මැදින් පුර පසළොස්වක 2023-03-06
සිතන්නට නොහැකි තැන...
ළමා ලෝකය පිවිතුරු ය. ඊර්ෂ්‍යාව, ක්‍රෝධය,වෛරය, පළිගැනීම ආදී පිළිකුල් සහගත
සිතිවිලිවලින් ඔවුහු ජරා ජීර්ණ නොවෙති. ළමයින් මල් වගේ යැයි කියන්නේ එහෙයිනි.
ඒ මල්වන් දරුවන් නියෝජනය කරන ඇතැම් දූ පුතුන් අතින් නොවිය යුතු දේ ද වෙන අවස්ථා
දැන් දැන් සමාජය කැළඹීමට පත් කරනු පෙනේ. වැරැදිකරුවන් ලෙස ඊට වගකිවයුතු ඒ දරුවන් ම
ද යන්න සාකච්ඡාවට බඳුන් විය යුතු සේ ම වරදට හේතු සොයා ඊට පිළියම් යොදන්නට මන්දගාමී
වූයේ නම් ළමා පරපුරේ විනාශය ද නොවැළැක්විය හැකි තැනට වැටෙනු ඇත.
ළමයා ජීවිතය ඉගෙන ගන්නේ අනුන් දෙස බැලීමෙනි. අත්හදා බලන්නේ තම සමීපතමයන් ය.
පිපෙන්නටත් පෙර ළමා ලෝකය පරව යනවා නම් ඒ, අනුකරණය කළ ආදර්ශයේ වරද නිසා ය. දරුවන්
හැදෙන වැඩෙන පරිසරය නිසැකයෙන් ම යහපත් විය යුතු එහෙයිනි. යම් හෙයකින් නිවැරැදි කළ
නොහැකි වරදක් වූවාට පසු ඒ ගැන එකිනෙකාට චෝදනා නැඟුවාට පලක් නැත. නිවැරැදි
ආකල්පවලින් පොහොසත් විය යුතු වරදින්නට පළමුව ය.
මවුපිය ගුරුවරුන් ගැන, අසරණයකු දුටු තැන, දුකකට, කරදරයකට පිහිට විය යුතු තැන සංවේදී
වන තැනට, ළමා මනස ගොඩනැඟිය යුතුව තිබේ. නැතහොත් අද ද පිරිහී, හෙට ද තිරස්චීනයන් බඳු
මනු සතුන් නිසා සමාජය වල්මත් වීම නොවැළැක්විය හැකි වනවාට සැකයක් නැත.
මීට දින කිහිපයකට පෙර අපට අසන්නට ලැබුණ, ළමයින් කිහිප දෙනකු එක්වී මහමඟ දී අවවාද
දුන් තමන්ගේ ම පිය කෙනෙක් බඳු එක්දරු පියකුට මිය යන තුරු හිස්වැසුමකින් පහර දීමේ
වේදානාබර සිදුවීම පසුපස ඇත්තේ ළමයින් අසංවේදීවීමේ, අකාරුණිකවීමේ, අඥානවීමේ භයානක
ප්‍රතිවිපාකය යි.
වැඩිහිටියකුගේ අවවාදයක් පිළිගන්නට, වැඩිහිටියකුගේ බසට කීකරු වන්නට නොහැකි ළමාකම
අඳුරු අනාගතයක පෙර මං සලකුණු ය.
බුද්ධියක් හදවතක් නැති තැන නොවිය යුතු දේ සිදුවීම වැළැක්විය නොහැකි ය. තමන් කරන
කියන දැයෙහි විනාශය නොදකින්නේ හිතන්නට හැකියාවක් නැති තැනැත්තා ය.
පෙර බරණැස් නුවර සිටුවරයකුට දාසියක් විය. ඕ රෝහිණී නම් වූවා ය. ඇය අඥාන ය. දිනක්
රෝහිණිගේ මව ඇය වී කොටමින් සිටි තැනට පැමිණ අසලින් හිඳ ගත්තී, මදුරුවන්ගෙන් ගැහැට
විඳින්නට වන්නී ය. දියණිය ඇමතූ මහලු මාතාව උන් එළවන ලෙස කීවා ය. රෝහිණී ද කිහිපවරක්
මැස්සන් එළවූවා ය. එහෙත් උත්සාහය නිෂ්ඵල විය.
මදුරුවෝ නැවත නැවත මවට කරදර කරන්නට විය. දැන් මහලු මව නින්දේ ය. අම්මාට කරදර කරන
මදුරුවන් ගැන රෝහිණී ගේ සිත සිතෙහි තරහක් ඇතිවිය. මුන් මරා දමන්නට ඕනෑ යැයි සිතූ ඇය
මදුරුවන් සිය මවගේ හිස වසන තුරු බලා සිට මෝල් ගස ඔසවා වැරෙන් පහර දුනි. මදුරුවෝ
ඉගිලී ගියහ. මෝල්ගස් පහර හිසේ වැදී මහලු මව එතැනම මැරී වැටුණාය. රෝහිණී මහත් දුකින්
වැළපෙන්නට වූවාය.
මේ අඥානකමේ පල ය. එය අතීතයට, වර්තමානයට, අනාගතයට කියා වෙනසක් නැත. අඥානකම සමීපයේ ම
විපත ද, විනාශය ද ඇත.
අපේ ළමා පරපුර පොතපතේ දැනුමෙන් සේ ම ගුණවත්කමින් ද පොහොසත් කළ යුතු ය. ඔවුන්
යාන්ත්‍රික බවින් මුදවා හිතන්නට ශක්තියක් ඇති සංවේදී පිරිසක් බවට පත් කළ යුතු ය.
සමාජයට ද පිළිලයක් වී දරුවන්ගේ මුළු ජීවිතය ම වැනසී යන්නේ එසේ නො වන තැන ය. |