වරදක් සිදු වූ සැණින් සිහිය
පිහිටුවාගෙන
ආයති සංවරය ඇති කර ගන්න
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික නා හිමි
ප්‍රඥාව සීලයෙන් පිරිසුදු වේ. සීලය ප්‍රඥාවෙන් පිරිසුදු වේ. සිල් ඇති තැන ප්‍රඥාව
වේ. ප්‍රඥාව ඇති තැන සිල් වේ. සිල් ඇත්තාට ප්‍රඥාව ඇත. ප්‍රඥාව ඇත්තාට සිල් ඇත.
සීල ප්‍රඥා දෙක වනාහි ලෝකයෙහි අග්‍ර යැයි කියනු ලැබේ. සෝණදණ්ඩ සූත්‍ර දේශනාවෙහි
සඳහන් මෙම විවරණය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය නම් වූ සම්‍යක් ප්‍රඥාව පරිපූර්ණයේ දී
අවශ්‍ය පිළිවෙළ කථාව පෙන්නුම් කෙරේ. මේ අනුව සීලය සහ සම්‍යක් ප්‍රඥාව අතර, සුවිශේෂී
සම්බන්ධයක් පවතී. නිවන් මඟ නම් වූ ආර්ය අෂ්ඨාංගික මාර්ග අනුගමනය කිරීමේ දී සීල,
සමාධි, ප්‍රඥා නමින් ත්‍රිශික්ෂා සම්පූර්ණ කළ යුතු ප්‍රතිපදාවක් ලෙස ද පෙන්නුම්
කෙරේ.
මනාකොට සිත ක්ලේශ ධර්මයන්ගෙන් මිදෙන්නේ සම්‍යක් ප්‍රඥාව වැඩුණ කල්හි ය. ප්‍රඥාව අංග
සම්පූර්ණ වන්නේ නීවරණ ධර්මයන්ගෙන්, බාධා නොවී ආනන්තරික සමෘද්ධියක් ම වීමෙනි. එනම්
අකුසල ධර්මයන්ගෙන් පීඩා නොවන සිතේ සමාහිත බවයි. ඒ ආකාරයේ බලවත් වූ සමාධිය පිණිස
සීලය මනා ලෙස පරිභාවිත විය යුත්තේ ය.
මේ අනුව සීලය සම්පත්තියක් ලෙස ප්‍රතිපදා මාර්ගයට එකතු කර ගත යුත්තේ ය. මෙම
ප්‍රතිපදා මාර්ගයට අනුගත වන ශ්‍රාවකයා හෝ ශ්‍රාවිකාව විසින් තමා කෙරේ අවබෝධයෙන්
යුතු විශ්වාසයක් ගොඩනඟා ගත යුත්තේ ය. එය අප විසින් හඳුන්වන්නේ ශ්‍රද්ධාව ලෙස ය.
බුදුරජාණන් වහන්සේ, ධර්ම මාර්ගය සහ ආර්ය සංඝයා කෙරේ පැහැදීම් ගුණයට සිත අවතීර්ණ වන
විට තමා කෙරේ උත්තේජනයක් ඇති වන්නේ ය. එම ශ්‍රද්ධාව නිසාම සසර පිළිබඳවත් ධර්ම
සංවේගයෙන් යුතු බියක් හට ගන්නේ ය. කෙළවරක් දක්නට නැති මේ දිගු සසර ගමනේ ඇති බියකරු
බව වටහා ගන්නේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ඉගැන්වීම්වලට අනුව තිස්එකක් සක්වල සියලු
සත්වයෝ ම ඔවුන්ගේ අතීත සංසාර ගමනේ වැඩිපුරම උපත ලබා ඇත්තේ නරක, තිරිසන්, පේ‍්‍රත
අසුර නම් වූ සතර අපායේ ය. එම සතර අපායෙන් මිදී ලැබූ මෙම මනුෂ්‍ය ජීවිතය පිළිබඳ
සැනසිල්ලක් ඇති කර ගත යුත්තේ ය. දුක් ඇති භවගාමී ජීවිතයේ මේ ලැබූ අවස්ථාව තවදුරටත්
දුකට ම ඇද දමා ගන්නේ ද, දුකින් නිදහස් වීමට ප්‍රතිපදාව අනුගමනය කරන්නේ දැයි
ශ්‍රාවකයා විසින් සතිය සිහිය පැවැත්විය යුතු වෙයි. මේ අවස්ථාව අවිද්‍යාවෙන් බැහැර
වෙන විද්‍යාවට සමීප වීමක් ලෙස දැක්විය හැකි ය.
වර්තමාන පරිසරයේ බොහෝ පිරිසක් අවිද්‍යාවේම ගැලී සිටිනා බවක් පෙනේ. ඔවුන්ට මේ ලැබු
වටිනා අවස්ථාව පිළිබඳ සිතන්නට තරම් ඕනෑකමක් නැති බව ද පෙනේ. කල්‍යාණවන්තයන් විසින්
පෙන්නුම් කොට දුන්නේ ද ඒ පිළිබද සිහිය නොපිහිටුවන බවක් ද පෙනේ.
සීල සම්පත්තිය හෙවත් සීල සම්පදාව ලෙස හඳුන්වා දෙන්නේ කුමන අර්ථයෙන් ද? සමාධි ප්‍රඥා
වැඩීමට අවශ්‍ය මූලික පරිසරය සකසා ගැනීමේ දී අවබෝධයෙන් එයට අනුගත වීමයි. සම්පදාවයි.
සම්පත්තියයි.
එමෙන්ම සීලය හේතුකොටගෙන කුසලාරම්මණයන් කෙරේ සිත සිහිය පිහිටුවා ගැනීමේ සමෘද්ධිමත්
බවයි.
යම් අයෙක් කායික සහ වාචසික සංවර බවක් ඇති කරගත්තේ ද එය සීලමය සම්පදාවක් බවට පත්කර
ගෙන නැත. එනම් සීලයෙන් ඇතිවිය යුතු සමෘද්ධිමත් බව ලබා ගෙන නැත. සීලයට සම්‍යක්
ප්‍රඥාව ස්පර්ශ විය යුතු බව මුලින් දැක්වූවෙමු. ඒ අනුව මනසෙහි ඇතිවන චිත්ත
පාරිශුද්ධියෙන් මෙහෙයවනු ලබන චේතනා, වචන, කායික ක්‍රියාවන් සිද්ධ විය යුත්තේ ය.
යම් කෙනෙක් සමාජය ඉදිරියේ බොරු කීමෙන් හෝ පරුෂ වචන භාවිතයෙන් වැළකුණ ද සිතෙහි
දූෂ්‍ය බව රඳවා තිබෙන්නට හැකි ය. එනම්, දැඩි ආශාව, තරහව , වෛරය, පළිගැනීම, බද්ධ
වෛරය, දැඩි රාගී සිතිවිලි ආදියෙහි පැවැත්මයි.
අශ්‍රැතවත් පෘථග්ජන සිත්වල මේවා හටගැනීම ස්වභාවික ය. එනමුත් එම පාපි සිතිවිලි
වැඩෙන්නට නොදී අනුක්‍රමයෙන් බැහැර කිරීම ශ්‍රාවකයාගේ ප්‍රතිපදාව විය යුත්තේ ය.
කුසලාරම්මණ සකස් වන සමාධියට පීඩා නොවිය යුත්තේ ය. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක,
විහිංසා විතර්ක වශයෙන් සකස්වන මෙම ක්ලේශ ධර්මයෝ වැඩෙන්නට ඉඩ නොදී අවබෝධයෙන් ඒවා
සිතෙන් බැහැර වීමට සිත සිහිය පිහිටුවා ගැනීම සීල සම්පදාවේ ලක්ෂණයයි.
මෙසේ සීල සම්පදාව පවත්වන්නා දුර්වලයෙක් නොවේ. ඔතෑනි, නියාලු, අදක්ෂ පුද්ගලයෙක් ද
නොවේ. ඔහු හෝ ඇය මානුෂික ගුණාංග ඉදිරියේ දී ක්‍රියා සම්පන්න දක්ෂ පුද්ගලයෙකි.
එනමුත් අෂ්ටලෝක ධර්මතා ඉදිරියේ දී අකම්පිත වූවෙකි. අරමුණ ඉටු කර ගැනීමේ දී
තෘෂ්ණාවෙන් උද්දාමයට පත් නොවේ. තමා උසස් කොට අන් අය පහත්කොට නොසලකයි. නිසල විලක් සේ
මනසෙහි ශාන්ත භාවය පවත්වන්නෙකි. සිතේ කෙලෙස් බහුලව පවත්වා ගෙන පෙනුමෙන්, වචනයෙන් සහ
ක්‍රියාවෙන් මායාකාරි හෝ රැවටිලි සහිතව හැසිරෙන්නෙක් නොවේ.
අශ්‍රැතවත් පෘථග්ජන බවෙහි පැවතියත් කල්‍යාණ පෘථග්ජන නම් වූ කුසල් අකුසල් නිවැරැදිව
දැන කුසල් මඟෙහි සිත පවත්වන්නෙකි. එනම් සම්මුතිය හා පරමාර්ථය යම් සේ ද ඒ අයුරින්
අවබෝධ කර ගනිමින් ලෝභාදී කෙලෙසුන්හි ප්‍රහාණය පිණස ප්‍රධන් වීර්ය වඩන්නෙකි.
මින් අනතුරුව අප විස්තර කරන ආයති සංවරය නම් කුමක්ද? වරදක් සිදුවූ විට එය ධර්ම විනයට
ගළපා අවබෝධ කර ගෙන, නැවත වරද සිදු නොවෙන්නට තමා කෙරේම ආධ්‍යාත්මික පොරොන්දුවක්
ඇතිකර ගැනීමයි. හැකි නම් හෝ ගුරුවරයා ගේ කල්‍යාණවන්ත සත්පුරුෂයෙක් ඉදිරියේ නිවරැදි
වීමයි. මතු එම වැරැද්ද හෝ වැරැදි සිදු නොවීමට ආධ්‍යාත්මික පොරොන්දුවක් තමා කෙරේම
ඇතිකර ගැනීමයි. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුග්ගති භය වශයෙන් සලකා සිත,
කය වචනයෙන් සිදුවු හෝ සිදුවන වැරදිවලින් නිදහස් වීමට අධිෂ්ඨාන කර ගැනීමයි. නැවත
එවැනි වරදක් සිදු නොවීමට චිත්ත අධිෂ්ඨානය බලවත් කර ගැනීමයි.
මෙසේ නොවීම ධර්ම විනයෙන් පිරිහීමයි. අනාගත සමාධියක් හෝ සම්‍යක් ප්‍රඥාවක් ලබන්නෙක්
බවට පත් නොවීමයි.
එපමණක් ද නොවේ. මෙම බාල පුද්ගලයා විසින් වරද, වරද ලෙස දකින්නෙක් නොවේ. වරද දුටුව ද
එය තම වරදක් ලෙස පිළිගන්නේ ද නැත. වරද නිවැරැදි කර ගන්නේ ද නැත. වරද පෙන්වා දෙන
සත්පුරුෂයා කෙරේ දණ්ඩෙන් පහර කෑ සර්පයෙක් ලෙස කිපෙන්නේ ය. තරහවෙන් වෛරයෙන්,
ක්‍රෝධයෙන් යුතුව ප්‍රතිචාර දක්වන්නේ ය. පිටෙහි ඇමිනිණු පොකුරු කටු වළල්ලක් සේ
සිතිවිලි , වචන, ක්‍රියාවන් තරහව, වෛරය, පලි ගැනීමෙන් ම පවත්වා ගනිමින් සිටින්නේ ය.
මෙහිදී කල්‍යාණවන්තයාගේ සත්පුරුෂයන් විසින් එවැනි පුද්ගලයන් කෙරේ අනුකම්පාවෙන්ම
නැවත නැවතත් වරදෙහි ආදීනව පෙන්වා දී ආයති සංවරයෙහි පිහිටුවීමට උත්සාහ ගත යුතු වෙයි.
එයට හේතුව මේ අඥාන පුද්ගලයා නිසා ඔහුට හෝ ඇයට පමණක් නොව බොහෝ පිරිසකට අනර්ථයක් වන
බැවිනි.
මේ අනුව නිවන් මඟෙහි සම්පදා සතරක් මූලික පියවරෙහි පටන් අනුගමනය කළ යුතු වෙයි. එනම්
ශ්‍රද්ධා සම්පදා, සීල සම්පදා, චාග සම්පදා , පඤ්ඤා සම්පදා යනුවෙනි. වරද සිදුවූ තැන
සිහිය පිහිටුවාගෙන ආයති සංවරයෙහි පිහිටිය යුතු වන්නේ ය.
|