පොසොන් පුර අටවක 2023-05-27
තමන්ට පිහිට තමා ම ය
කුඩා දරුවකුට අනතුර ගැන අවබෝධයක් නැත. ගිනි දැල්ලක් දුටු තැන එය ස්පර්ශ කරන්නටත්,
ජල තටාකයක් දුටු තැන ඊට බැස ගන්නටත් පසුබට නො වන්නේ එහෙයිනි. ඔවුන්ට නිති රැකවරණය
සැලසිය යුතු වනවා සේ ම අනතුර හඳුනාගන්නට, එය මඟ හරින්නට මෙන් ම අනතුරු දෙයින් වුව ද
අවශ්‍ය ප්‍රයෝජනය ආරක්ෂාකාරීව, නිසියාකාරව ලබා ගන්නට ඔවුහු දැනුමින් සන්නද්ධ කළ
යුතු ය.
මව්පිය වැඩිහිටියන්ගෙන්, පොත පතින්, පාසලෙන් ආදී විවිධ අංශ එහිදී ක්‍රියාකාරී විය
යුතු ය. ජීවත් වීමෙන් ලබන අත්දැකීම් ද අනතුරු මඟ හරින්නට උපකාරි වේ. එහෙත් ඇතැම්
විට ප්‍රශ්නකාරී වන්නේ මොනතරම් දැන උගත්කම් ලැබුණ ද වැඩිහිටියන් ද පොඩි දරුවන් සේ ම
අනතුරේ ගිලීම ය. නොසලකා හැරීම, අනාගතය ගැන නො සිතීම ආදී දුර්ගුණ සේ ම මිනිසත්කමේ
වටිනාකම ගැන හොඳ අවබෝධයක් නොවීම ද ඊට හේතු විය හැකි ය.
කණ කැස්බෑවා වියසිදුරෙන් අහස දකින්නේ ඉතාමත් කලාතුරකිනි. මිනිසත් බවක් ලැබීම ද ඒ සා
දුර්ලභ ය . ඒ දුර්ලභ අවස්ථාවෙන් අප උපරිම ප්‍රයෝජන නො ගත්තේ නම් එය මිනිසත්කමට ද
නිගාවකි. එවැන්නෝ පාප කර්මයන්හි යෙදෙමින් මෙලොව ද වනසාගෙන පරලොව ජීවිතය ද අපායේ
වැටෙති. කල්ප ගණන් කල් එහි ජීවත් වෙති. එහෙයින් අප කරන කියන දැයෙහි අනතුර දැක ඉන්
බේරී යන්නට වෑයම් කළ යුතු ය.
අනතුරු ලෙසින් අපට මුහුණ දෙන්නට සිදුවන්නේ අප කරන කියන අයහපත් ක්‍රියාවන්ගේ පල ය.
තමන් යම් ක්‍රියාවක් කරන්නට පෙර එමඟින් තමන්ට අනර්ථයක් වනවා ද? අනුන්ට අනර්ථයක්
වනවා ද යන්න විමසා තමන්ට අනර්ථයක් නොවන්නේ නම්, අනුන්ටත් අනර්ථයක් නොවන්නේ නම්,
අර්ථවත් වන්නේ නම් පමණක් එය කළ යුතු බව සම්බුදු දහම පෙන්වා දෙයි.
එසේ ම යමක් කීමෙන්, කිරීමෙන් පසු කඳුළු පිරි මුහුණෙන් එහි පලයන් භුක්ති විඳින්නට වේ
නම් එයින් වළකින ලෙස අනුශාසනා ලැබෙයි. මේ අංශ දෙක පිළිබඳ පමණක් ඉතා හොඳින් අවධානය
යොමු කරන්නේ නම් වුව අපට මෙලොව සේ ම පරලොව ජීවිතයේ දී ද මුහුණ දෙන්නට වන අනතුරකින්,
දුක්ඛිත තත්ත්වයන්ගෙන් බේරී සිටීමට හැකි වෙයි.
කෙනෙක් දුශ්චරිතයන් හි යෙදෙන්නේ තමන්ගේ අතේ පයේ හයිහක්තිය නිසා තමන් මොන දේ කළත්
තමන්ට විපතක්, කරදරයක් නොවන බව සිතමිනි. අත පය නොව තමන්ගේ ඇස, කන ආදී කොට ඇති සෑම
ඉන්ද්‍රියයක් ම තමන්ට අවනත නොවන කාලයක් පැමිණේ. එදාට ඔහු හෝ ඇය අසරණ ය.
තවත් කෙනෙක් අනර්ථවත් දැයෙහි යෙදෙන්නේ ඕනෑම කරදරයක දී සිය මව්පියන්, නෑදෑ
හිතමිතුරන්, දූ දරුවන් සේ ම ධනවත්කම්, බලවත්කම්, නිලතල නිසා ඒවායින් බේරී සිටීමට
හැකි බව සිතමිනි. එහෙත් කළ කම් පල දෙන කළ මේ කිසිවකුගේ රැකවරණයක් නැත. තමන් කළ දේ
තමන්ට ම විඳින්නට සිදුවේ. එහෙයින් තමන්ට පිහිට වන්නේ තමන් ම ය. ඒ පිහිට සලසා ගත
යුතු නිවැරැදිව සිත පිහිටුවා ගැනීමෙනි. යහපත් චර්යාවෙහි ම නිරත වීමෙනි.
ඒ නිවැරැදි ගමන්මඟ සොයා ගන්නට ශ්‍රී සද්ධර්මය උපකාරි වෙයි. දහම දැන ඉගෙන, හොඳින්
අවබෝධ කොට ජීවිතයට ප්‍රායෝගික කර ගන්නා පුද්ගලයා ම ය, මිනිස්කමට වටිනාකමක් ලබා
දෙන්නේ. |