සැබෑ ධනවතකු වීමේ හැකියාව තිබෙන්නේ
තමන් තුළ ම ය
දිනක් මහා ශ්‍රාවක සංඝරත්නය අරභයා භාග්‍යවතුන් වහන්සේ වදාළා “පින්වත් මහණෙනි, යම්
කෙනකුට ශ්‍රද්ධාවක් නැති නම් පවට, විපාකයට බයක් නැත්නම්, පව්වලින් මිදෙන්න වීර්යය
නැත්නම්, කුසල් අකුසල් තෝරා බේරාගෙන කටයුතු කරන්න ප්‍රඥාවක් නැත්නම් ඔහු හෝ ඇය මේ
ශාසනයේ අන්ත දුගී දුප්පතෙක්.
සාමාන්‍ය ලෝකයේ දී ඒ පුද්ගලයාට මුදල් භවභෝග සැප සම්පත් යහමින් තිබෙන්නට පුළුවන්.
ඒත් ඔහු තුළ ශ්‍රද්ධා, හිරි, ඔත්තප්ප, වීර්යය, ප්‍රඥා කියන ගුණධර්ම නැත්නම් මේ ආර්ය
විනය තුළ, බුද්ධ ශාසනය තුළ ඔහුට කියන්නේ දිළින්දා කියලයි. දුප්පතා කියලයි. එහෙම නම්
ශ්‍රද්ධාව කියන්නේ ධනයක්. පවට බය කියන්නේ ධනයක්. පව් දුරුකර ගැනීමට වීර්යය ගැනීම
ධනයක්. පවට බය කියන්නේ ධනයක්. නුවණ, ප්‍රඥාව කියන්නේ ධනයක්.
පින්වත් මහණෙනි, ඒ පුද්ගලයාට ශ්‍රද්ධාවක් නැති නිසා කාය දුෂ්චරිතයේ යෙදෙනවා. වචී
දුෂ්චරිතයේ යෙදෙනවා. මනෝ දුෂ්චරිතයේ යෙදෙනවා. තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන
පැහැදීමක් නැහැ. විශ්වාසයක් නැහැ. මෙලොව පරලොව ගැන, පින් පව් ගැන, සසර ගමන ගැන, සතර
අපාය ගැන ධර්මය තුළින් උපදවා ගත් දැනුමක් අවබෝධයක් නෑ. ඒ නිසා කිසිම බයක් චකිතයක්
නැතිව පව් කරනවා. අවස්ථාව ලද තැන සතුන් මරනවා. සොරකම් කරනවා. අල්ලස් ගන්නවා. වංචා
දූෂණ කරනවා. වැරැදි කාමසේවනයේ යෙදෙනවා. ඒ වගේම වචනයෙන් බොරු කියලා ලෝකයා රවටනවා.
කේළාම් කියලා සමඟිය බිඳවනවා. අභූතයෙන් චෝදනා කරනවා. අන් අයගේ හිත රිදෙන කටුක පරුෂ
වචන කියනවා. වචනයෙන් බැණ වදිනවා. නින්දා අපහාස කරනවා. මෙලොවට පරලොවට වැඩ නැති හිස්
වචන කියනවා. ඒ වගේම රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් සිතිවිලි හටගනිද්දී ලජ්ජා බයක්
නැහැ. නුවණින් කල්පනා කරන්න වීර්යයක් නැහැ. සිතිවිලිවල සමවැදී මනෝ ලෝකවල ජීවත්
වෙනවා. මිථ්‍යා ආකල්පවල ගැලි ගැලී සිටිමින්, වරදේ බැඳෙමින්, සිතින්, කයින්, වචනයෙන්
කටයුතු කරනවා.
පින්වත් මහණෙනි එසේ කටයුතු කරන තැනැත්තාට මේ බුදු සසුන තුළ ආර්ය විනය තුළ කියන්නේ
ණය ගන්නවා කියලා. මෙසේ ගන්නා ණය කවදා හෝ ගෙවන්නට සිදු වෙනවාමයි.
ඊළඟට ණයත් සමඟම පස්සෙන් එන දේ පොළිය. අපගේ බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. මේ
පුද්ගලයා වැරැදි කරනවා. නමුත් ඔහු සිතනවා. “මම කරන මේ වැරැදි කවුරුවත් දන්නේ
නැත්නම් හොඳයි. දකින්නේ නැත්නම් හොඳයි කියලා ලෝකයාට හොර රහසේ ම වැරැදි කරනවා. පිටට
පෙනෙන්නේ . “හොඳ පුද්ගලයෙක්” ලෙසටයි. පිරිස අතරේ බොහෝ ම වැදගත් ගුණ ගරුක කෙනෙක් ලෙස
රඟපානවා. නමුත් සැබෑ ජීවිතයේ දී සිතින්, කයින්, වචනයෙන් වරදේ බැඳෙනවා. ඔහු දන්නේ නෑ
ඒ එකතු වෙන්නේ පොළිය කියලා. ණය විතරක් නොවේ ගෙවනකොට පොළියත් එක්කමයි ගෙවන්න වෙන්නෙ.
අපි දන්නේ ම නැතිව ණයත් පොළියත් එකතු වේවි. යම් දවසක සීමාව ඉක්මවා යනවා. එවිට බොහෝ
සේ චෝදනා එල්ල වෙනවා. එවිට තමාගේ සිත තමාට ම චෝදනා කරන්න පටන් ගන්නනවා. ලෝකයාට
වැරැදි හැංගුවාට හෘද සාක්ෂිය චෝදනා කරන්න පටන් ගන්නවා. නුඹ මෙහෙම කළා, නුඹ මෙහෙම
කෙනෙක් ආදි ලෙස සිතමින් බලවත් අසහනයෙන් පෙළෙනවා. හිතේ පීඩාවක් තැවුලක් ඇතිවෙනවා.
එවිට තනිව විඳවන්න වෙනවා. හෘද සාක්ෂිය තමන් ලුහුබැඳ එනවා. යන්න දිශාවක් නැහැ. ඒ
අතරට තමන්ට අමතක වූ ණයත් මතක් වෙනවා. එනිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ පරිදි අපිත් ණය
නොවන චරිතයකට හුරු වෙමු. ණය වූ විට
පොලියත් ගෙවන්නට වෙනවාමයි. එනිසා ආර්ය විනය තුළ හික්මෙන්නට අපි උත්සාහ කරමු.
නයනා නිල්මිණී |