රාගය
සමහරු ඇඟ සනීප ඇති ලස්සන බලු පැටියකු දැක ඌ වඩා ගනිති. ඌට කවති, පොවති. බොහෝ ආදරය
දක්වති. එහෙත් ඒ අය ම මයිල් වැටුණු, ඇඟ පුරා කුෂ්ටයෙන් වැසුණුූ, වණ තුවාල සහිත,
ඇඟෙන් දුගඳ හමන, කැහැටු බලු පැටියකු දැක, ඌ එළවා දමති. සමහර විට ගලින් මුලින් ගසා
අහළකටවත් එන්නට නො දෙති. මෙසේ ඔවුන් එක බලු පැටියකුට ආදරයත්, තව එකකුට අනාදරයත්
දක්වන්නේ මන්ද?
මෙහි රහස තවදුරට සිතා බැලුවා ම වැටැහෙයි. උන්ගෙන් ඔවුන් ආදරය දක්වන ඒ ලස්සන බලු
පැටියා ම , ලොම් වැටී කුෂ්ට හැදී අවලස්සන වුවොත්, ඔවුන් එදා, ඌට සලකන්නේ උඩ දෙවැනි
කී කැහැටු බලු පැටියාට සලකන අන්දමට ම හෝ එයට ටිකක් කිට්ටු තරමින් ය.
මෙසේ එකම සතාට අවස්ථා දෙකේ දී දෙ සැටියකින් ඔවුන් සලකති. මෙයින් හැඟෙනුයේ කිමෙක් ද?
ඔවුහු ආදරය දක්වන්නේ ඒ බලු පැටියා ගේ ලස්සන ගතියට බව යි. එ බැවිනි ඌ ම අවලස්සන වූ
විට ඔවුනට අපි‍්‍රය වෙන්නේ.
තිරිසනුන් ගැන පමණක් නොවැ, මිනිසුන් ගැනත් බොහෝ දෙනා ගේ ආදරය ඔවැනි යි. රූපය ලස්සන
වැ ඇති කාලයෙහි ආදරය කරති. අවලස්සන වූ විට දකින්නටවත් කැමැති නො වෙති.
ඉතින් මෙසේ දක්වන මේ පෙරැළෙන ‘ආදරය’ හොඳ ගතියෙක් ද? කුසලයෙක් ද?”
මෙය හොඳ ගතියක් හැටියට, කුසලයක් හැටියට මෝඩයෝ හිතති. මෙහි සත්‍යය නම් මෙය කුසලයක්
නොවේ, හොඳ ගතියක් ද නොවේ. මෙය නම් පිටට පෙනෙන රූපයට රැවැටී එයට සිතින් වාල් වීමෙකි.
සිතින් එයට ඇදීයෑමෙකි. ඒ ගතිය කුසලයක් නොවේ. අකුසලයෙකි. සිතේ මහත්ම දුබල බවෙකි.
රූපයේ ලස්සන ය පමණක් නොවැකට හඬේ මිහිරිකම ආදි තවත් දැය නිසා ද සමහරු අන් අයට ඇලුම්
කරති. මෙයට, පේ‍්‍රමය, ස්නේහය, ආදරය කියා ඔහු නම් කරති. එහෙත් මෙය නම් රූප ශෝභාදිය
නිසා සිතේ ඇති වන ලොල් බව යි. රාගය යි, තණ්හාව යි, ගුණදහමෙක් නොවේ අකුසලයකි.
බළන්ගොඩ
ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි
(බුද්ධ භක්තිය ග්‍රන්ථය ඇසුරෙනි) |