ර කිරීම, ඇවිදින ගමන් ගස්වල මල් කොළ කැඩීම, බිම පුරා කෙළ ගැසීම
අඟුරු කෑල්ලක්, පෑනක්, පැන්සලක් අතට අසු වූ විට බිත්තිවල තාප්පවල ඩෙස්ක් බංකුවල -
අකුරු රූප ලිපින ලිවීම, නියපොතු සැපීම, පෑන කටේ දමා සිටීම යනාදී තමා අන්‍යයන්ට
අපි‍්‍රය වන බොහෝ ක්‍රියාදාමයන් ඔබ සමඟ සිටින අය සිදු කරනවා නම් ඒ සියල්ල පගබ්හ ලෙස
හැඳින්විය හැකි ය. දුරකතනය කනේ තබාගෙන අන්‍යයන්ගේ කතා බහ හොරෙන් අසා සිටීම ද මීට
අදාළ වේ.
භික්ෂුව ගිහිගෙය සමඟ සීමාව ඉක්මවා සහසම්බන්ධ වීම, ඇලීම්, ගැලීම්, බැඳීම් සැබැවින්ම
අනුචිත ය. අයෝග්‍යය, එයින් උන්වහන්සේ සතු උදාරත්වය විශිෂ්ටත්වය නැසී, වැනසී, හරසුන්
ගැරහුම් හිස් හා පුස් ජීවිතයක උරුමය හිමි කර ගන්නා බව අමුතුවෙන් කිවමනා නොවේ.
ඥාතීන් හා මිත්‍රයින් ද වාසි හා ලේසි බලාපොරොත්තුවෙන් ඇසුරට යන්නේ නම් එය කොහෙත් ම
නුසුදුසු පිළිවෙතකි. ක්‍රියාවකි. වැඩි සෙනේ දබරෙට හේතු වන බව අප රටේ පෙර සිට පැවත
එන ප්‍රචළිත කියමනකි. එයින් ඉස්මතු කර පෙන්වන්නේ අවංකත්වය නැති සමීප ඇසුර අහිතකර බව
ය.
මුදල් හෝ භාණ්ඩ ඉල්ලීම, වෙනත් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් ඥාතිකම හෝ මිත්‍රත්වය
දෙදරා යාමට හේතු වන බව වෙසෙසින් පැහැදිලි කරුණකි. එදා මෙන්ම අද ද හෙට ද මෙවන් ඇසුරු
අප කොතෙක් දැක තිබේ ද?
ලාභය අපේක්ෂිතව ලෝභකමින් මිරිකුණු පිරිස බොහෝ විට තම හිතවතුන් ඇසුරු කරන්නේ අවංකව ම
නොවේ. භික්ෂූන් වහන්සේ කෙනකු අනවශ්‍ය ලාභ ප්‍රයෝජන අපේක්ෂාවෙන් ගිහි පවුල් හා
බැඳෙන්නේ නම් උන් වහන්සේගේ ආධ්‍යාත්මික වටිනාකම බිඳ වැටෙන්නේ අතිශය ඛේදනීය අයුරිනි.
එබැවින් ගිහිගෙය ඇසුරු කිරීමේ දී කිසියම් සීමාවක් තබා ගැනීම භික්ෂුව සතු වගකීම වේ.
හරවත්, නැණවත්, ගුණවත් චරිතයක භූමිකාව විදහා දැක්විය යුතු ය. |